May 19, 2021

බුදුරජාණන් වහන්සේ වැඩ විසුවේ ලංකාවේද ?

මේ වෙසක් මාසයයි. බුදුරජානන්වහන්සේගේ උපත, බුදුබව ලැබීම හා පිරිනිවන්පෑම යන තෙමඟුල සමරන මාසයයි. බුදුරජාණන්වහන්සේ උපත ලද ස්ථානය ගැන විමසීමට සුදුසු යම් කලක් ඇත්නම්, මෙය එයට සුදුසුම මාසයයි.

සිදුහත් කුමරුන් උපත ලද්දේ ලංකාවේ බවත්, බුද්ධත්වයට පත් උන්වහන්සේගේ ජිවිතයට සම්බන්ධ ස්ථාන ඇත්තේ ලංකාවේ බවත් පිළිගන්නා පිරිසක් අද ඇත. ඇතැම් ලාංකිකයන් මෙම මතය දරන්නේ බුදුරජාණන්වහන්සේ පිළිබඳව ඇති දැඩි ශ්‍රද්ධාව නිසා බව නිසැකය. එවන් උතුමෙකු තමන් උපන් බිමෙහිම උපත ලද්දේ යැයි විශ්වාස කිරීම තුලින් ඔවුන් ලබන මානසික සුවය වටහා ගැනීමට අපහසු නැත. මෙම කරුණ පිළිබඳව මෑත කාලයේ උනන්දුවක් ඇතිවී තිබෙන්නේ ලංකාවේ " හිරිවඩුන්න " නම් ස්ථානයක බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලැබුවේදැයි පුරාවිද්‍යාත්මක සාක්ෂි සෙවීමට, ඇතැම් දේශපාලකයන්ට ඇතිවී තිබෙන උනන්දුව නිසාය. බුදුරජානන්වහන්සේ උපත ලදුවේත්, ජීවත් වූවේත් උතුරු ඉන්දියාවේ යැයි විද්‍යාත්මක සාක්ෂි රැසක් හමුවී තිබේයැයි ඔවුන් නොදන්නවා විය හැක. මෙසේ වැදගත් කරුණු රැසක් හමුවී තිබියදී , ලංකාවේ එම ස්ථාන සොයා ගැනීමට රාජ්‍ය මුදල් යෙදවීම නිෂ්ඵල ක්‍රියාවක් බව, නායක කාරකාදීන් වටහා ගත යුතුය.

අපහට මානසික සුවය සහ ආශ්වාදය ලබාදෙන සියල්ල සත්‍යයන් නොවන බවද,  ඇතැම් විට අප මුලාවට පත් කරන මිත්‍යාවන් බවද, මෙවන් විශ්වාසයක් ඇති බෞද්ධයන් අවබෝධ කරගැනීම වැදගත්වේ.ඉන්පසුව තමන් දරන මතයට නොඇලී, ඉන් වියුක්තව බුදුරජාණන්වහන්සේ උපත ලද්දේ ලංකාවේද, නැත්ද යන්න ගැන විමසා බැලිය යුතුය.මෙහිදී තමන් අයත් වන ගුරුකුලය මේ ගැන දරන මතයට විචාර බුද්ධියකින් තොරව ඇලීම, සැබෑ බෞද්ධයෙකු විසින් නොකට යුතුය.     

ත්‍රිපිටකයේ කිහිප ස්‌ථානයක සිදුහත් කුමාරෝප්පත්තිය සිදු වූයේ 'ලුම්බිණිය' නම් ස්‌ථානයක බව සඳහන් වේ. බුද්දක නිකායේ ආපදාන පාලියේ බද්ධියවග්ගයහි, කාලුදාතෙර අපදානයෙහි ද, බුද්දක නිකායේ සුත්ත නිපාතයේ නාලක සූත්‍රයහි ද, අභිධර්ම පිටකයේ කථාවස්‌තුවෙහි මහාපන්නසාක ප්‍රථම වග්ගයහි ද, නිත්තෝපන්නසාක හිද සිදුහත් කුමාරෝප්පත්තිය 'ලුම්බිණිය' නම් ස්‌ථානයහි සිදු වූ බව සඳහන්ව ඇත. තවද මහායාන ග්‍රන්ථයක්‌ වන ලලිත විස්‌තරයෙහි පස්‌වන පරිච්ඡේදයෙහි 'ලුම්බිණි' උද්‍යානයේ සිදුහත් කුමාරෝපත්තිය සිදුවූ බව සඳහන්ව ඇත. ඉන්පසු කලක ලියෑවුණු බොහෝ බෞද්ධ ග්‍රන්ථවල ද එහි සිදුහත් කුමාරෝප්පත්තිය සිදු වූ බව සඳහන්ව ඇත. මෙයින් නාලක සූත්‍රයේ මෙසේ සඳහන්ව ඇත. "අසමාන ශ්‍රේෂ්ට රත්නයක්‌ වූ ඒ බෝධිසත්ව තෙමේ සැපය පිණිස උපන්නේය. ශාක්‍ය ජනපදයෙහි වූ 'ලුම්බිණි' උයනෙහි මනුෂ්‍ය ලෝකයට අභිවෘද්ධිය පිණිස උපන්නේය." 

