Nov 19, 2020

2021 - අය වැය වාමාංශිකන් කොටු කළාද?

පැරණි වාමාංශික බුද්ධිමතකු ලෙස හැඳින්වෙන මහාචාර්ය සුමනසිරි ලියනගේ විසින් මෙවර අය-වැය යෝජනා සම්බන්ධයෙන් ප්‍රකාශකරන ලැදැයි කියන අදහස් කිහිපයක් සමාජ මාධ්‍ය තුල සැරිසරමින් තිබේ.

"2021 අයවැය මගින් තැත්කර ඇත්තේ නවලිබරල්වාදී මූලධර්මයනට වෙනස් ආකාරයකින් ශ්‍රීලංකාවේ ධනේශ්වර ක්‍රමය පවත්වා ගෙන යාමට ය. මෙම ප්‍රයත්නය ආණ්ඩුව හදුන්වන්නේ “ ආනයන මත පදනම් නොවුන නිශ්පාදන ආර්ථිකයක්" ගොඩ නැගීම ලෙස ය.

මෙය කරන්නට ආණ්ඩුව යෝජනා කරන්නේ කෙසේ ද?

(1) බදු සහන දීම මගින් රටතුළ නිශ්පාදනය වැඩිකිරීමට දේශීය සහ විදේශීය ධනේශ්වරය පෙළඹවීම.
(2) කොටස් වෙළදපොල ශක්තිමත් කිරීම හරහා ප්‍රාග්ධන සංචලනය සදහා යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම.
(3) ආනයන සීමා කිරීම හරහා දේශීය නිශ්පාදනය සදහා දේශීය වෙළදපොල වෙන්කරදිම.
(4) දේශීය ව්‍යවසායකයනට ප්‍රාග්ධනය ලබාගැන්ම පහසු කෙරෙන සංවර්ධන බැංකුවක් පිහිටවීම.
(5) එවන් වර්ධනයට ගැලපෙන ලෙස අධ්‍යාපනය සහ පුහුණුව ප්‍රතිසංවිධානය කොට වැඩිදියුණු කිරීම.

මෙම සමස්ත වෑයම ප්‍රාග්ධනයට වාසිවන ලෙස සකස්කර තිබීම පුදුමයක් නොවේ. වැඩකරන ජනතාවට මෙම අයවැයෙන් ලැබෙන්නේ පිච්චියක් පමණි. ඒවා ලැයිස්තුගත කිරීමට මම අදහස් නොකරමි. වතුකම්කරුවනට රුපියල් 1000 දෛනික වැටුප පොරොන්දු මාලාවකින් පසු ලැබීමට සෑහෙන ඉඩක් ඇත."

වත්මන් ආණ්ඩුවත් යෝජනා කරන්නේ ධනේෂ්වර මාදිලියකම ආර්ථික ක්‍රමයක් යැයි කියමින් ආණ්ඩුව විවේචනය කිරීම වාමාංශිකයන්ගේ සුපුරුදු ක්‍රමයයි.

මාක්ස්වාදී ප්‍රතිපත්ති ඉතිරිවී ඇති සමාජවාදී රටවලත් නෑ

මේ කියන කරුණු කාරණා වාමංශිකයන්ගේ මාක්ස්වාදී දැක්මෙන් සාධාරණීය කරණය කළහැකි නමුත් ප්‍රශ්නයකට තිබෙන්නෙ මේ යල් පැන ගිය මාක්ස්වාදී දර්ශනයෙන් දැන් වැඩක් නැති නිසාය. අද මාක්ස්වාදී ආර්ථික ප්‍රතිපත්තීන් ලෝකයේ ඉතිරි වී ඇති සමාජවාදී රාජ්‍යයන් 5 ලෙස හැඳින්වෙන චීනය, උතුරු කොරියාව, ලාඕසය, කියුබාව හෝ වියට්නාමය හෝ පිළිගන්නෙ නැත. එම රාජ්‍යයන් තුලද දැන් ක්‍රියාවට නංවමින් තිබෙන්නේ මාක්ස්වාදීන් විසින් ප්‍රතික්ෂේප කරන ධනේශ්වර මාදිලියෙම කොටස් උරා ගන්නා ලද ආර්ථික ප්‍රතිපත්තීන්ය. විශේෂයෙන්ම ප්‍රාග්ධනයට වාසි වෙන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති අතර ගෝලීය ආර්ථික සම්බන්ධතා අත්හැර පැවැතීමට නොහැකි බවත් මේ රටවල් තේරුම් ගෙන තිබේ.

