Dec 16, 2020

මොකක්ද මේ 'Made in Sri Lanka යුගයක් ඇරඹුම' ක්‍රියාන්විතය...!

"මෙය දේශීය ව්‍යවසායකයන් මුහුණ දුන් දිගුකාලීන අර්බුදයට පිළියමක්!" කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කියන්නේ එහෙමයි.

ඇත්තටම මේ ව්‍යාපෘතිය කුමක්ද..?

මෙතුවක් කල් දේශීය ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන නිසි වෙළෙඳපොළ ක්‍රියාදාමයකට රැගෙන යන්න නිශ්චිත වැඩපිළිවෙළක් තිබුනේ නෑ. ඒ දිගුකාලීන අර්බුදයට පිළියමක් ලෙස තමයි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් මේ වැඩපිළිවෙළ ආරම්භ කරන්න තීරණය කළේ.

මෙමගින් දේශීය නිෂ්පාදන සඳහා 'Made in Sri Lanka' සන්නාමය ලබාදීමටත් ගුණාත්මක තත්ත්වයෙන් යුත් දේශීය නිෂ්පාදන දෙස්-විදෙස් වශයෙන් අලෙවි කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි.

20020 දෙසැම්බර් (15) දින සවස 7:00ට ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රය තුළදි මෙම වැඩසටහනේ කලඑලි මංගල්‍යය පැවැත්විණි.

100%ක්ම දේශීය අමුද්‍රව්‍ය යොදාගන්නා නිෂ්පාදනයකට 'Made in Sri Lanka' සන්නාමය එක් වර්ණයකිනුත් 70%ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා නිෂ්පාදනයකට එම සන්නාමය වෙනත් වර්ණයකිනුත් 50% හෝ ඊට අඩු දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා නිෂ්පාදනයකට තවත් වර්ණයකිනුත් මෙම සන්නාමය ලබා දීම සිදු කිරීමට නියමිතයි.

එය සඳහා පිළිගත් විශේෂඥ කමිටුවක් පත් කොට ඒ කමිටුව හමුවට ඉදිරිපත් කරන දේශීය නිෂ්පාදන පිළිබඳ තීරණ ගැනීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය 'රට පුරා දිවෙන යාන්ත්‍රණයක්' ලෙස ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම ක්‍රියාන්විතය ඇරඹීමේදී සංකේතාත්මකව එවැනි නිෂ්පාදන දහයකට 'Made in Sri Lanka' සන්නාමය ලබා දීම සිදුකරන ලදී .මෙම ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ඉදිරියට යන්නේ ඉහත විශේෂඥ කමිටුවේ නිර්දේශය සහිතවයි.

දැනටමත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම අදාළ නිලධාරියෙකු පත්කොට ඔවුන් හරහා ඒ ඒ බල ප්‍රදේශය තුළ සිටින දේශීය ව්‍යවසායකයන් හා ඔවුන්ගේ නිෂ්පාදන මොනවාද, ආදී දත්ත එකතු කරගනිමින් පවතී.

එම දත්ත උපයෝගී කර ගනිමින් දේශීය නිෂ්පාදන පිළිබඳව අවබෝධය ලබා දෙන අතර සෘජුව අදාළ නිෂ්පාදකයා සම්බන්ධ කරගත හැකි වන අතර ගැනුම්කරුවාට අතරමැදියෙකුගේ මැදිහත් වීමකින් තොරව නිෂ්පාදන මිලදී ගත හැකි සුවිශේෂී වෙබ් අඩවියක් ද madeinsrilanka.org නමින් නිර්මාණය කොට ඇත

මෙහි වැඩිදුර විස්තර 'Made in Sri Lanka' වෙබ් අඩවිය හරහා ද ජනතාවට දැනගැනීමට ද ඉඩ ප්‍රස්ථාව සලසා ඇත.

මෙරට පමණක් නොව විදේශ රටවලත් " Made in Sri Lanka" අලෙවිසැල් ජාලයක් පිහිටුවීමටත් කටයුතු කරන අතර මේ සඳහා කැමැත්ත ඇති හැකි පෞද්ගලික අංශයේ පිරිස්වලට ද මෙම "Made in Sri Lanka " අලෙවිසැල් ජාලයට ඇතුලත් විය හැකිය. එම අලෙවිසැල් ජාලයට දේශීය නිෂ්පාදන යොමු කර දීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින්ම සිදුකෙරේ.

එමෙන්ම දේශීය නිෂ්පාදකයන්ට වෙළෙඳ දැන්වීම් සඳහා විශාල මුදලක් යෙදවීමට හැකියාවක්ද නැත. එමනිසා ගුණාත්මක බවින් යුත් දේශීය නිෂ්පාදන පවා බහුජාතික සමාගම් සතු 'වෙළඳ දැන්වීම් බලය' හමුවේ අසරණ වී ඇත. ඒ අයට ද ඔවුන් හමුවේ පවතින මේ අභියෝගය ජයගැනීමට රජය දිය හැකි උපරිම සහයෝගය ලබාදීමද මෙම ක්‍රියාන්විතයෙන් සිදු වේ.

අකර්මණ්‍ය වී තිබු රටක් දිනෙන් දින පියවරෙන් පියවර ඉදිරියට ඇදේ. ගෙවී ගිය හැත්තෑ දෙවසරක් ගැන කණිපින්දම් කියන ජාතියක් නොවී උදාවන අර්ථවත් හෙට දිනකට සුබ පැතීම මේ රටට ආදරය කරන අප සැමගේ යුතුකම හා වගකීම විය යුතුය.

 ✍️     නිලන්ත සත්සර ගමගේ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top