Oct 09, 2021

අදටත් වැදගත් "මංගල මොඩ්ල්" එක

ඒ කාලයේ සතියේ දිනවල උදෑසන කොළඹ 7 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ 20 බී දරණ ස්ථානයේ පිහිටි ආණ්ඩුවට අයත් නිල නිවස්නය කුහුඹු ගුලක් මෙන් කාර්ය බහුල වෙයි. නිල නිවස්නය එළිමහනේ ඇති මණ්ඩපයෙහි පනවා ඇති අසුන් එකිනෙක කෙමෙන් පිරී යයි.
 
හරියටම උදේ 8.30 වන විට සිනා මුසු මුහුණෙන් යුතුව නිල නිවස්නය තුළ සිට මණ්ඩපය වෙත ඉක්මන් ගමනින් පැමිණෙන සම්පූර්ණ යුරෝපීය ඇන්දුමෙන් සැරසුණු පුද්ගලයෙකි. ඔහු එහි මුලසුන ගැනීමෙන් අනතුරුව පුරා හෝරාවක් හෝ සමහරවිට හෝරා එක හමාරක් තිස්සේ මේ කතා මණ්ඩපය ඇදී යයි. එතැන විභාග කරන්නේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ජනමාධ්‍ය ඔස්සේ මහජනතාව වෙත සන්නිවේදනය කරන ආකාරය පිළිබඳවය. 
 
සතියේ සෑම දිනකම නොවරදවා පැවැත්වෙන මෙම රැස්වීමේ මුලසුන දරන්නේ මංගල සමරවීර ය. ඔහු එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ මුදල් සහ ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා විය. ඔහුට එම නව තනතුර ලැබෙන්නේ 2015 දී විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබ වසර දෙක හමාරක් ගිය තැනය.  එතැන් සිට 2018 ඔක්තෝබර් මස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව 'ඩිස්මිස්' කර දැමීම දක්වා ගත වූ වසර එක හමාරක කාලය තුළ ඔහුගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම නිරන්තරයෙන්ම පැවැත්විණි. 
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, සැලසිනෙ යන ආයතනවල සභාපතිවරු, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක සහ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීහු මෙම රැස්වීමට අවශ්‍යයෙන්ම සහභාගි වූහ. මෙයට අමතරව සමහර දිනවල දී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා සහ එහි නිලධාරීහුද මේ සඳහා ඇරැයුම් ලැබූහ. 
 
රටේ ප්‍රධාන පක්ෂ දෙකෙහි සහභාගිත්වයෙන් ලංකාවේ පළමු වරට පිහිටුවන ලද සභාග ආණ්ඩුව වූ යහපාලන ආණ්ඩුව වනාහි අලුත්ම ආකාරයේ අත් හදා බැලීමක් විය. ජනාධිපතිවරයා ආණ්ඩුවේ සුළුතර කණ්ඩායමේ නායකයා වන විට අග්‍රාමාත්‍යවරයා බහුතර කණ්ඩායමේ නායකයා විය. එවන් පසුබිමක නොගැලපීම්, නො එකඟතා, ආතතීන් සහ තරගකාරී න්‍යාය පත්‍රයන් පැවතීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ වෙනස් කම් මැද ආණ්ඩුව බැලන්ස් කරගෙන මහජනතාවගෙන් ලැබුණු වරමට අනුකූලව රට පාලනය කරමින්, ආණ්ඩුවේ පණිවිඩය හරි හැටියට රටට ඉදිරිපත් කිරීම සඳහා තම කණ්ඩායම මෙහෙයවීම අමාත්‍යවරයාගේ අරමුණ විය.
 
