Dec 16, 2020

විනය පිටකයම කටපාඩම් නෙදර්ලන්ත හිමියෝ සියදිවි හානිකර ගත්තාද ?

පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනය වූ කලී රත්ගම කලපුවේ දූපතක පිහිටි පිංබිමකි. රත්ගම කලපුවේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වන්නේ මෙකී පිංබිම නිසාවෙනි. අක්කර හතරහාමාරක වපසරියකින් යුත් භූමියක පිහිටා ඇති මෙකී ආරණ්‍ය සේනාසනය නිල්වන් අහස්තලය මත පිහිටි රුක්ගොමුවක් වැනිය. ගැමිකම ගැමි සුන්දරත්වය තවමත් මෙහි රැඳී ඇත්තේය. මෙකී පිංබිම ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රසිද්ධියට පත් පිංබිමකි.

මෙකී ආරණ්‍ය සෙනසුනේ ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් පවා වැඩසිට ඇති අතර අදටත් දෙස් විදෙස් භික්ෂුන් වහන්සේ ත‍්‍රිපිටක ධර්මය අධ්‍යයනය කරමින් භාවනායෝගීව වැඩවසති. වසර සියයක ඉතිහාසයකට උරුමකම් කියන පොල්ගස්දූව ආරණ්‍යය ස්විස්ටර්ලන්ත ජාතිකයකු විසින් රන්පවුම් 75 කට මිලදීගෙන ඤාණතිලෝක හිමියන් වෙත පූජාකොට ඇත්තේය. පොල්ගස්දූව ආරණ්‍යයේ ආදි කර්තෘ වරයාණන් වහන්සේ ඥාණතිලෝක හිමියන්ය. උන්වහයන්සේ ජර්මන් ජාතිකයෙකි.

නෙදර්ලන්තයේ ජිනවංශ නමැති විදේශීය ජාතික හිමිනමක්ද මෙකී ආරණ්‍යයේ ඇති කුටියක බවුන් වඩමින් වැඩවසති. පොල්ගස්දූව ආරණ්‍යයේ භාවනායෝගීව වැඩවසන සුදු හාමුදුරුවන් ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. උන්වහන්සේ සෑම දිනකම පාහේ හිමිදිරියේ ඔරුකඳක නැගී රත්ගම කලපුව වටා ඇති තොටුපළවලට වැඩම කොට පිණ්ඩපාත චාරිකාවේ නිරතවෙති. සුදු හාමුදුරුවෝ පිඬුසිඟා වැඞීම සඳහා එක් තොටුපළකට වැඩම කරන්නේ සතියකට එක් දිනකි. උන්වහන්සේ සතියේ දින බෙදාගෙන තොටුපළවලට ගොස් පිඬුසිඟා වඩිති. උන්වහන්සේ තොටුපළට වැඩම කරනතෙක් දායකයන් ද පෙරමග බලා සිටිති. උන්වහන්සේට සිංහල භාෂාව එතරම් කථාබස් කිරීමට නොහැකි වුවද තෙරුවන් සරණයි. සුබ උදෑසනක් වේවා යනුවෙන් දායකයන්ට ආමන්ත‍්‍රණය කරති.

හිමිදිරියේ ඔරුකඳක නැගී කලපුව හරහා වැඩම කරන මේ සුදුහාමුදුරුවන් රත්ගම හා පොල්ගස්දූව අවට ජනතාවට සුලභ දසුනකි. හිමිදිරියේම පිඬුසිඟා වැඞීම සඳහා වැඩම කරන සුදුහාමුදුරුවෝ උදෑසන හත අට පමණ වනවිට නැවත තම භාවනා කුටියට වැඩම කරති. කලපුව ආසන්නයෙම උන්වහන්සේ වැඩසිටින භාවනා කුටිය පිහිටා ඇත්තේය. උන්වහන්සේ සිත දියුණුකර ගැනීම සඳහා විවිධ භාවනාක‍්‍රම පිළිබඳ අධ්‍යයනය කරමින් කටයුතු කරන සිල්වත් හිමිනමකි.
 