සැබෑ ලුම්බිණිය ඇත්තේ කොතැනද ?

දැන් ඇතමුන්ට ප්‍රශ්නයක්ව ඇත්තේ මෙම ස්ථානය පිහිටා ඇත්තේ කොතැනද යන්නයි. අද දින නේපාලයෙහි පිහිටා ඇති 'ලුම්බිණිය' සිදුහත් කුමාරෝපත්තිය සිදු වූ ස්‌ථානය බව ලොව බොහෝ බෞද්ධයන්ගේ පිළිගැනීමයි. ඉන්දියානු දේශසීමාව අසල පිහිටා ඇති මෙම ස්‌ථානයට වසරකට විදේශීය සංචාරකයන් ක්‌ෂ හතරක පමණ ප්‍රමාණයක්‌ පැමිණෙන අතර මෙයින් පනස්‌දහසක්‌ පමණ  පැමිණිනෙන්නේ ශ්‍රී ලංකාවෙනි. බොහෝ අය නොදැන සිටියත්, මෙම ස්‌ථානයේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් එහි පෞරාණිකත්වය පිළිබඳව වැදගත් සාධක ගණනාවක්‌ හමු වී තිබේ.බුදුරජනන්වහන්සේගේ දිවියට සම්බන්ධ උතුරු ඉන්දියාවේ බොහෝ ස්ථාන වලින් ඒ කරුණ පිළිබඳව සාක්ෂි හමුවී ඇති නමුත්, ඉන් විශාල සාක්ෂි ප්‍රමාණයක් හමුවී ඇත්තේ උන්වහන්සේ උපත ලද ලුම්බිනියෙනි. එයට එක් හේතුවක් නම් අනෙක් බොහෝ ස්ථාන ජනාකීර්ණ වී තිබීමයි.

නේපාල දේශසීමාව අසල මේ පරිපාලන ප්‍රදේශයේ පාලකයාව සිටි ජෙනරල් කඩ්ජා සම්සර් රණා සහ පුරාවිද්‍යාඥයකු වූ ඇලොසිස්‌ ඇන්ටන් ෆරර් යන අයට මෙම ස්‌ථානය නැවත සොයා ගැනීමේ ගෞරවය හිමි වේ. ක්‍රි. ව. 1896 දී ඔවුන් රුමින්ඩෙයි නම් ග්‍රාමයේ කඩා වැටී තිබූ නටඹුන් ගොඩක තිබී බ්‍රාහ්මී අක්‌ෂරයෙන් ලියෑවුණු ශිලා ස්‌ථම්භයක්‌ සොයා ගන්නා ලදී. මෙම නටඹුන් අසල රූපාදේවී නම් දෙවඟනකගේ දෙවොලක්‌ ද තිබිණි. මෙම ශිලා ස්‌ථම්භයේ තිබූ ශිලා ලිපිය කියවීමේදී එය ධර්මාශෝක රජු විසින් කරවන ලද්දක්‌ බව හෙළි විය. එම සෙල්ලිපියේ සඳහන්ව තිබූ බ්‍රාහ්මීය අක්‌ෂර මෙසේය.

 පළමුවන පේළිය- "දේවානපියනා පියදසිනා ලජිනා විසාති - වාසාබිසිතානා"

 දෙවන පේළිය- "අටනා ආගාච මහහිසිටෙ හිද බුදෙ ජාතෙ සාක්‍යමුනි ති"

 තුන්වන පේළිය- "සිලා විගා ඩා භි චා කල්පිත සිලා - තාබෙ චා උසපාපිතෙ"

 සතරවන පේළිය- "හිද බගවම් ජාතෙ හි ලුම්මිනි ගාමෙ උබලිකෙ කතෙ අතභාගියෙ කා"

මෙහි මුල් කියවීම්වල අර්ථය මෙසේය. "දේවානම්පියදර්ශි රාජ්‍යත්වයට පැමිණ විසි වසරක්‌ ගතවූ තැන හෙතෙම මෙතැනට පැමිණ ශාක්‍ය බුදුන් මෙහි උපන් නිසා වන්දනා කරන ලදී. බුදුන් මෙහි උපන් නිසා ඔහු මෙතැන ශිලා ස්‌ථම්භයක්‌ද අස්‌රුවක්‌ සහිත ගලක්‌ ද තනවන ලදී. ඔහු 'ලුම්බිණි' ග්‍රාමය බදු ගෙවීම්වලින් මුදාහල අතර, අස්‌වැන්නෙන් අටෙන් පංගුවක්‌ පමණක්‌ ගෙවන ලෙස පැනවීය." මෙහි සඳහන් සිලා විගා ඩා භි චා" යන්නෙන් ගල් පුවරුවක්‌ හැඳින්වෙන බව පසුකලෙක කරන ලද කියවීම්වල පළ වේ. දේවානම්ප්‍රියදර්ශි යනු ධර්මාශෝක රජුගේ ඉන්දියාව පුරා විසිරී තිබී සොයාගන්නා ලද සියලුම ශිලා ස්ථම්භ වල, ඔහු හදුන්වන නාමයයි. 