සමාජවාදී ප්‍රතිපත්ති අනුව දුප්පත්කම දරිද්‍රතාවය තුරන් කිරීම පළමු අරමුණ යැයි කියමින් මේ රාජ්‍යයන් ඒ සඳහා රාජ්‍යයේ සියළු දේපොළ රජය සන්තක කර, ප්‍රාග්ධනය පාලනයකට යටත් කිරීම හේතුවෙන් සමස්තයක් ලෙස රටම දුප්පත්වීම දක්වා කාලයක් තිස්සේ ගමන් කර තිබිණි. කියුබාව වැනි රාජ්‍යයක් අද ආර්ථිකමය වශයෙන් වැටී තිබෙන ආගාධය ඊට හොඳම උදාහරණයකි. මානව නිදහස අතිශයින්ම අවම මෙම රාජ්‍යයන් තුල පසුගිය කාලයේ ගොඩනැගුණු පීඩාවන් දරා ගනීමට නොහැකි තැනට පත්විය. සමාජවාදී සෝවියට් රුසියාව කඩා වැටීමෙන් පසුව ලෝකයේ සමාජවාදී රාජ්‍යයන් රැසක් ඒ සමාජවාදය ඇත්හරිනු ලැබීය. චීනය, වියට්නාමය වැනි රාජ්‍යයන් තමන්ගේම වූ ධනේෂ්වර මාදිලියකට ඉතා වේගයෙන් මාරු විය. නමුත ඒකාධිපති මිලිටරිමය පාලනයක් තවදුරටත් ක්‍රියාත්මක කරමින් ඔවුන් සමාජවාදය යන්න බෝර්ඩ් ලෑල්ලකින් හෝ ආරක්ෂා කරගැනීමෙහිද නිරතව සිටී.

"ආනයන මත පදනම් නොවුන නිශ්පාදන ආර්ථිකයක්"

ඒ කොහොම වුණත් මහාචාර්ය සුමනසිරි ලියනගේ විසින් අය වැය සම්බන්ධයෙන් කර ඇති විග්‍රහය වෙත අප අවධානය යොමු කළහොත් ලෝකයම කොවිඩ් තත්වය යටතේ ආර්ථික අර්බුදයකට පත්ව ඇති මොහොතේ වත්මන් රජය වඩා නිවැරදී ආර්ථික ප්‍රතිපත්තියක් යෝජනා කර ඇති බව ඔහුගේ මෙම විග්‍රහය තුලින්ද පැහැදිලි කරගත හැකිවෙයි.

"ආනයන මත පදනම් නොවුන නිශ්පාදන ආර්ථිකයක්" යනු සමාජවාදීන්ට ප්‍රතික්ෂේප කළ නොහැකි තේරීමකි. මෙරට ඊනියා වාමාංශික ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණට කිසිසේත්ම ඊට එරෙහි විය නොහැක. ඔවුන් හැමදාමත් යෝජනා කළේ එම ආර්ථික පිළිවෙතය. නමුත් එහි තිබු වරද නම් ඒ නිර්ධන පංතික අඥාදායකත්වයක් නැතිනම් තේරෙන බාසාවෙන් කියනවා නම් ඒකාධිපති මිලිටරි පාලනයක් යටතේ එය කළහැකි බවට කරන යෝජනාවය. ඒකාධිපති පාලන තන්ත්‍රයන් කවදාවත් ලෝකයේ සාර්ථක වූයේ නැත. ඒවා නිෂ්චිත මොහොතක කඩා වැටේ. ජනතාව විසින්ම කැරැලිගසා ඒවා ඉවත් කරනු ලැබෙයි. ජනතාවට නිදහසේ තීන්දු තීරණ ගතහැකි නිර්භාධී ආර්ථිකයක සහය සහිතව ලොකයේ දියුණුවටපත් සියලු රාජ්‍යයන් ගමන් කර ඇත. එම පිළිවෙතහෙම පිහිටා කොවිඩ් තත්වය හමුවේ තිබෙන අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැන් යෝජනා කරන්නේ වඩා නිවැරදිම ක්‍රමවේදයයි.