සුදුහාමුදුරුවන්ගේ උපන් රට නෙදර්ලන්තයේය. උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනවංශ නමින් 19 හැවිරිදි වියේදී පැවිදි බිමට පිවිසෙති. ජිනවංශ සුදු හාමුදුරුවෝ පැවිදි දිවියට පත්වන්නේ තායිලන්තයේ දීය. උන්වහන්සේ ජීවිතයේ වැඩිකාලයක් භාවනායෝගිව තායිලන්තයේ වැඩවාසය කරමින් සිටියෝය. ජිනවංශ සුදුහාමුදුරුවන්ට චතුරලෙස තායි භාෂාව කථා කළ හැකිය. නිස්කලංක පරිසරයට උන්වහන්සේ දැඩිලෙස ඇළුම් කළහ. ජිනවංශ සුදු හාමුදුරුවෝ 2007 වර්ෂයේදි මෙරටට වැඩම කළහ. මේ අතර උන්වහන්සේට පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනය ගැන දැන ගැනීමට ලැබුණි. 2011 වර්ෂයේදි උන්වහන්සේ පොල්ගස්දූව ආරණ්‍යයට වැඩම කළහ. පොල්ගස්දූව ජනී ජනයාගෙන් වෙන්වී භාවනායෝගිව වැඩ සිටීම සඳහා කදිම පිංබිමක් බවට උන්වහන්සේට අවබෝධ වන්නට වූහ. ජිනවංශ සුදු හාමුදුරුවෝ පොල්ගස්දූව ආරණ්‍යය භාවනායෝගීව වැඩසිටීම සඳහා තෝරාගනු එහි ඇති සුන්දරත්වය හා නිස්කලංක බව මෙන්ම පිණ්ඩපාත වැඞීම සඳහා සුදුසු ස්ථානයක් නිසාය.
 
ජිනවංශ සුදුහාමුදුරුවෝ වසර 09 කට අධික කාලයක් මෙකී පිංබිමේ බවුන් වඩමින් සිටියහ. උන්වහන්සේ ගත කරනු ලැබුවේ අල්පේච්ඡු දිවිපෙවතකි. උන්වහන්සේ සසර කතරින් එතෙරවීම සඳහා දවසේ වැඩිකාලයක් තම කුටියට වී භාවනායෝගීව වැඩසිටියහ. සුදු හාමුදුරුවෝ වැඩි කතාබහක් නොමැති හිමිනමකි. උන්වහන්සේ හුදකලාව දැඩි ලෙස ප‍්‍රියකළහ. අනික් කුටිවල වැඩවසන හිමිවරුන් පවා හමුවූයේ විනය කර්මයන් සිදුකළ දිනවල හා පෝය දිනවල පමණි. කොටින්ම කිවහොත් උන්වහන්සේ වනවාසි දිවි පෙවෙතක් ගතකළ හිමිනමකි. පිණ්ඩපාත චාරිකාව සඳහා වැඩම කරන ඇතැම් අවස්ථාවලදි උන්වහන්සේ අවට විහාරස්ථානවල හිමිවරුන් සමග වචනයක් දෙකක් කථාකිරීමට ද අමතක නොකළහ. ඒ විතරක් නොව උනවහන්සේ පිඬුසිඟා වඩින අවස්ථාවකදි දායකයෙකු විසින් බිස්කට් පැකැට්ටුවක් පූජා කළවිට උන්වහන්සේ බිස්කට් පැකැට්ටුවම ලබා නොගෙන ඉන් බිස්කට් දෙක තුනක් ලබාගනිති. පිඬුසිඟා වැඞීමට කලපුව හරහා ගමන් කිරීම සඳහා උන්වහන්සේට ඔරුකඳක් තිබූ අතර ඒ ඔරුකඳ කුටිය අසල ගැටගසා තිබුණි. මීට දින දෙක තුනක සිට උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අවස්ථාවේදී වැඩම කරන ඔරුකඳ පොල්ගස්දූව ආරණ්‍යයට ආසන්නයෙන් ඇති පරක්කුදූව දූපත අසල පාවෙමින් තිබුණි. සුදු හාමුදුරුවෝ පිහිනීමට දක්ෂ හිමිනමකි. ඔරුකඳ ගසාගෙන ගොස් පාවෙමින් තිබෙන අවස්ථාවලදි උන්වහන්සේ පිහිනාගොස් ඔරුකඳ යළි භාවනා කුටිය අසලට රැගෙන විත් ගැටගසති. මේ නිසා උන්වහන්සේ භාවනායෝගීව කුටිය තුළ වැඩවසන බවට අනිකුත් හිමිවරු විශ්වාස කළහ.
 