මෙම කියවීම් නිසා මෙහි වන්දනා කරන රූපාදේවී නම් දේවතාවිය සිදුහත් කුමරාගේ මව වූ මහාමායා දේවිය යෑයි සැකයක්‌ මතු විය. එසේම මෙහි කරන ලද මුල් කැණීම්වලදී හමුවන ලද ශිලා කැටයමකින්ද මෙය සිදුහත් කුමාරෝප්පත්තිය සිදු වූ ස්‌ථානය බවට තහවුරු විය. එම ශිලා කැටයම වන්දනාකරුවන් විසින් දිගින් දිගටම ස්‌පර්ශ කිරීම නිසා ගෙවී ගොස්‌ තිබුණු නමුත් එහි සටහන් වන්නේ කුමරකුගේ උත්පත්තියත්, ශාකයක්‌ අසල සිටින කාන්තා රුවක්‌ බවත් පැහැදිලි විය. මේ සියලු සොයාගැනීම් නිසා පසු කලක හින්දු දේවාලයක්‌ බවට පත් කරන ලද 'රූපාදේවී' දේවාලය ඇත්ත වශයෙන්ම මහාමායාදේවීය සඳහා මුලින් තනන ලද සිදුහත් කුමාරෝපත්තිය සිදු වූ ස්‌ථානය බවට වටහා ගැනිණි.

චීන දේශාටක භික්‌ෂූන්ගේ සටහන්

මෙම ස්‌ථානයට ඉතා දුරාතීතයේ පැමිණි චීන බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා තුන් නමකගේ දේශාටන සටහන්වලින් ද, මෙම ස්‌ථානය 'ලුම්බිණි' ය සමඟ සමපාත වන බව තහවුරු විය.සිදුහත් කුමාරෝප්පතිය සිදු වූ මෙම ස්‌ථානය පිළිබඳව වැදගත් සටහන් කිහිපයක්‌ මෙම චීන ජාතික භික්‌ෂූන් වහන්සේ තුන් නම විසින් ලේඛනගත කොට ඇත. ඔවුන්ගේ ගමන්ගත් ගමන් මාර්ග දේශාටන සටහන් වල මැනවින් විස්තරවී ඇත.

චිං රාජ සමයේ, ක්‍රි. ව. 350 - 375 අතර කාලයේදී, මෙම ස්‌ථානයට පැමිණි ෂි - ශෙන්ෂී නමැති චීන බෞද්ධ භික්‌ෂූන් වහන්සේ පැමිණෙන විට, එය පරිහානියට පත්ව තිබූ බව මෙසේ විස්‌තර කරයි. "කපිලවස්‌තුපුරයට දැනට රජ කෙනෙකු නැත. මෙම පුරය හා එහි පොකුණු නටඹුන්ව අපවිත්‍රව පවතී. මෙම ස්‌ථානයේ නිවාස විස්‌සක්‌ පමණ පිහිටා ඇති අතර, ඒවායේ සුද්ධෝදන රජුගෙන් පැවත එන ශාක්‍ය පවුල් ජීවත් වේ. ඔවුන් උපාසක ජීවිතයක්‌ ගත කරයි. මෙම ස්‌ථානය අසල බුදුරජාණන් වහන්සේ උපත ලද ස්‌ථානයේ දේවිය විසින් අල්ලා ගත් අශෝක ගසක්‌ ඇත. අශෝක රජු මෙම ස්‌ථානයේ දේවිය විසින් ගස අල්ලාගෙන කුමාර උප්පත්තිය සිදුවන අයුරු පිළිබිඹු කරන වටිනා ගල් කැටයම් කොට ඇත. මෙහි ඉපැරණි ශාකය පිහිටා නොමැති අතර සැදැහැවතුන් විසින් පරණ ගසින් ගන්නා ලද ශාකයක්‌ ඇත. මෙම ශාකය අශෝක රජු විසින් තනන ලද ප්‍රතිමාවට සෙවණ දේ. කුමාරයා විසින් තබන ලද පියසටහන් හත අදටත් දෘශ්‍යමානව පවතී. අශෝක රජු විසින් ස්‌ථානය වටිනා ගලින් සනිටුහන් කොට එක්‌ දිග වටිනා ගලකින් ආවරණය කොට ඇත. මෙම ස්‌ථානයට සැදැහැවතුන් විසින් වටිනා මල් පූජා කරයි."

