Dec 09, 2020

ජනපතිගේ මැසේජ්එක තේරුම් ගැනීම

අදට යෙදී ඇති අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය හුදු සැමරුම් දිනයක් වෙනුවෙන් නිකුත් කළ ලියැවිල්ලකට වඩා එහා ගිය දෙයක් බව එහි අඩංගුව අනුව පෙනී යයි.

මන්ද ශ්‍රි ලංකාව දැන් දශක ගනනාවක් තිස්සේ හැඩ ගැසී ඇත්තේ දූෂිත රාජ්‍යයක ස්වභාවයන් අත්පත් කර ගනිමින් යන අනාගතයක් වෙනුවෙනි.. 'රාජ්‍යය යනු දූෂණයට කියන තවත් නමක්' යැයි සමහරු කියමනට කියන්නෙ රාජ්‍ය පද්ධතියම දූෂණය මත පදනම් වීමේ ප්‍රවණතාවයන් දකින්නට ලැබෙන බැවිනි. අද ශ්‍රී ලංකාව නතර වී ඇත්තේ එතැන බව කීම අතිශයෝක්තියක් නොවේ.

හැමදාමත් මැතිවරණයක් මැතිවරණයක් පාසා පක්ෂ විපක්ෂ හැමෝගේම ප්‍රමුඛ සටන් පාඨයක් වන්නේ දූෂණයට වංචාවට නාස්තියට එරෙහි වෙමු යන්නය. එහෙත් ඒ කිසිදා යථාර්තයක් වන්නේ නැත. විපක්ෂයේ සිටියදී හඬ නගන සටන් පාඨ ආණ්ඩු බලයත් සමඟ අමතක වෙයි. දූෂණය තවත් වටයකින් ආරම්බ වෙයි. මෙය අපිට අලුත් දෙයක් නොවේ.

පැවැති යහපාලනය යුගය අවසන් කිරීමට රටේ බහුතර ජනතාවක් යොමු වූයේ දූෂණ වංචා ආදිය ගැන එල්ල වූ බරපතල චෝදනා ද නිසාය. ජනපති ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ජනතාව වැඩි විශ්වාසයක් තැබුවේ එම තත්වයන් වෙනස් කරන්නය. කෙලින් වැඩ කරන, බය නැතිව තීන්දු ගන්නා. නායකත්ව පෞර්ෂයක් සහ විනය ගරුක, නීති ගරුක රටක සිහිනය සැබෑ කිරීම සඳහා ඔහුට ඇති හැකියාව ගැන විශ්වාසය තබාය.

ඔහු අද විධායක ජනාධිපතිවරයා ලෙස ඒ වෙනුවෙන් වෙහෙසෙමින් තිබේ. එහෙත් මේ ඔහුට තනියෙම කළ හැකි ඉන්ද්‍රජාලික විජ්ජාවක් නොවේ. ඊට ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාවලියද, රාජ්‍ය පරිපාලන සේවයේ සහයද මෙන්ම ජනතාවගේ සහයද අවශ්‍යය. එම වගකීම් යුතුකම් නිසි ලෙස ඉ‍ටුවන්නේ නම් ඊට ඇවැසි නිවැරදි සෘජු නායකත්වය ඔහු සපයනවා ඇත.

අද ජනාධිපති නිකුත් කළ නිවේදනය අනුව ඔහු ජනතාවගෙන් වැදගත් ඉල්ලීමක් කර තිබේ. එම නිවේදනයම පදනම් වන්නේ ඒ මතය. ඒ මෙසේය.

“වඩාත් හොඳින් දූෂණය සමග සටන්වැදීමට රටකට හැකි වනුයේ මේ සාපරාධී චර්යාවට එරෙහිවීමට රට වැසියාට වුවමනාවක් සහ නැඹුරුවක් ඇති විටය. රටවැසියා දූෂණය නොඉවසීම එය පරාජය කිරීමට ඇති හොඳම ආයුධයයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය දූෂණයට එරෙහි සටනේ දී රටවැසියා බල ගැන්වීමට ඉහළ අවධානයක් යොමු කළේ එබැවිනි. නාස්තිය සහ දූෂණය පිටුදැකීම මගේ ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් කොට සලකමි.