'යර්ස් මිනිස්ටර්' කෙනෙක් නොවූ මිනිස්ටර්
 
සාමාන්‍ය සම්ප්‍රදාය අනුව රැස්වීම්වලදී ඇමැතිවරයා කතා කරන විට නිලධාරීන් කළ යුත්තේ 'එහෙයි' කීම හෙවත් 'යර්ස්' කීමය. 'යර්ස් මිනිස්ටර්' නම් ප්‍රහසන වැඩසටහනක් පවා නිර්මාණය වූයේ ඒ හේතුවෙනි. එහෙත්, මංගල සමරවීර ඇමැතිවරයාට අවශ්‍ය වූවේ තමා කතා කරනවාට වඩා තම නිලධාරීන්ට ඇහුම්කන් දීමය. සාකච්ඡාවේදී විසම්මුතික අදහස් ඉදිරිපත්වීම තම අභිමානයට පහරක් යැයි ඔහු කිසිවිටෙක කල්පනා නොකළේය. නමුත්, එකී විසම්මුතිකයා තම යෝජනා සංයුක්තව ඉදිරිපත් කළ යුතු වූ අතර, ඒ යෝජනා තම අදහස් හා ගැටෙන විට තම ප්‍රතිපත්තිය වෙනුවෙන් මාරාන්තික ලෙස පෙනී සිටීමට ද ඇමැතිවරයා පසුබට නොවීය. සමහර විට එසේ සටන් කරන ලද්දේ සමාජයේ අධිපති මතවාදය නිරන්තරයෙන්ම විවිධ අගතීන්ගෙන් සහ පක්ෂපාතීත්වයන්ගෙන් දූෂණය වී ඇති බව අත්දැකීමෙන් ඔහු දැන සිටි නිසා විය යුතුය. ඇඟ බේරාගෙන වැඩ කිරීම වෙනුවට පැත්තක් ගනිමින් ආණ්ඩුව පිහිටුවීමට පදනම් වූ මතවාදය වෙනුවෙන් නොබියව පෙනී සිටීම ඔහු තම කණ්ඩායමෙන් බලාපොරොත්තු විය.  
 
රටේ අනාගත සංවර්ධනය තිරසර ලෙස පවත්වාගෙන යාමට නම් ජාතික සංහිඳියාව ගොඩ නැගීම අවශ්‍ය බව මංගල විශ්වාස කළේය. එමෙන්ම, එසේ ගොඩනගන සංහිඳියාව පවත්වා ගෙන යාමට නම් ආර්ථිකය ශක්තිමත් කොට සංවර්ධනයේ ප්‍රතිලාභ මහජනයාට ලැබෙන තැනට වැඩ කළ යුතු බව ද ඔහු දැන සිටියේය. රට ඉදිරියට ගෙන යාම සඳහා මෙන්ම 2015 දී ජයග්‍රහණය කරන ලද ජනතා න්‍යාය පත්‍රය රැකගැනීම සඳහාද වන අනාගත වැඩපිළිවෙළ සංවර්ධනය සහ සංහිඳියාව යන කුළුණු දෙක මත ගොඩනැගිය යුතු බව ඔහු ඇදහුවේය. ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් එම පණිවිඩය රටවසියන් වෙත නිර්මාණාත්මක ලෙස ගෙන යාමට තම කණ්ඩායම විසින් කටයුතු කරනු ඇතැයි ඔහු නිරතුරුව අපේක්ෂා කළේය.
 
නීල-හරිත අයවැය
 
මුදල් අමාත්‍යවරයා ලෙස මංගල තම ප්‍රථම අය වැය ඉදිරිපත් කරන්නේ 2017 වර්ෂයේදීය. 'නීල-හරිත අයවැයක්' ලෙස නම් කළ එම යෝජනා මගින් ගොඩ බිමේ හරිත ආර්ථිකයක් ගොඩ නංවන අතර මහ මුහුද පදනම් කරගත් 'නීල' ආර්ථිකයක් වෙනුවෙන්ද යෝජනා ඉදිරිපත් කළේය. රටේ බදු ව්‍යුහය සරල කිරීම සඳහා දේශීය ආදායම් පනත සංශෝධනය කළ ඔහු රාජ්‍ය ආදායම 2015 තිබුණු තත්ත්වය මෙන් දෙගුණයක් බවට පත් කළේය. ඉන්ධන වෙළෙඳාම සඳහා මිළ සූත්‍රයක් හඳුන්වා දුන් ඔහු, එයින් රාජ්‍ය ආදායමට එකතු වූ මුදල 'ගම් පෙරළිය' සංවර්ධන යෝජනා ක්‍රමය සඳහා යෙදවීය. එයින් එක් මැතිවරණ කොට්ඨාශයක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක් බැගින් මුදල් වෙන් කරන ලද්දේය. ඒ සමගම ව්‍යවසායකයන්හට අලුත් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අඩු පොළියට  ණය ලබා දීම පිණිස 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන්නේය. මේ සියල්ල ඉතා අභියෝගාත්මක පියවර වූ අතර, ඒ සඳහා එකඟතාවය සහ අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුවේ තම සගයන් සමග දැඩි සටනක් කරන්නටද ඔහුට සිදු විය. එහෙත්, පසුබසින්නේ නැතිව තම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ඔහුට හැකි විය. 
 
2015 දී ජනාධිපතිවරනයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරන විට රටේ මානව හිමිකම් තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් එල්ල වී තිබුණු පීඩනය පැවැතියේ උපරිම මට්ටමකය. එවැනි පසුබිමක  2015 සැප්තැම්බරයේ දී ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම විදේශ අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර විසින් සිදු කරන ලද අභියෝගාත්මකම මෙහෙයුම ලෙස සැලකිය හැකිය. එම යෝජනාවේ අඩංගු වූ පරිදි සංහිඳියාව සහ වගවීම සහතික කිරීම පිණිස දේශීය යාන්ත්‍රණයන් ගොඩනැගීම සඳහා සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණය කිරීම සඳහා වූ ලේකම් කාර්යාලය පිහිටවූවීම මංගලගේ මැදිහත්වීමෙන් සිදු විය. අතුරුදන් කිරීම අපරාධ වරදක් බවට පත් කොට, අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවා ඉන් අනතුරුව හානිපූරණ කාර්යාලයද පිහිටුවන ලද නමුත්, එම න්‍යාය පත්‍රරය එයින් ඔබ්බට ගෙන යන්නට ඔහුට හරස් වූයේ 2018 ඔක්තෝබර් ව්‍යවස්ථා කුමන්ත්‍රණය මගින් ආණ්ඩුවට බලය අහිමි වීමයි.
 
නීති සහ ආයතන ප්‍රතිසංස්කරණ කරමින් සංහිඳියාව ගොඩනැගීමට පියවර තැබූවද, මේ සම්බන්ධයෙන් මහජනතාව අතර සංවාදයක් ඇති කිරීම අවශ්‍ය බව මංගල අවබෝධ කරගෙන සිටියේය. ඒ සඳහා ගමින් ගම ගොස් සංවාදයක් ගොඩ නැගීම සඳහා ඔහු 'අහන්න' වැඩසටහන නිර්මාණය කළේය.  ඒ සඳහා ඉන්ද්‍රචාපා ලියනගේ ගේ හඬින් ගැයුණු 'අහන්න' නම් ගීතය පදනම් කරගෙන නිර්මාණය කළ 'මියුසික් වීඩියෝව' දැවැන්ත ජංගම රථයක ස්ථාපනය කරන ලද තිරයක ප්‍රදර්ශනය කරමින් ඉන් අනතුරුව මහජනයා අතර සංහිඳියාව පිළිබඳව සංවාදයක් ගොඩනැගීමට අපේක්ෂා කෙරිණි. 
 
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා...
 
