May 29, 2021

සංගාගේ වාර්තා මැදට අමුත්තක් නැතිවම ආ දිමුත්

විස්ඩන් ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් එකොළොස් දෙනා අතරට දිමුත් ද තේරී පත් වුණා.

දිමුත් ලංකාව නියෝජනය කරමින් එකදු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට හෝ සහභාගී වී නෑ.

පසුගිය දා නිමාවට පත් වූ ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය කලකට පසු පිතිකරුවන්ගේ තරගාවලියක් වුණා. ලකුණු පන්සියය පසු කළ දිගු ඉනිම්, තනි ක්‍රීඩකයන් විසින් රැස් කළ ද්විත්ව ශතක සහ ශතක, මෙන්ම පන්දු යවන්නන්ගේ දක්ෂතා ඒ අතර කැපී පෙනුණා.

එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ නායක දිමුත් කරුණාරත්න ගේ නායකත්ව ක්‍රීඩා විලාසය මෙන්ම විශිෂ්ට දස්කම් ප්‍රේක්ෂක සිත් යළි අවදි කළා. ඒ නිසාම තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබූ නායක දිමුත් එහි පළමු තරගයේ පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් (244) ලබා ගත්තා. එයින් නොනැවතුණු ඔහු දෙවැනි තරගයේ පළමු ඉනිමේ දී ශතකයක් (118) සහ දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් (66) ලබා ගත්තේ එම තරගය ජයග්‍රහණයේ මාවතට රැගෙන යමින්.

මෙම තරගාවලිය තුළින් දිමුත් ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ උසස්වීම් රැසක්ම ලබා ගත්තා. එහිදී ටෙස්ට් වාර්තා රැසක් ඉදිරියේ සිය නම සටහන් කරවා ගැනීමට ද ඔහු සමත් වුණා.

ශ්‍රී ලංකාව බිහි කළ ලෝක පූජිත ක්‍රීඩකයෙක් වන කුමාර් සංගක්කාර ගේ නමට තිබූ වාර්තාවක සමතැන් ගැනීමට දිමුත්ට මෙහිදී හැකි වුණා. ඒ දශක 4 ක ට ආසන්න දේශීය ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ තරගාවලියේ වීරයා සම්මානය ලබා ගත් වාර ගණන අනුව දිමුත් කරුණාරත්න සංගක්කාර සමඟ සමතැන් ගැනීමයි. එම වාර්තාවේ පළමු තැන තරගාවලි 11 ක වීරයා වූ මුත්තයියා මුරලිදරන් සතු වෙනවා. එහි දෙවන තැන 5 වතාවක් තරගාවලියේ වීරයා සම්මානය හිමි කර ගත් රංගන හේරත් සතු වෙද්දී තෙවැනි තැන සිව්වතාවක් එම දස්කම පෑ සංගක්කාරට හිමිව තිබුණා. සංගක්කාර මෙම දස්කම පා ඇත්තේ තරග 56 ක ට මුහුණ දෙමින් වන අතර දිමුත් එය තරග 33 ක දී සිදු කිරීම විශේෂත්වයට කරුණක්. ඒ අනුව 2016 සිම්බාබ්වේට, 2017 පාකිස්තානයට, 2018 දකුණු අප්‍රිකාවට සහ 2021 දී බංග්ලාදේශයට එරෙහිව තරගාවලි හතරක දී දිමුත් තරගාවලියේ වීරයා සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ටෙස්ට් තරගාවලියක දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඕනෑම රටක නායකයෙක් රැස් කළ ඉහළම ලකුණු ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට දිමුත් ට හැකි වුණා. මීට වසර දහයක ට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ එංගලන්ත හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක්. ඔහු එංගලන්ත නායකයා ලෙස කටයුතු කරමින් 2010 වසරේ දී පැවති එංගලන්ත - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ දී ලකුණු 342 ක් රැස් කර තිබෙනවා. පසුගියදා නිම වූ බංග්ලාදේශ - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා නායක දිමුත් එම වාර්තාව බිඳ හෙලුවේ තරගාවලිය පුරාම ලකුණු 428 ක් රැස් කරමින්.

එම වාර්තා ලැයිස්තුවේ තෙවැනි තැන ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් වූ මහේල ජයවර්ධනට හිමි ව තිබෙනවා.

ඒ වගේම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක ලාංකීය ටෙස්ට් නායකයෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.

විස්ඩන් සඟරාව යනු ක්‍රිකට් ගැන ලියැවෙන ලොව ජනප්‍රියතම සඟරාව. එම විස්ඩන් සඟරාව විසින් පසුගිය දා නම් කරනු ලැබූ විස්ඩන් ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් එකොළොස් දෙනා අතරට දිමුත් කරුණාරත්න ද තේරී පත් වුණා. 2019 - 2021 අයි. සී සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී ඔහු දැක් වූ දස්කම් ඊට හේතු වී තිබෙනවා. දිමුත් නම් කර ඇත්තේ එහි ආරම්භක පිතිකරුවා ලෙසයි.

දිමුත්ට ජාත්‍යන්තර එක්දින තරගයක් ක්‍රීඩා කිරීමට වරම් ලැබෙන්‍නේ 2011 වසරේ දී එංගලන්තයට එරෙහිව යි. එසේම දිමුත් ටෙස්ට් වරම් ලබා ගන්නේ 2012 දී නවසීලන්තයට එරෙහිව යි. පසුගිය දා කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්වන තුරු එහි නායකත්වය දැරුවේත් දිමුත්.

2019 වසරේ සිට දිමුත් නායකත්වය දුන් එක්දින තරග 17 න් 10 ක් ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙනවා. මේ වන විට එක්දින තරග 34 කට ක්‍රීඩා කර ඇති දිමුත් ඉනිම් 30කදී ලකුණු 767ක් රැස් කර තිබෙනවා. මෙම කාලය තුළ ටෙස්ට් තරග 72 කට ක්‍රීඩා කර ඇති අතර ඉනිම් 139 ක දී ලකුණු 5176 ක් ලබා ගෙන තිබෙනවා. අන්තර් ජාතික ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට දිමුත් 11 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

දිමුත් ටෙස්ට් තරග 14කට නායකත්වය ලබා දී ඇති අතර එයින් තරග 5 ක් ජයග්‍රහණයෙනුත් තරග 4 ක් පරාජයෙනුත් තරග 5 ක් ජය පරාජයෙන් තොරවත් නිමා වී තිබෙනවා. දිමුත් තවමත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එකදු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට හෝ සහභාගී වී නොතිබීම සුවිශේෂ කරුණක් වෙනවා.

(පසිඳු මිහිරාන් රැටියල)
         (ක්‍රීඩා)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top