එසේම ක්‍රි. ව. 5 සියවසේදී 'ලුම්බිණි' යට පැමිණි පාහියන් භික්‌ෂුව විසින් මෙසේ සඳහන් කරයි. "මෙම නගරයෙන් (කපිලවස්‌තුපුරය) ලී පනහක්‌ ඈත රාජකීය උද්‍යානයක්‌ ඇත. මෙම රාජකීය උද්‍යානයේ නම 'ලුම්බිණි' ය. මෙහි රජුගේ බිරිඳ ස්‌නානය කළ අතර එය උතුරු දිසාවෙහි පිහිටා ඇත. එතැන් සිට පියවර විස්‌සක්‌ තැබූ ඇය ගසක්‌ අතින් අල්ලා ගත් අතර, මෙම ගස අසල කුමාරයා ප්‍රසූත කළේය. නැගෙනහිරින් පිහිටා ඇති මෙම ගසෙහි සිට කුමාරයා පියවර හතක්‌ ගත්තේය. කුමරුන් ස්‌නානය කළ ස්‌ථානයේ ළිඳක්‌ තනා ඇති අතර අද දිනටත් එහි වාසය කරන භික්‌ෂූන් වහන්සේලා පානය සඳහා ජලය ලබා ගන්නේ මෙම ළිඳෙනි."

ක්‍රි. ව. 7 වන සියවසේදී දීර්ඝ දේශාන්තර ගමනක්‌ යන අතර මෙම ස්‌ථානයට හියුෂියෑං නමැති චීන බෞද්ධ භික්‌ෂුව පැමිණියේය. එම භික්‌ෂුව මේ ගැන කරන සටහන මෙසේය. "සිදුහත් කුමරු විසින් සරඹ දක්‌වන ලද ස්‌ථානයේ සිට ලී 80 - 90 ඊසාන දිසාවට ගිය විට 'ලුම්බිණිය' ට පැමිණේ. මෙහි ශාක්‍යයන් විසින් ජල ස්‌නානය කරන ලද පොකුණක්‌ ඇත. මෙහි ජලය ඉතා පිරිසිදු වන අතර, එය අලංකාර මල් ගොමුවලින් ආවරණය වී පවතී. පොකුණේ සිට පියවර පහක්‌ පමණ උතුරු දිසාවට ගිය විට අසෝක ගසක්‌ ඇත. එය බෝධිසත්ත්වයන් වහන්සේගේ උපත සිදු වූ ස්‌ථානයයි. මෙම ස්‌ථානයේ අශෝක රජු විසින් තනන ලද ශිලා ස්‌ථම්භයක්‌ ඇත. එහි මුදුනත අශ්ව රුවක්‌ ඇත. එයට නැගෙනහිරින් මකරුන් දෙදෙනකු විසින් කුමරු දෝවනය කළ ස්‌ථානයේ ස්‌තුපයක්‌ ඇත. එයටත් නැගෙනහිරින් පිරිසිදු ජලය ඇති උල්පත් දෙකක්‌ ඇති අතර එය අසල ද රජු විසින් තනන ලද ස්‌ථුප දෙකක්‌ ඇත. එයට දකුණින් ශක්‍රයා විසින් බෝධිසත්ත්වයා භාරගත් ස්‌ථානයේ තවත් ස්‌ථුපයක්‌ තනා ඇත. මෙම ස්‌ථානයන්ට නුදුරින් අශෝක රජු විසින් තනන ලද ශිලා ස්‌ථම්භ ඇත. එහි මුදුනෙහි අශ්ව රුවක්‌ ඇත. ඉන්පසු එය මකරුන් දෙදෙනකු විසින් කැඩූ නිසා බිමට පතිත වී ඇත. එය අසල කුඩා ජල පහරක්‌ ඇති අතර එයට මිනිසුන් පවසන්නේ 'තෙල් නදිය' ලෙසයි. මෙය දේවියට දරු ප්‍රසූතියෙන් පසුව ජල ස්‌නානය සඳහා තැනූ පොකුණයි. එය දැනට ජල දහරාවක්‌ බවට පත්ව ඇත."