2018 දී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නම් වූ ප්‍රදර්ශනයක් සංවිධානය කරන්නට මංගල ක්‍රියා කළේය. පළමු වැඩසටහන මොනරාගල නගරයේදී පැවැත්වීමට තීරණය විය. රට තුළ විවිධ අංශ මගින් කෙරෙන සංවර්ධන කටයුතුවල ප්‍රගතිය ගම් නියම් ගම් හි ජනයා වෙත සජීව ලෙස ගෙන යාම එයින් අපේක්ෂා කෙරිණි. ඔහුගේ සිහිනය වන සංවර්ධනය සහ සංහිඳියාව එකට එක් කරමින් 'අහන්න' වැඩසටහන ද ප්‍රදර්ශනය්ට සමගාමීව දියත් කරනු ලැබිණි. කොළඹ සිට මාර්ග දෙකක් ඔස්සේ 'අහන්න' මියුසික් වීඩියෝව ප්‍රදර්ශනය කරමින් මහජනතාව සමග සංවාදයක නිරත වූ කණ්ඩායම් දෙකක් මොනරාගල පැවැති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භුමියේදී එකට හමු වූහ.
 
අමාත්‍යවරයෙකුගේ පාලනය යටතේ පවතින ආයතන පද්ධතිය තුළට කාන්තා නායකත්වයක් ගෙන ඒම අතිශය දුෂ්කර කාර්යයක් බව මංගල දැන සිටියා වන්නට පුළුවන. කාලාන්තරයක් තිස්සේ 'ඕල්ඩ් බෝයිස් ක්ලබ්' ලෙස පැවැති රාජ්‍ය ආයතන වලට පත්කිරීම් කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව මංගල විශාල සැලැකිල්ලක් දැක්වීය. තමා අමාත්‍යංශය භාර ගන්න විට සම්පූර්ණයෙන්ම පිරිමින්ගෙන් සමන්විත නිලධාරී මණ්ඩලය කෙටි කලෙකින් වෙනස් කිරීමට ඔහු ක්‍රියා කළේ ප්‍රෂාන තනතුරු සඳහා කාන්තාවන් හත් දෙනෙකු පත් කිරීමෙනි. මා හිතනා හැටියට කාන්තා කටයුතු අමාත්‍යංශය හැර වෙනත් ඕනෑම අමාත්‍යංශයක් සම්බන්ධව එය ශ්‍රී ලංකා වාර්තාවකි. ආරම්භයේදීම ඔහු විසින් රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල් ධුරවලට කාන්තාවන් දෙදෙනෙක් පත් කරන ලදී. ඉන් අනතුරුව රූපවාහිනී සංස්ථාවේ, ස්වධීන රූපවාහිනියේ, සැලසිනෙ ආයතනයේ, රන්මිණිතැන්න සිනමා ගම්මනයේ සභාපති ධුරයන්ට පමණක් නොව තම පෞද්ගලික ලේකම් ධුරයටද කාන්තාවන් පත් කිරීමට ඔහු පියවර ගනු ලැබීය.  
 
මංගල සමරවීර පුහුණුවෙන් හා වෘත්තියෙන් 'ඩිසයිනර්' කෙනෙකි. එය 'මෝස්තර රචක' ලෙස සිංහලයට පරිවර්තනය කෙරුණද සැලසුම් නිර්මාණකරු යන තේරුමද එම වචනයේ කැටිව ඇත. මංගල නමු වූ ඩිසයිනර් සතුව නිරන්තරයෙන්ම සැලසුමක් පැවතිණි. එය සුන්දරවූද පරිසමාප්තවූද සැලසුමකි.  සංග්‍රාමයක් උපාය මාර්ගිකව සැලසුම් කරන පළපුරුදු සෙන්පතියකු සේ ඔහු තම සැලසුමේ එක් එක් කොටස් ක්‍රියාත්මක කිරීමේ වගකීම තම නිලධාරීන් වෙත නොමසුරුව ලබා දුන්නේය. ඒ සඳහා ඔහු විසින් තෝරා ගන්නා ලද්දේ වෙනත් බොහෝ දේශපාලනඥයන් මෙන් තම පෞද්ගලික ඥාති හිත මිත්‍රාදීන් නොව දක්ෂතාවයෙන් සහ කුශලතාවයෙන් සමන්විත යැයි තමන් විශ්වාස කළ පිටස්තරයන් පිරිසකි. එම වගකීම් ඔවුන් විසින් ඉටු කරන්නේද යන්න පිළිබඳව පසු විපරමද කළේය. සාමාන්‍යයෙන් කළ නොහැකි ලෙස ලේබල් කෙරෙන, වැඩි වැඩ ලෙස සලක පිළිකෙව් කෙරෙන, ඇඟ බේරාගෙන කරන සීතල දේශපාලනය තුළ මඟ හැර යනු ලබන කටයුතු, කළ හැකි සහ කළ යුතු බව මංගල දැන සිටි අතර එය ක්‍රියාවෙන් පෙන්නුම් කළේය. අපේක්ෂිත ඉලක්කය කරා ගමන් කිරීමට තම කණ්ඩායමට ඇතුළත් කරගත් සාමාජිකයන් අසමත් හෝ අපොහොසත් වනවිට ශූර නායකයෙකු ලෙස ඔහු අනුකම්පා විරහිතව ක්‍රීඩකයන් මාරු කළේය. 
 