සුපැහැදිලි බහුතරයක් සහිතව මගේ ජයග්‍රහණය සහතික කිරීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දූෂණයෙන් තොර කාර්යක්ෂම දේශයක් ගොඩනැගීමට සිය සහය සහ අභිලාෂය පළ කළහ. රජයේ පරිපාලන යාන්ත්‍රණයේ පුළුල් සහභාගී සහ සක්‍රීය කාර්ය භාරයක් ඉටු කරන ලෙසත්, රජයේ සේවාවන් කාර්යක්ෂමව ලබා ගැනීමට ඔබට ඇති අයිතිය ගැන වඩා දැනුවත් වන ලෙසත්, කුමන ආකාරයක හෝ අල්ලස් ඉල්ලීම්වලට එරෙහිවන ලෙසත් අපේ ජනතාවට මම ආරාධනා කරමි.

රජයට ඔබ කෙරෙහි ඇති වගකීම් ගැන වඩා අවදියෙන් සිටින ලෙසත්, කුමන ආකාරයක වුවද අල්ලස් හා දූෂණ සිදුවීම් නීතිය ක්‍රියාත්මක කිරීම හෝ විමර්ශනය හෝ භාර බලධාරීන් වෙත නොපමාව වාර්තා කිරීමෙන් ඔබේ රටවැසි වගකීම ඉටුකරන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිමි. ජනතාව නිවාරණ යාන්ත්‍රණය ඇතුළත සවිඥාණික කාර්යභාරයක් ඉටු කරන්නේ නම් මේ උවදුර රටෙන් මුලිනුපුටා දැමීම පහසුය.

මේ රට දූෂණ සංස්කෘතියෙන් මුදාගෙන මතු පරම්පරාවන් සඳහා යහපත් දේශයක් බවට පත් කිරීමට එක්ව වැඩ කරමු.”

ජනාධිපති පවසන්නේ දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් අත්පත් කරගැනීම වෙනුවෙන් ජනතාවට වගකීමක් ඇති බවය. ඒ අනුව, දැනුවත්ව අවබෝධයෙන් යුතුව සුපිරිසුදු රාජ්‍ය පාලනයක් වෙනුවෙන් අරගල කිරීම ජනතව වෙතින් සිදුවිය යුතු බවට කරන අවධාරණයක් බව මෙම නිවේදනය සැලකිය හැකිය.

වෙනදා රාජ්‍ය පාලකයා ජනතාවගෙන් මෙවැනි ඉල්ලීම් කළේ නැත. තමන් විසින් දුෂණයට තිත තබන බවත් දුෂණය ඇතිවීමට ඉඩ තබන්නේත් නැති බවත් ආදී නරිවාදන් වලින් ඒවා පිරි පැවැතිනි. එහෙත් ඇත්ත ඊට වෙනස්ය. එම පාලනයන් අන්ත දූෂිත විය. දූෂිතයන් ආරක්ෂා කිරීම සිදු විය. දූෂිත පාලනයට එරෙහි දේ මැඩළුවේය. ජනතාවට කටක් අරින්න හෝ ඉඩක් තැබුවේ නැත.

අද මෙහි අනෙක් පස සිදුවෙමින් තිබේ. ජනාධිපතිවරයා අද ජනතාවට දූෂණයට එරෙහිවන්න යැයි ආරාධන කරයි. ජනාධිපතිවරයා තමන්ගේ ද කැමැත්ත වන ඒ දූෂණයෙන් තොර රාජ්‍යය වෙනුවෙන් තමන් සමඟ එක්ව වැඩ කරමු යැයි ආරාධනා කරයි..

මේ අනුව මේ පණිවිඩය ජනතාව නිවැරදිව තේරුම් ගත යුතුය. ජනාධිපතිවරයා සිටින්නේ ජනතාව සමඟ ජනතාවගේ පිළෙහිය. ජනාධිපතිවරයාගේ ශක්තිය ජනතාව වන අතරම ජනතාවට ජනාධිපතිවරයා ශක්තිය වී තිබේ. මිට පෙර මෙහෙම පාලකයන් අප දැක නැත. ගෝඨාභය රාජපක්ෂ අපේ රටේ බිහිවූ සුවිශේෂී පාලකයකු වන්නේ ඔහුගේ මේ අවංක අභිලාෂය වෙනුවෙන් සෘජුව පෙනී සිටින නිසාය.

දැන් ජනතාව විදිහට අප අධිෂ්ඨාන කරගත යුත්තේ අප බලාපොරොත්තු වූ දේශය වෙත පිය නැගීමටය. ඊට අවසරය ජනපති ගෝඨාභය රාජපක්ෂ අපට ලබා දී තිබේ.

දූෂණයට එරෙහි වෙමු !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top