Dec 03, 2020

දෙවැනි කොරෝනා ‍රැල්ලත් අවසන් ඉමේ

මේ වන විට කොරෝනා දෙවැනි ‍රැල්ලේ උච්චතම අවස්ථාව පසුකර ඇතැයි මෙරට සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.

තව දුරටත් නව පොකුරු හමුවීම සිදු නොවුණහොත් දෙසැම්බර් මස අවසන් වන විට දෙවැනි ‍රැල්ල සම්පූර්ණයෙන්ම පාලනය වෙනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පෙන්වා දෙයි.

කෙසේ නමුත් තව දුරටත් පීසීආර් පරීක්ෂණ නොකඩවා සිදු කරමින් නව පොකුරු හඳුනා ගැනීම වෙනුවෙන් පොදු මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සහ රට පුර අහඹු පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.

බොහෝ දෙනා අවිනිශ්චිතව නමුත් බලාසිටියේ කොරොනා දෙවැනි රැල්ල විශාල හානියක් රටට සිදු කෙරෙනු ඇති බවත් එය පාලනය කිරීම ආණ්ඩුවේ බලධාරීන් වෙතින් ගිලිහී යනු ඇති බවත්ය.

රජය පසුගිය මාස කිහිපයේදී ගත් බොහෝ ක්‍රියාමාර්ග විපක්ෂයේ විවේචනයටත් විහිළුවටත් ලක්ව තිබිණි.

නමුත් රජය සෞඛ්‍ය බලධාරීන්ගේ සහ එම විශේෂඥයන්ගේ මඟ පෙන්වීම යටතේ ගත් නිවැරදී තීන්දු නිසා තත්වය ඉක්මනින් පාලනය කිරීමට සමත්ව තිබේ.

එසේම පළමු රැල්ලෙ අත්දැකීම් සහ දෙවන රැල්ලේ අත්දැකීම් අනුව යළි තුන්වැනි රැල්ලක් මතු වීමේ අවස්ථා වලක්වා ගැනීම වෙනුවෙන් පියවර ගැනීම ද වඩා පහසු වෙනු ඇතැයි කල්පනා කළ හැක.

එසේම බටහිර වෛද්‍ය ක්‍රමයේ නව සොයාගැනීම් මඟින් මේ වන විට මෙම වෛරසය මැඩ පැවැත්වීම වෙනුවෙන් අත්හදා බලමින් සිටින නව එන්නත් මෙරටට ලබාගැනීම සඳහා වන මූලික කටයුතු රජය සිදුකර තිබේ.

මේ අතර මෙරට ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රම ආශ්‍රයෙන් මේ සඳහා ඖෂධයක් නිශ්පාදනය කිරීම වෙනුවෙන්ද රජය පූර්ණ අවධානයද යොමු කර තිබේ.

මේ අනුව ලෝකයේ කොරෝන වෛරසය සක්‍රීය ලෙස වේගයෙන් පාලනය කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නොසළකා හැරිය නොහැක.

කෙසේ නමුත් ජනතාව වගකීම සහගතව කටයුතු කීරීම තව දුරටත් මේ වෛරසය පැතිරීම පාලනය කිරීම කෙරෙහි අතිශය වැදගත්ය.

රජයක් විදිහට ඒ වෙනුවෙන් ගත යුතු පියවරයන් සියල්ලම පාහේ ගෙන තිබෙන තත්වය තුල ජනතව තමන්ගෙ වගකීම කොටස ඉ‍ටුකළ යුතුය.

කොරොනා වෛරසය රට තුල පාලනය කරගැනීම පාලක පක්ෂයට පමණක් නොව රට වැසියාටත් ලැබෙන ගෞරවයකි. වියගරුක බුද්ධිමත් සෞඛ්‍ය සම්පන්න සාමකාමී ජනතාවකුත්, ඒ ජනතාව කෙරෙහි වගවීමක් ඇති පාලකයනුත් සිටින රටක් ලෙස ලෝකය හමුවේ වටිනා තහවුරුවක් ලැබීම රටේ කීර්තියට අභිමානයට හේතුවක් වෙයි.

මහර බන්ධනාගාර සිදුවීම වැනි මෝඩ කලහාකාරී සිදුවීම් මඟින් වන්නේ රටේ කීර්තියට හානිවීමය. මෙවැනි සිදුවීම් පිටුපස විදේශීය කුමන්ත්‍රණකරුවන් හා මේ විදේශීය කුමන්ත්‍රණකාරයන්ගේ මෙරට නියෝජිතයන් ලෙස කටයුතු කරන සටකපට පුද්ගලයන් හෝ සංවිධාන ද සිටිය හැකිය.

දේශපාලන බලය හෝ ව්‍යාපාරික වුවමණාවන් මේවායේ අරමුණ විය හැකිය. මේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම්කරුවන්ට රට හෝ ජනතාව වැදගත් නැත. බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ඕනෑම මජර කටයුත්තක් කිරීමට මේ අය සැදී පැහැදී සිටිති.

රජයේ කටයුතු කඩාකප්පල් කිරීම හැර මේ අයට කිසිදා බලය අත්පත් කරගැනීමද කළ නොහැක.

මන්ද ජනතාව අතර ඔවුන්ට පිළිගැනිමක් නොමැති නිසාය.

මේ පිරිස විසින් සිදුකරණ කුමන්ත්‍රණ ගැන ජනතාව අවධියෙන් පසු විය යුතුය.

මොකද මේ අය නිසා විනාශවන්නේ මේ මොහොතේ පවතින රට පමණක් නොවේ.

අපේ දරුවන්ටත් ඉන්න හිටින්න තියෙන මේ සුන්දර පින්වන්ත රටය.

- එස්. වීරතුංග

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top