අනගාරික ධර්මපාලතුමා ලුම්බිණියට පැමිණීම 

දොළොස්වන සියවසේ සිට උතුරු ඉන්දියාවට එල්ලවු මුස්ලිම් ආක්‍රමණ නිසා උතුරු ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන සියල්ලම පහේ නටබුන් විය. මෙම ප්‍රදේශ ජන ශුන්‍ය විය.දිගු කලක්‌ තිස්‌සේ ලොවට අමතකව තිබූ 'ලුම්බිණිය' නැවත සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේදීය.මෙම ස්‌ථානය නැවත සොයාගෙන වසර දෙකක පමණ කෙටි කාලයකට පසු අනගාරික ධර්මපාලතුමා ක්‍රි. ව.1898 අප්‍රේල් මස 06 වන දින, ජිනවර්ණවංශ නම් තායිලන්ත කුමරකු සමඟ 'ලුම්බිණිය'ට  පැමිණ ඇත. ඔවුන් විසින් එහි තිබූ පුරාවස්‌තුත්, එතැන තිබූ සිදුහත් කුමාරෝප්පත්තිය සඳහන් වන කුඩා කැටයමකුත් දකින ලද අතර, මෙම ස්‌ථානයේ හින්දු බැතිමතුන් විසින් සත්ත්ව බිලි පූජාවන් කරන ලද බව ද දුටුවේය. මේ පුරාවස්‌තු පිළිබඳව කල්කටාවේ මහාබෝධි සංගමය දැනුවත් කළ ධර්මපාලතුමා එතැන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් වැඩිදුරටත් කිරීමට ද උන්නදු කරවන ලදී. ඉන්පසුව ක්‍රමක්‍රමයෙන් බෞද්ධයන්ගේ අවධානය මෙම 'ලුම්බිණිය' ගැන යොමු වූ අතර, මෙම ස්‌ථානයේ කැණීම් එම යුගයේ සහ ඉන්පසුව ක්‍රි. ව. 1933සහ 1939 යන වර්ෂවලදී සිදුකරන ලදී. එමගින් විවිධ යුගයන්ට අයත් වන්දනා ස්‌ථානයන් සමූහයක්‌ එහි තිබී සොයා ගන්නා ලදී.

පුරාවිද්‍යාත්මක සොයාගැනීම්

මෙම ස්‌ථානයට බෞද්ධයන්ගේ අවධානය යොමුව තිබු නමුත් ඒ ගැන විශේෂ උනන්දුවක්‌ ඇති වූයේ බුරුම ජාතික ඌ තාන්ට්‌ මහතා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධුරයට පත්වීමෙන් අනතුරුවය. සැදැහැවත් ථේරවාදී බෞද්ධයකු වූ එතුමා ක්‍රි. ව. 1967 දී 'ලුම්බිණිය' ට පැමිණි අතර නේපාල රජය සමඟ සාකච්ඡා කොට, එය ජාත්‍යන්තර මධ්‍යස්‌ථානයක්‌ බවට පත් කිරීමට කටයුතු යොදන ලදී. ඔහුගේ මඟ පෙන්වීම යටතේ ජපන් ජාතික කෙන්සෝ ටැන්ගි මහතා විසින් 'ලුම්බිණිය' සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලසුම සකස්‌ කරන ලදී. 

මෙම ස්‌ථානයේ මූලික කැණීම් කටයුතු ජපන් බෞද්ධ සම්මේලනය විසින් සිදුකරන ලදී. ජපන් ජාතික සටෝරු උසේකා, ඉන්දියානු ජාතික ක්‍රිෂ්ණ රිජාල් සහ කෝෂ් ප්‍රසාද් ආචාර්යා යන මහතවරුන්ගේ ප්‍රධානත්වයෙන් 1990 දශකයේදී නැවත මෙහි කැණීම් ආරම්භ කළේය. මීටර් හයක් ගැඹුරට කරන ලද කැණීම්වලදී ඔවුන් මතුපිටින් තිබූ ක්‍රි.ව. 1939 තැනූ දේවාලයේ සිට ගැඹුරින්ම තිබූ අශෝක රජු විසින් කරවන ලද ඉපැරණිම සිද්ධස්‌ථානයක නටඹුන්ද සොයා ගන්නා ලදී. මෙම අශෝක යුගයේ නටඹුන් මීටර් 26 දිගකින් සහ මීටර් 22 ක්‌ පළලින් වූ අතර, ගඩොලින් තැනූ මෙම ආකෘතිය තුළ ගඩොල් බිත්තිවලින් කොටු 15 ක්‌ තනා තිබිණි. මෙම ගඩොල් බිත්ති පිළිබඳ උසේකා මහතාගේ අදහස වූයේ මෙම බිත්ති තනා ඇත්තේ එයට උඩින් ලී වලින් තනා තිබූ වේදිකාවක පාදම වශයෙන් බවයි. බොහෝ විට ජලයෙන් යට වන පහත් බිමක්‌ වන මෙම ස්‌ථානයේ ගඩොලින් බැම්මක්‌ තනා, එයට උඩින් ලී වේදිකාවක්‌ තනා, එයටත් උඩින් මෙම ස්‌ථානයේ ගොඩනැඟිල්ලක්‌ අශෝක රජතුමා විසින් තනවන ලද බව ඔවුන්ගේ අදහස විය.

මෙම කැණීම් කිරීමේදී හමුවූ තවත් වැදගත් සොයා ගැනීමක්‌ වූයේ එහි තිබූ සනිටුහන් ගලයි. මෙම ගල මත පා සලකුණක්‌ තිබුණු අතර, මෙම ගල සිදුහත් කුමාරෝප්පත්තිය සිදු වූ ස්‌ථානය සනිටුහන් කරන ශිලා පුවරුව බවට ඔවුන්ගේ මතය විය. මෙම ගොඩනැඟිල්ලේ බොහෝ ස්‌ථානවල තිබී මැටියෙන් තැනූ උළු හමු වූ නමුත් මධ්‍ය ලක්‌ෂය සහිත ස්‌ථානය හිස්‌ ප්‍රදේශයක්‌ව තිබූ නිසා මෙම ගොඩනැඟිල්ල ගසක්‌ වටා තැනූ එකක්‌ බව ඔවුන්ගේ අදහස විය. මෙම ඉදිකිරීම් අශෝක යුගයට සමපාත වන බව කාබන් කාල නිර්ණය කරන ලදී.