විනයකර්මයක් කරන අවස්ථාවකදි ආරණ්‍යයේ භාවනායෝගීව වැඩවසන හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරති. ඒ අනුව සුදු හාමුදුරුවන්ගේ කුටිය අසලට ගොස් උන්වහන්සේ දැනුවත් කිරීමට කටයුතු කළහ. එහෙත් උන්වහන්සේගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නොවීය. මේ අතර සුදු හාමුදුරුවන්ගේ මෘත දේහය පසුගිය අඟහරුවාදා පරක්කුදූව දූපත අසල තිබී සොයාගනු ලැබීය. ඒවනවිටත් උන්වන්සේගේ මෘතදේහය නරක් වී තිබුණි. මෙකී හිමිනමගේ මෘතදේහය ගොඩගන්නා අවස්ථාවේ පාද දෙකේ ලණුවකින් ගල්දෙකක් ගැට ගසා තිබූ අතර එක් පාදයක ගැට ගසා තිබූ ගලක් ගැලවී ගොස් තිබුණි.
 
 සුදු හාමුදුරුවන්ගේ අභිරහස් මරණය, මේ වනවිට භික්ෂු සමාජය අතර මහත් කැලඹීමට හේතුවී ඇත්තාහ. එ පිළිබදව අදහස් දැක්වු පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනාධිපති රජ්ගම විවේකවිහාරි හිමියෝ මෙලෙස අදහස් දැක්වුහ.
 
‘‘මට හිතාගන්න බැහැ. මොකක්ද මේ හාමුදුරුවන්ට වුණේ කියලා. මේ සුදුහාමුදුරුවෝ කුටියට වෙලා බණ භාවනා කරමින් විවේකීව ගතකළ හිමිනමක්. උන්වහන්සේ අපිට හමුවන්නේ පෝය දිනවලදි නැතිනම් විනයකර්මයක් සිදුකොට ආරෝචන කරන අවස්ථාවකදි පමණයි. විදුලිය නැති ඇතැම් අවස්ථාවලදි උණුවතුර රැගෙන යන්න සංඝාවාසය වෙත වැඩම කරනවා. මේ හාමුදුරුවන්ගේ ඔරුව කලපුවේ පාවෙමින් තිබෙන බව මට දැන ගන්නට ලැබුනා. පසුව ආරණ්‍ය සේනාසනයේ ඉන්න ළමයෙකුට මා කීවා උන්වහන්සේගේ කුටිය වෙත ගොස් මේ ගැන දැනුම් දෙන්න කියලා. නමුත් උන්වහන්සේ ප‍්‍රතිචාර දක්වලා තිබුණේ නැහැ. අපි හිතුවා උන්වහන්සේ එගොඩට වැඩම කරන්න ඇති කියලා. පසුදින විනයකර්මයක් තිබුණා සීමාවේ. සීමාවට ගොස් අපි විනයකර්මය කළා. විනයකර්මය කළවිට ආරණ්‍යයේ වැඩවසන භික්ෂුන්ට දන්වන්න අවශ්‍යයිනේ. මේ සුදු හාමුදුරුවන්ට විනයකර්මය ගැන දැන්වීමට ගිය විටදිත් කුටිය තුළ ඉඳලා නැහැ. ඔරුව ගැන සොයා බලනවිට එහි හබල තිබුණා. පසුව මේ ගැන මා රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් දැනුවත් කොට පැමිණිල්ලක් දැමීමට කටයුතු කළා. උන්වහන්සේ වැඩහිටපු කුටියේ පාත්තරය විසිවෙලා තිබුණා. පසුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ආවා. ඇවිත් උන්වහන්සේ වැඩසිටි කුටිය පරීක්ෂා කළා. පිණ්ඩපාතය සඳහා උන්වහන්සේ අසල දූපතක පිහිටි හෝටලයක් වෙත වැඩම කරනවා. අපි ඒ පොලිස් නිලධාරීන් සමග එම ස්ථානයට ගිහින් සුදු හාමුදුරුවන් ගැන සොයා බැලූවා. උන්වහන්සේ මීට දින තුනකට පෙර පිණ්ඩපාතය සඳහා වැඩම කළා. පිණ්ඩපාතය කරගෙන යළි බෝට්ටුව වැඩම කරලා ආපසු හැරිලා ඇවිත් කොරෝනාවල රෝග ලක්ෂණ ඇසුවා කියලා හෝටලයේ මහත්තයා කීවා. පසුව අපි සුදුහාමුදුරුවන්ගේ ඔරුව තියෙන තැනට ආවා. ඔරුව අසල උන්වහන්සේගේ දේහය පාවෙලා තිබෙනු දැක්කා. එක් පාදයක ගලක් ගැට ගසා තිබුණා. අනික් පාදයේ ගැට ගසා තිබූ ගල ගැලවී තිබුණා. අත්දෙක ගුලිකරගෙන හිටියේ. මා වසරක් පාසා උන්වහන්සේගේ වීසා බලපත‍්‍රය අත්සන් කරලා දුන්නා. මේ සිද්ධියෙන් පසු උන්වහන්සේගේ සමකාලීන හිමිනමක් වන නෙදර්ලන්ත ජාතික අසාන්මේදි නෝ හිමියන් ආරණ්‍යයට වැඩම කළා. උන්වහස්සේ අපේ හාමුදුරු කෙනෙක් සමග කීවා මීට වසර 20 කට පෙර මේ හාමුදුරුවන් විසාදය නමැති අසනීප තත්ත්වයකින් පෙළුනා කියලා. ඒකත් අපි දැන ගත්තේ ඒ හාමුදුරුවන්ගෙන් ’’ නෙදර්ලන්ත ජාතික ජිනවංශ හිමියන්ගේ අභිරහස් මරණය පිළිබඳ භික්ෂු සමාජය පමණක් නොව දායක දායිකාවන් ද දැඩි කැළඹීමට පත්ව සිටිති.