වාමාංශික මෝඩ කතා

මේ අනුව ආණ්ඩුව යෝජනා කරන (ලියන්ගේ මහතා විසින් අවධාරණය කරන) දේ විසින් මෙරට ආර්ථිකය නව ජවයකින් ඉදිරියට ගැනීම සිදුවෙනු ඇත. එහෙත් ලියනගේ මහතා පවසන්නේ මෙමගින් වැඩකරන ජනතාවට ලැබෙන්නේ පිච්චියක් පමණක් බවය. මෙය වාමාංශික මෝඩ කතාවකි.

දේශිය නිශ්පාදනය වර්ධනය වීමෙහි ප්‍රතිලාබ ලැබෙන්නේ ඒ ව්‍යවසායකයාට පමණක් නොවන බව බුලත්විට තට්‍ටුවක් පවත්වාගෙන යන බුලත්විට වෙළෙඳාද අත් දැකීමෙන් දන්නා දෙයකි. බුලත් විටට ඉල්ලුම වැඩි වෙන තරමට බුලත් කොළ සපයන්නා, පුවක් සපයන්නා, හුනු සපයන්නා, දුම්කොළ සපයන්නාගේ ආදායම් වැඩි වෙයි. එහි ඊළඟ පුරුක ලෙස අමුද්‍රව්‍ය නිශ්පාදනය කරන ගොවියාගේ කම්කරුවාගේ ආදායම වැඩිවෙයි. නව රැකියා අවස්ථාවද වැඩිවෙයි. මේ බුලත්විට වෙළෙන්දාට ණය සහනයක් ලබාදීම , බදුවලින් නිදහස් කිරීම මෙන්ම බුලත් විටට අවශ්‍ය කරන දෑ විදේශයන්ගෙන් ගෙන්වීම ආදිය නතර කළහොත් එම බුලත් විට වෙලෙන්දාට එම ව්‍යාපාරය තවත් ආකාරයන්ගෙන් දියුණුකර ගැනීමට අවස්ථාව උදාවෙයි. ඒ අනුව ඒ හා සම්බන්ධ අනෙක් වෙළෙන්දන්ට, ගොවියන්ට, කම්කරුවන්ට ද ආදායම් මාර්ග වැඩිවෙයි, තවතවත් නව රැකියා අවස්ථා බිහි වෙයි. වැඩ කරන ජනතාවට පිච්චිය වෙනුවට පිච්චි ගොඩක් අත්පත් කරගැනීම හැකිවන්නේ ඒ අනුවය.

එසේ නොමැතිව සියලූම ජනතාවට ණය හෝ සහනාධාර ලබාදීමෙන් රටවල් දියුණු වෙන්නෙ නැත ආර්ථිකය ප්‍රසාරණය වන්නේ නැත. මුදල් සංසරණය වන්නේ නැත. රටක අර්ථිකය වර්ධනය වන්නට නම් මුදල් ප්‍රවාහය ගලා යා යුතුය. යමක් ගලා යෑමට නම් උස් තැනකින් පහලට තැනට වන්නා සේ ප්‍රාග්ධන හිමියාගෙන් ව්‍යවසායකයාගෙන් වැඩකරන ජනතාව වෙත ඒ ව්‍යාපාර ප්‍රතිලාභයන් නිදහසේ ගලායෑම සිදුවිය යුතුය. එසේ නොමැතිව එක තැන පල්වන ආර්ථිකයකින් රටවල් සංවර්ධනය වන්නෙ නැත. ඒ අනුව සමාජවාදී ආර්ථිකය නැමැති එක තැන පල්වෙන ආර්ථිකයන් ලෝකයේම ජනතාව ප්‍රතික්ෂේප කර තිබේ. එසේම ජනතාව සූරාකන නව ලිබරල් ධනවාදී ආර්ථිකයද අප ප්‍රතික්ෂේප කරමු. 2019 දී පරාජයට පත් කළේ යහපාලනය ක්‍රියාත්මක කළ ඒ යක්ෂ ක්‍රමවේදයයි. අප තෝරාගත යුත්තේ අපට වඩා සුදුසු, අපේ විදිහට ගැලපෙන සංවර්ධන මාවතකි. ආණ්ඩුව යෝජනා කර ඇත්තේ ඒ ක්‍රමවේදයයි.

- විමල් ගම්ලත්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top