අපුරු පින්කමක් වුණේය.ඒ ගහක් මහණ කිරිමය.කොල්ලෙක් මහණ කළාම හතර වරිගේම නිවනට යන්නේය.ගස් මහණ කළාමත් අවට ගස් ඔක්කෝම නිවන් යන්නේ දැයි නොදන්නා එකෙක් ඇසුවේය. මහණ කරලා විතරක් මදිය.උපසම්පදාත් කළ යුත්තේය.ඊළඟට සුදානම් විය යුත්තේ ඒ පින්කමටය.
මේ ළගදි මෛත්රී උන්නැහෙත් මහණ කරපු ගහ ළඟට ගියේය.ගහට වැන්දේය.ඒක වටිනවාය.
.කොල්ලෙක් වටිනා ගහක අතු කපා දැම්මේය.ග්රාම සේවක ආවේය.අතු කපා දැම්මේ මන්දැයි සැරෙන්ම ඇසුවේය.අනේ රාලහාමි ගහ මහණ කරන්න කලියෙන් හිස මුඩු කළා යැයි කොල්ලා කීවේ බයාදු ලෙසටය.
සෑසනේ පැවැත්ම ගැන දැන් බයක් නැත්තේය.ලොකු හාමුදුරුවෝ ඉන්නෙත් දැන් ඒ ගැන සතුටින්ය.
ඉදිරියට කොල්ලන් මහණ වෙනවා අඩුය.දැන් බයක් නැත්තේ කොල්ලන් වෙනුවට මහණ කරපු ගස් ටිකත් ඇති නිසාය.විල්පත්තුවේ ගස් ටික මහණ කරගන්න බැරිවුණේ මන්දැයි ඒ අස්සේ එකෙකු ඇසුවේය.ඒවා ඔනෑනැති කතාය තවත් වැඩක් ඇත්තේය.අලුත් ගෙවල් හදන්නේය.
හදන ගෙයි වස් දොස් යන්නට කට්ටිය හොයන්නේ මහණ කරපු ගස්වල ලී ය. දොරටත් උළුවස්සටත් මහණ කරපු ගස්වල ලී හොඳය.එයින් අපල නැති වෙන්නේය.
මහණ කළ ගස් ලොකු වුණාම මොකද කරන්නේ යැයි කොල්ලෙක් ඇසුවේය.
ලොකු වුණාම පදවි තනතුරු දෙන්නේය. ඒ පදවි මොනවාදැයි තවත් එකෙක් ඇසුවේය. ඒ එක එක පළාත්වල හැටියටය, කෝරළවල හැටියටය. පදවි ලැබු ගස් ටික එකතු වෙන්නේ කොහේදිදැයි නොසන්ඩලයෙක් ඇසුවේය.ඒ මොරටුවේදිය.එහෙම කීවේ තවත් කොල්ලෙක්ය.
දැන් ඇඳන් වලට පොලු දමන්න බය වෙන්නේය. ඒ පොල්ලත් මහණ කළාද නොදන්නා නිසාය. ඒ මහණ කරපු ගස් වලින් හදපු පොලුවල නිදා ගැනිම පවක්ය. එහෙම කිව්වේ ආච්චිය.
ආච්චි සාදුකාර දෙමින් තවත් එකක් කීවාය. හරක්, කුකුළෝ නිතර මසට මරන්නේය. හරක් මරන්න එපා කියා හාමුදුරුවෝ කෙනෙක් ගිනි තියා ගත්තේය. ඒ හරක් කුකුළෝ බේරගන්නත් ඔය වගේ වැඩක් කරන්න බැරිදැයි ආච්චි ඇසුවාය. ඒක ඇසුණු ආතා හැරමිටිය නැතිවම වේගයෙන්ම සාලේට ගියේය.
ඒ අස්සේ ආච්චි පේන්න නොසිටියාය.ආතා හැමැතැනම හොයන්න ගත්තේය.බැලුවාම ආච්චි කුස්සියේ ඉන්නේය.ඒ වංගෙඩියට මෝල් ගහකට වැඳගෙනය.ආතාට හිනාය. ආතා උඩුකුරිඤ්ඤංය.
හිනා වෙන්න කාරණා නැත්තේය. මම මේ පුදන්නේය. මෝල් ගහට වදින්නේ ඇයිදැයි ආතා ඇසුවේය. ඇයි යකඩෝ මේ මෝල් ගහත් මහණ කරපු ගහකින් කපාගෙන හදපු එකක් වෙන්න බැරි නැත්තේය. ආච්චි එහෙම කියමින් වංගෙඩිය ඉස්සර වැඳ වැටුණේය.
ඒකත් ඇත්තය. මේ යන විදියට ඒකත් වෙන්න බැරි නැත්තේය.
- ධර්ම ශ්රී ගේ සමයං..
ධර්මශ්රී බණ්ඩාර තිලකවර්ධනගේ ෆේස්බුක් පිටුවෙනි.