අද භාවිත වන රාජ්‍ය වර්ෂ ක්‍රමයට අනුව බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වූයේ ක්‍රි. පූ. 544 වර්ෂයේදීය. එසේ නම් අවුරුදු 81 ආයු වැළඳු  බුදුරජාණන් වහන්සේගේ උපන් වර්ෂය වන්නට ඇතතේ ක්‍රි. පූ. 625 දීය. ඉතිහාසඥයින්ගේ කාල නිර්ණයන්ට අනුව අශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය කාලය ක්‍රි. පූ. 268 - 232 අතර කාල පරාසයයි. එතුමන් විසින් 'ලුම්බිණිය' හි පිහිටි ශිලා ලේඛනය පිහිටුවනු ලැබුවේ තම රාජ්‍ය කාලයෙන් විසි වසරකට පසුව එනම්, ක්‍රි. පූ. 249 දීය. එය සිදුවන්නට ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 296 කට පමණ පසුවය.

නූතන කැණීම්

බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපත ලද්දේ යැයි විශ්වාස කරන බොහෝ අයගේ මතය වන්නේ උන්වහන්සේ ඉන්දියාවේ උපත ලද්දේ යැයි යන ප්‍රවාදය ධර්මාශෝක රජු විසින් ගොතන ලද්දක් බවයි. 2012 වර්ෂයේදී තරම්  මෑත කාලයේදී,  ජපන් රජයේ ආධාර මත මෙම ස්‌ථානයේ නැවත කැණීම් සිදුකරන ලද යුනෙස්‌කෝ සංවිධානය, මෙයට විරුද්ධ විද්‍යාත්මක සාක්ෂි සොයාගෙන ඇත.

මෙහිදී පුරාවිද්‍යාඥයන් උත්සාහ කලේ අශෝක අධිරාජයා මෙම ස්‌ථානයේ තනන ලද ගොඩනැඟිලිවලට යටින් කිසියම් පුරාවිද්‍යාත්මක සාක්‌ෂි ඇත්දැයි සොයාබැලීමයි. ආචාර්ය රොබින් කොනින්හැම් සහ ආචාර්ය කොෂ් ප්‍රසාද් ආචාර්යා යන පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලද මෙම කැණීම්වලින් අශෝක අධිරාජයාගේ යුගයට ප්‍රථමද මෙය පූජනීය ස්‌ථානයක්‌ ලෙස තිබූ බවට තහවුරු වී ඇත. 1965 දී උපත ලද මෙම ආචාර්ය රොබින් කොනින්හැම් 1814 දී උපත ලද මේජර් ජෙනරාල්,ඉංජිනේරු, පුරාවිද්‍යාඥ ඇලෙක්සැන්ඩර් කනින්ග්හැම් ගේ ඥාතියෙක් නොවේ. 

ආචාර්ය රොබින් කොනින්හැම් සහ ආචාර්ය කොෂ් ප්‍රසාද් ආචාර්යා මෙම කැණීම්වලදී පසෙහි විවිධ ස්‌ථරයන්වල වර්ෂයන් නිගමනය කිරීමට ආලෝක උත්තේජන ප්‍රතිදීප්ති ක්‍රමය යොදා ගන්නා ලදී. එහිදී අශෝක අධිරාජයාගේ කාලයට ප්‍රථම මෙම ස්‌ථානය දෙවරක්‌ ගොඩනැඟීම් සිදු කර ඇති බවට සොයා ගන්නා ලදී. මෙහි මුල්ම පස්  ස්‌ථරය විශ්ලේෂණය කිරීමේදී සොයාගෙන ඇත්තේ මෙය වසර තුන්දහසකට ප්‍රථම වගා කළ පහත් බිමක්‌ බවයි.මෙම පහත් බිමේහි ක්‍රි. පූ. 6 වැනි සියවසේදී, එනම් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ සිදු වූ කාලයෙහි පස්‌ ගොඩැල්ලක්‌ තැනූ බවට සාක්‌ෂි තිබිණි. මෙම ස්‌ථානයේ තිබූ ඛනිජ හා ශාක කොටස්‌ විශ්ලේෂණය කිරීමේදී තහවුරු කරගෙන ඇත්තේ එහි ගසක්‌ තිබූ බවයි. මෙම ස්‌ථානයට යොමු වන ආකාරයෙන් සකස්‌ කර තිබූ පදික වේදිකාවක්‌ හමුවී ඇත. එම පදික වේදිකාවේ ගල්පතුරු නිතර ඇමදීම නිසා ඉතා පිරිසිදු මට්‌ටමින් තිබිණි. මෙම ගල් වේදිකාවට මදක්‌ ඉහළ ස්‌ථරයේ වරිච්චි බිත්තිවලින් තැනූ ගොඩනැඟිල්ලක සලකුණු සොයාගෙන ඇත. වරිච්චි බිත්තිවලින් තැනූ ගොඩනැඟිල්ල මධ්‍යයේ ශාකයක්‌ තිබූ බවට සාක්‌ෂි ඇත. මෙම මුල්ම වරිච්චි බිත්තිවලින් තැනූ ගොඩනැඟිල්ල බෝධිඝරයක සලකුණු දක්‌වන බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි. 

