Dec 04, 2020

ආණ්ඩුවෙන් වැඩක් ගන්න බැරි විපක්ෂයක් තිබීම ජාතියේ අවාසනාවකි

සුළුතර හෝ යන්තම් බලය පවත්වගෙන ගිය ආණ්ඩු සමයන් හීදී රට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් කඩා වැටීම පසුගිය කාලයේ විශේෂයෙන්ම දකින්නට ලැබුණකි.

ආසනතම උදාහරණ යහපාලනය ආණ්ඩුවෙන්ද සොයා ගැනීම අපහසු නොවේ.

එකළ සෑම සියලු ක්ෂේත්‍රයකම මේ කඩාවැටීම පෙන්නුම් කළ අතර අවසානයේ ජාතික ආරක්ෂාවට පවා තර්ජන එල්ල විය.

රටේ මේ තත්ත්වය ඉහළම තලයේ පුරවැසියාගේ සිට පහළම තලයේ පුරවැසියා දක්වා රහසක් වූයේ නැත.

එම නිසා ශක්තිමත් ජනාධිපතිවරයෙක් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට රටේ බහුතර ජනතාව තීන්දු කළේය. ඒ අනුව වත්මන් ආණ්ඩුව හා ජනපතිවරයා පත් කර ගත්තේය.

ආණ්ඩුව පොරොන්දු ප්‍රකාරව සෞභාග්‍යයේ දැක්ම වැඩ පිළිවෙලද ක්‍රියාත්මක කිරීමට මේවන විට පියවර ගනිමින් තිබේ.

දුර්වල ආණ්ඩුවක් තිබෙන විට රටේ සංවර්ධනය උදෙසා කවර සාධනිය පියවරයන් ගත්තද ඒවාට එරෙහිව එල්ලවන යම් සුළු බලපෑම් හමුවේ පවා ඒවා හකුලා ගැනීමට ආණ්ඩුවලට සිදුවූ අවස්ථා ඉතිහාසයේ තිබේ.

ඒ නිසා රටේ සංවර්ධනය ආපස්සට ගිය අවස්ථා සොයා ගැනීම අපහසු නොවේ.

විශේෂයෙන්ම අපේ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණයක් වැනි දෙයක දී පවා වෘත්තීය සමිති සහ නිලධාරී මා‍ෆියාවෙන් එල්ල වන අසාධාරණ පීඩනයන් හමුවේ රාජ්‍ය සේවය හැමදාමත් එක තැන පල්වෙන අකාර්යක්ෂම පාඩු ලබන නාස්තිකාර වංචාවෙන් දූෂණයෙන් පිරුණු යාන්ත්‍රණයක් බවට පත්ව තිබෙන බව පැහැදිලි කරුණකි.

සංවර්ධන යෝජනා ක්‍රමයන් ක්‍රියාවට නැංවීමේ දී එල්ල වන කිසිදු පදනමක් නැති හේතු රහිත විරෝධතා අපට ඕනෑතරම් මතකයේ තිබේ. අධිවේගී මාර්ග පද්ධතිය ගොඩනගන විට ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් එලල් විය.

වරාය නගරය හදන විට එවැනිම විරෝධයක් එල්ල විය.

හම්බන්තොට වරාය මත්තල ගුවන් තො‍ටුපොල හදන විටත් එසේය.

එහෙත් මේ සියල්ලේ ප්‍රතිලාබ ඒ විරෝධතාකරුවන් ද ඇතුලුව අද ජනතාව බුක්ති විඳිමින් තිබේ.

මේ සංවර්ධන ව්‍යාපෘති කළේ ශක්තිමත් පාලකයන් සිටින විටය.

පසුගිය යහපාලනයට සිදු වූයේ මේ කියන සංවර්ධන කටයුතු කෙරෙහි විශ්වමයෙන් බලා සිටිනවා විනා අලුතෙන් කිසිවක් කරන්න නොවේ.