උන්වහන්සේ වැඩිකථාබහ නොකරන හිමිනමක් වුවද ධර්මයට අදාළ ගැටලූවක් පිළිබඳ උන්වහන්සේගෙන් විමසූවිට ඒ සඳහා නොපැකිලිව පිළිතුරු ලබා දුන්හ. සුදු හාමුදුරුවෝ භාවනාව සම්බන්ධයෙන් ආධ්‍යාත්මික වශයෙන් හොඳින් අධ්‍යයනය කළ හිමිනමකි. සැබවින්ම මේ සුදු හාමුදුරුවන්ගේ මරණය සිදුවූයේ කෙසේද? උන්වහන්සේ දියේ ගිලී මිය ගියාද,? නැතිනම් කිසිවකු විසින් දියේ ගිල්වා මරණයට පත්කළාද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇත. මෙකී සුදු හාමුදුරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂා හැන්නදි මහත්මිය විසින් සිදුකළාය. පශ්චාත් මරණ පරීක්ෂණයකින් බලාපොරොත්තු වන්නේ මරණයට හේතුව සොයා ගැනීමයි. පශ්චාත් මරණ පරීක්ෂණයේදි ලබාදී ඇත්තේ විවෘත තීන්දුවකි. මෙකී සුදු හාමුදුරුවන්ගේ මළ සිරුර හමුවී ඇත්තේ දින දෙකකට පසුව වන අතර මළ සිරුර සාමාන්‍ය වශයෙන් නරක් වී තිබූ බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත. සුදුහාමුදුරුවන්ගේ සිරුරේ අභ්‍යන්තරයේ තුවාල නොතිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණය වී ඇති අතර උන්වහන්සේ මියගිය ආකාරය පිළිබඳ සොයාගැනීම සඳහා සිරුරේ ඉන්ද්‍රයන් හා අක්මා කොටස් මෙන්ම රුධිර සාම්පල් රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකිරීමට කටයුතු කරනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට පෙර පී. සී. ආර්. පරීක්ෂණයක් ද සිදුකොට ඇති අතර උන්වහන්සේට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වී ඇත.
 
සුදු හාමුදුරුවන්ගේ මරණයට හේතුව සොයාගැනීමට රස පරීක්ෂක වාර්තාව එනතෙක් බලා සිටීමට සිදුවනු ඇත. අභිරහස් ලෙස මියගිය නෙදර්ලන්ත ජාතික හිමිනමකගේ මරණය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත. ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, රත්ගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් විසින් මෙකී අභිරහස් මරණය පිළිබඳ පැති කිහපයක් ඔස්සේ පුළුල් විමර්ශනයක් ආරම්භකොට ඇත. මෙකී හිමියන් පසුගිය 07 වැනිදින පිඬුසිඟා වැඩ ඇති බවට අනාවරණය වී ඇත. සී. සී. ටී. වී. කැමරාවල දර්ශන ඔස්සේ මේ පිළිබඳ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි එමිල් රන්ජන් මහතාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායමක්ද පරීක්ෂණ ආරම්භ කොට ඇත.

- ලලිත් චාමින්ද -
      (දිවයින)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top