අශෝක රජුගේ යුගයට අයත් ස්ථීර ශිලාමය ගොඩනැඟිල්ල තනා ඇත්තේ මෙම පැරණි ආකෘතියට මතුපිටිනි. මෙම සාක්‌ෂිවලින් තහවුරු වන වැදගත් කරුණ වන්නේ අශෝක රජුගේ යුගයට ප්‍රථම ද මෙය වන්දනාමානයට ලක්‌වූ ස්‌ථානයක්‌ව තිබූ බවයි. එහි ශාකය වටා පස්‌ ගොඩැල්ලද, එහි සිදු කරන ලද තැනීම් ද ක්‍රි. පූ. 6 වන සියවසට අයත් වීමෙන් පැහැදිලි වන්නේ ස්‌ථිරවම මෙම ස්‌ථානය බුදුන්ගේ පරිනිර්වාණ කාලයේදී හෝ ඊට ආසන්න යුගයේදී බෞද්ධයන්ගේ වන්දනාමානයට පත් වූ බවයි. අශෝක රජු විසින් එයට වර්ෂ තුන්සීයකට පමණ පසුව කර ඇත්තේ, මෙම ස්‌ථානයේ තිබූ තාවකාලික ඉදිකිරීම් ස්‌ථාවර ගොඩනැගිලි බවට පත් කිරීමයි.

ධර්මාශෝක රජුට පෙර විසු මෙගස්තනීස්ගේ සටහන්

අශෝක රජුගේ යුගයට ප්‍රථමද ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ වන්දනාමානයට පත්වූ බවට දැක්‌වෙන වැදගත්ම සාක්‌ෂිය තබා ඇත්තේ ග්‍රීක ජාතික මෙගස්‌තනිස්‌ විසින්ය. මෙම මෙගස්‌තනිස්‌, සෙලුස්‌කස්‌ නම් ග්‍රීක අධිරාජයාගේ තානාපති ලෙස අශෝක අධිරාජයාගේ මුත්තණුවන් වූ මෞර්ය රාජවංශයේ ආරම්භක චන්ද්‍රගුප්ත මෞර්යගේ රාජ සභාවේ සේවය කළේය. සෙලුස්‌කස්‌ අධිරාජයා මුලින් මහා ඇලෙක්‌සැන්ඩර් අධිරාජයාගේ සෙනෙවියකු වූ අතර මහා ඇලෙක්‌සැන්ඩර් මියගිය පසුව ඔහු ඉරාකය ආශ්‍රිතව තම රාජධානිය පිහිටුවා ගත්තේය. චන්ද්‍රගුප්ත මෞර්ය සමඟ සටන් වැදුනු ඔහු එම සටන්වලින් පැරදී තම දියණිය චන්ද්‍රගුප්ත මෞර්ය රජුට සරණපාවා දුන්නේය. එසේම තමන්ගේ හිතවත් මෙගස්‌තනිස්‌ තම මෞර්ය රාජ සභාවේ තානාපතිවරයකු ලෙසට සේවයේ යොදවන ලදී. ඔහු චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ රාජ සභාවේ සේවය කරන කාලයේදී ග්‍රීක බසින් 'ඉන්ඩිකා' නමැති ඉන්දියාව පිළිබඳව වැදගත් ග්‍රන්ථයක්‌ ලියන ලදී. 