ඇතැම් අළුගුත්තේරුන්වන් කළේ මේවායේ අඩුපාඩු ගැන නන්දෙඩවීමය.

අද අපට ශක්ති සම්පන්න පාලනයක් ලැබී තිබේ. දැන් වගකිව යුතු විපක්ෂයක් නම් තමන්ගේ පසුගිය පාලන සමයේදී අවංකවම රටේ සංවර්ධනය වෙනුවෙන් පියවරගත් නමුත් ක්‍රියාත්මක කිරීමට තරම් සමත්කමක් නොදැක්වූ ව්‍යාපෘති ඇත්නම් සහ වත්මන් රජය එවැනි සාධනීය කටයුත්තක යෙදෙනවා යැයි පැහැදිලිවම පෙන්නුම් කරන කටයුතු වෙනුවෙන් ආණ්ඩුවට සහය දැක්වීම විය යුතුය.

තමන් ජනතාවට වග කියනවා නම් විපක්ෂයෙ ජනතා නියෝජිතයන්ගේ කාර්යභාරය රටෙත් ජනතාවගේත් යහපත් අනාගතය වෙනුවෙන් ආණ්ඩුව ගන්නා පියවරයන්ට සහය දීමත් තමන්ට අවුල් සහගත කරුණු වලදී සාධනීය විවේචයන්ට යාමත්ය.

එහෙත් අපි මේ ගෙවුණු වසර තුල දැක්කේ ආණ්ඩුවට විරුද්ධ වෙන්නන් වාලේ පුරුද්දට විරුද්ධ වීම්ය.

ප‍ටු දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ප‍ටු අන්තවාදී මතවල සිට කරන ගැරහීම්ය.

ස්වයං විනාශය කරායාම

මෙහෙම විපක්ෂයකින් රටට වැඩක් නැත.

පසුගිය යහපාලන යුගයේදී සුළුතර ආණ්ඩුවක් තබාගෙන සිටි අගමැති රනිල් වික්‍රමසිංහට රටේ යහපත පිණිස වේයයි සිතන යම් යම් කාරණාවලදී එවකට ඒකාබද්ධ විපක්ෂය සහය දැක්වූ ආකාරය සිහියට ගත යුතුය.

වැරදි තීරණවලය ඉහළින්ම විරෝධය දක්වා ඒවා ආපසු හැරවීමට හෝ සංශෝධනයන් කර ක්‍රියාත්මක කරවීමට හෝ කටයුතු කළේය.

එහෙත් එදා ආණ්ඩුවේ ජාතකයේ සිටම තිබූ විකාරරූපී බවත් අසමත්භාවයත් විසින් ස්වයං විනාශය කරා යෑම සක්කරයාටවත් නවතාගැනීමට හැකි තත්වයක් වූයේ නැත.

අද විපක්ෂය ඕලාරිකය, නිවටය, අලසය, දැක්මක් මතයක් මොකුත් නැත. අඩුම තරමින් ජනතාව වෙනුවෙන් බොරුවට හෝ පෙනී සිටින බවක් හෝ දකින්නට නොලැබෙයි. විපක්ෂයට හරි හමන් කොන්ද පණ තියෙන නායකත්වයක් නොමැත.

එම කණ්ඩායම් කල්ලි ගනනාවකට කැඩී ගොසිනි. අද මේ පිරිසට නැවත ආණ්ඩු බලයක් ගැනීම කියන එක මේ කපේදීවත් කළ හැකි බව සිතන්නෝ වෙත්නම් ඒ මන්ද මානසිකයන් පමණි.

විපක්ෂයට උනේ මාර වැඩේ කියා අපට ඒ දිහා බලා සිටින්නට හැකි වුණත් මෙය රටක් විදිහට හොඳ දෙයක් නොවේ.

ඇත්තටම මෙහෙම විපක්ෂයක් රටට ලැබීම ජාතියේ අවාසනාවකි.

- එස්.වීරතුංග

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top