මංගල විසින් දශක තුනකට වැඩි කාලයක් විචිත්‍රවත් ලෙස අරා සිටි අවකාශය තුළ ඔහු අද නැත; එතැන අද ඇත්තේ හිස් තැනකි.
 
නමුත්, එම සුන්දර සහ පරිසමාප්ත සැලසුම මස්තකප්‍රාප්ත කරගැනීමට ඉඩ නොදීමට තරම් දෛවය ඔහුට අකාරුණික විය. එම අසමත්වීමට එක් හේතුවක් වූයේ යහපාලන ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම පුපුරා ගොස් අකල්හි බිඳ වැටීමයි.  එය වළක්වා ගෙන තවත් වාරයක් සඳහා බලය ලබා ගැනීම සඳහා අවසාන මොහොත තෙක්ම ඔහු ධෛර්යවන්තව සටන් කළ නමුත්, ඉරණමෙහි ලියැවී ඇති පරාජය වැළැක්වීමට ඔහු අසමත් විය. නමුත්, මංගලගේ විශාලම පරාජය වසරක පමණ කෙටි කාලයකට මාද ඇතුළත් වූ මංගලගේ කණ්ඩායමට, මංගල සතුව පැවැති පරිසමාප්ත සැලැස්ම පිළිබඳව ඔහු වෙත තිබූ අචල විශ්වසය තමන් තුළ වගා කරගැනීමට නොහැකි වීමය. 
 
රාජ්‍ය යන්ත්‍රය හෝ පක්ෂ දේශපාලන යන්ත්‍රණය විසින් ඇති කරන ප්‍රතිරෝධයන් රහිත, ඔහුගේම දැක්මට අනුව සැකසුණු වැඩබිමක් මංගල විසින් අවසානයේදී සකස් කර ගන්නා ලද්දේය. ඔහු 'රැඩිකල් මැද මාවත' එළි දැක්වූයේ සාම්ප්‍රදායික මුහුණු වෙනුවට තරුණ තරුණියන්ගෙන් සමන්විත අලුත්ම කණ්ඩායමක් සමගය. ඒ අතර 'ටික් ටොක්' ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවලට පිවිසී එහි ගැවසුණු මංගල 'වස්ති' විසින් නිෂ්පාදනය කළ 'ආලෝක උපාලි' නම් නිර්මාණයටද 'මහරජ මංගල නමින් රඟපෑමෙන් දායක විය. ඒ සියල්ල සමග නැවතත් ඉදිරියට යන අතර මෙවර ඔහුගේ සැලසුම අනපේක්ෂිත ලෙස පරාජය කරන ලද්දේ අන් කිසිවෙකු නොව මංගල විසින්මය. ඒ කෝවිඩ් වසංගතයෙහි ගොදුරක් වී මෙ ලොව හැර යාමෙනි. 
 
මංගල විසින් දශක තුනකට වැඩි කාලයක් විචිත්‍රවත් ලෙස අරා සිටි අවකාශය තුළ ඔහු අද නැත; එතැන අද ඇත්තේ හිස් තැනකි.
 
-නීතිඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් (2017-2018)
2021.10.10 ‘අනිද්දා පුවත්පතෙහි පළ විය. 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top