මෙම ග්‍රන්ථයහි ඔහු මෙසේ සඳහන් කරයි."ඉන්දියානු දාර්ශනිකයන් වර්ග දෙකක්‌ ඇත. ඉන් එක්‌ වර්ගයක්‌ 'ශර්මනි' (ශ්‍රමණ) වන අතර අනෙක්‌ වර්ගය වනුයේ 'බ්‍රාච්මනි' (බ්‍රාහ්මණ) ය. ශර්මනි හා බැඳුනු 'හලබොලුයි' නම් පිරිසක්‌ ඇත. ඔවුන් නිවෙස්‌වල හෝ නගරයේ වාසය නොකරයි. ඔවුන් ගස්‌වල පොතුවලින් තැනූ ඇඳුම් අඳින අතර ධාන්‍ය වර්ගවලින් යෑපේ. ඔවුන් ජලය පානය කරන්නේ මුවට උඩින් අත තබාය. ඔවුන් විවාහ වන්නේ හෝ දරුවන් සාදා ගන්නේ නැත. ඉන්දියානුවන් අතර 'බාවුටෙයි' (බුද්ධ) ගේ ධර්මය අදහන දාර්ශනිකයන් සිටී. ඔහු අසාමාන්‍ය ශාන්ත ගති නිසා ඉන්දියානුවන් විසින් දෙවියකු සේ සලකයි." මෙගස්‌තනිස්‌' ගේ මෙම වැදගත් සටහන අද දක්‌වා ඉතිහාසඥයින්ගේ අවධානයට යොමු වී නොමැත.මෙම සටහනින් පැහැදිලි වන්නේ ධර්මාශෝක රජුගේ මුත්තනුවන්වූ චන්ද්‍රගුප්ත මෞර්ය රාජ්‍ය සමයේදී ද, බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ වන්දනාමානයට පත්ව සිටි බවයි. චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජයා ලංකාවේ දේවානම්පියතිස්ස රජුගේ මුත්තනුවන් වූ පණ්ඩුකාභය රජුගේ සමකාලීනයෙකු වීමට ඉඩ ඇත. 

මෑතදී 'ලුම්බිණි' යේ කරන ලද කැණීම්වලින් ද,'මෙගස්‌තනිස්‌' ගේ සටහනින්ද සනාථ වන්නේ අශෝක රජුගේ යුගයට ප්‍රථම බුදුරජාණන්වහන්සේ ඉන්දියාවේ වන්දනාමානයට පත්ව සිටි බවත්, 'ලුම්බිණි'ය එම යුගයට අයත් පුදබිමක්‌ වන බවත්ය. බුදුරජානන්වහන්සේ ඉපදුනේ අදදින නේපාලයේ ඉන්දියානු දේශසීමාවට ආසන්න ස්ථානයක නම් උන්වන්සේගේ ජීවිතය හා සබැඳි අන් සියලුම ස්ථාන පිහිටිය යුත්තේද ඒ ප්‍රදේශය ආශ්‍රිතවය. නේපාලයේ සහ උතුරු ඉන්දියාවේ අන් බොහෝ ස්ථාන වලින්ද මෙවන් සාධක ලැබී ඇත. .  

මේ කරුණු සියල්ල සලකා බලන කල ලංකාවේ බුදුරජානන්වහන්සේ ලංකාවේ ඉපදී , බුදුබව ලබා, පිරිනිවීමට පෑවේදැයි සාක්ෂි සෙවීම නිෂ්පල ක්‍රියාවකි. මෙම මතය ප්‍රචාරය කරන ඇතමුන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනේ නැතැයි පැවැසීමට ලංකාවේ ඇති සාක්ෂි කුමක්දැයි අමුතු තර්කයක් නගයි.යමක් සිදුවුයේ නැතිනම් ඒ පිළිබඳව සාක්ෂි තිබිය නොහැකිය. සාක්ෂි ඇත්තේ බුදුරජානන්වහන්සේ උතුරු ඉන්දියාවේ ජීවත් වූ බවට මිස, ලංකාවේ ජීවත් නොවූ බවට නොවේ. මේ ගැන ඇතැම් තැන් වල සඳහන් වන ප්‍රකාශ කොටස් එතැනින් මෙතැනින් උපුටාගෙන කිසිදු පෙළගැස්මකින් තොරව තොරව කරුණු ඉදිරිපත් කිරීම තාර්කික නොවේ. මෙම කරුණ සම්බන්ධව විවිධ පුද්ගලයන් කිසිදු සාක්ෂියක් නැතිව කරන ප්‍රකාශයන් අතිශයින්ම සුන්දර හා ආකර්ශනීය වේ. බෞද්ධයෙකු වන මමද මෙරටෙහි බුදුරජානන්වහන්සේ උපත ලැබුවේ යැයි සිතීමට කැමැත්තෙමි. එම සිතිවිල්ල බුධාලම්භන ප්‍රීතිය වැඩිකලත්, සත්‍ය වීමට කිසිදු ඉඩක් නැත. බුදු දහම අප පොළඹවන්නේ සුන්දර අසත්‍යයන් සොයා යාමට නොව සුන්දර නොවුවද සත්‍යය සොයා යාමටය. සත්‍යය පිලිගැනීමටය.

(මෙම ලිපියේ අන්තර්ගත කරුණු ඇතුලත් ලිපියක් මවිසින්  2018 ඔක්තෝබර් මස 17 දින දිවයින පුවත්පතේ බදාදා අතිරේකයේ පළකරණ ලදී. මෙහි අන්තර්ගත කරුණු සම්බන්ධ සියලු ප්‍රාථමික මුලාශ්‍ර මා වෙත ඇති අතර, ඒවායේ සත්‍ය බව මවිසින් තහවුරු කරමි.)

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

(විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ යාවජීව සාමාජිකයෙකු වන අතර, ඔහු මේ වනවිට ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථ දෙකක්ද, පර්යේෂණ ලිපි රැසක්ද පලකොට ඇත.)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top