May 27, 2022

රනිල් ගේ ඇමති මණ්ඩලය සහ සජිත්ගේ වෙන්ඩ ඇමති මණ්ඩලය

රනිල් වික්‍රමසිංහගේ ඇමති මණ්ඩලය දැන් ඔහු සහ ජනාධිපතිවරයාද ඇතුළුව විසි එක් දෙනෙකුගෙන් යුක්තය.

ඒ මුලින්ම පත් කළ හතර දෙනා, පසුව පත් කළ නව දෙනා සහ ඉන් පසු පත් කළ හය දෙනාද සමගිනි.

මුලින්ම පත් කළ හතර දෙනා වන්නේ ජී ඇල් පීරිස් සහ දිනේෂ් ගුණවර්ධනය. වයස වැඩිය; මෙලෝ රහක් නැත. දිනේෂ් ගුණවර්ධන පත්වන්නේ පොහොට්ටුවෙන් වුවත් ඔහු නියෝජනය කරන්නේ මහජන එක්සත් පෙරමුණයි.

ඊ ළඟට ප්‍රසන්න රණතුංගය. ඔහු ගැන අමුතුවෙන් කියන්නම දෙයක් නැත. නමුත්, බස්නාහිර පළාතේ මහ ඇමති හැටියට කාලයක් කටයුතු කර අත්දැකීම් ඇත.
කංචන විජේසේකර ගැන නරකක් කීමට නොමැති වුවද ඔහු පාර්ලිමේන්තුවට පත්වන්නේම පිය උරුමයෙනි. නමුත් ඔහු කාර්යක්ෂම ඇමතිවරයෙකු බවට පිළිගැනීමක් ඇත.

කවුරුත් බලා සිටියේ එයින් පසුව කැබිනට්ටුව පිරෙන හැටි දෙසය. සර්ව පාක්ෂික කිව්වත්, වෙනත් කිසිදු පක්ෂයක් තම සාමාජිකයන් කැබිනට් මණ්ඩලයට පත් කරන බවක් දැක ගැනීමට ලැබුණේ නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇමති මණ්ඩලයට එක්වීමත් සමගම නැවතත් ඇමැති මණ්ඩලයට බහු පාක්ෂික හැඩයක් ලැබෙන්නට පටන් ගත්තේය. ඒ දක්වාම දක්නට තිබුණේ ඇමති මණ්ඩලය පොහොට්ටුවෙන්ම පත්වන තත්වයකි.

රමේෂ් පතිරණ පොහොට්ටුවේය. නමුත්, ඔහු ගැන ඒ හැටි කියන්නට වැරැද්දක් නැත්තේය. ඒ වුණත් ඔහුගේ පියා රිචර්ඩ් පතිරණ හිටපු ඇමතිවරයෙකි. ඒ නිසා පිය උරුමය කතාව මෙතැනට් ඇඳේ.

කෙහෙලිය රඹුක්වැල්ල ද පොහොට්ටුවේය. ඔහු ගැන කතා කිරීමත් වචන නාස්ති කිරීමකි.

විජේදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් පෙරේරා පොහොට්ටුවේ සිට ස්වාධීන වූවන්ය.

විජේදාස රාජපක්ෂ පක්ෂ මාරු කිරීමේ රුසියෙකි. ඊටත් වඩා ඔහු යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමති ධුරය දැරූ කාලයේදී රාජපක්ෂ පවුල සහ විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතියෙන් බේරාගැනීමට කටයුතු කළ බවට පිළිගෙන ඇති පුද්ගලයෙකි.

නලින් පෙරේරා 2015 ට පෙර ස තො ස සබාපති ලෙස සිටියදී කරන ලදැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් උසාවියෙන් චෝදනා ලැබුවෙකි.
සුසිල් ප්‍රේම්ජයන්තගේ නම් ඒ හැටි කියන්න හොඳක්වත් නරකක් වත් නැත.

ටිරාන්- හරීන්:

ටිරාන් අලස් පක්ෂ 10 කණ්ඩායමට අයත් ය. නමුත්, 2005 දී රනිල් වික්‍රමසිංහ පරදවා මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීම වෙනුවෙන් ඡන්දය වර්ජනය කිරීම පිණිස තමන් එල් ටී ටී ඊ සංවිධානයට කප්පම් දුන් බව ඔහු විසින්ම පිළිගෙන තිබේ. ඒ හැරත් ඔහු අගමැති රනිල් වික්‍රමසිංහ ගේ සතුරෙකි.

මෙතන ඇති වැදගත්ම දෙය නම් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ලෙස කැබිනට්ටුවට එකතු වීමයි. නමුත් හරීන් යනු පාස්කු ප්‍රහාරය දා තමන් පල්ලි නොගිය බව කියා කාදිනල් තුමාගේ දෝෂ දර්ශනයට ලක්වූවෙකි. මනූෂ අත්තෙන් අත්තට පනින කුරුල්ලෙකි. අනෙක ඒ දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය සජබ ය විසින් වහාම තහනම් කර ඇත.

එහෙම බලන කොට ඇමති මණ්ඩලය පජාත ය.

අවසාන වශයෙන් පසුගිය 23 වන සඳුදා තවත් ඇමැතිවරුන් හය දෙනෙකු පත් කරන ලදී. ඩග්ලස් දේවානන්දා ඊ පී ඩී පී පක්ෂයේය. මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන අතර ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාද වේ. බන්දුල ගුණවර්ධන පොහොට්ටුවේය. නැගෙනහිර පලාතේ හිටපු මහ ඇමැති නසීර් අහමඩ් තේරී පත් වුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයෙනි. විදුර වික්‍රමනායක පොහොට්ටුවේ වුවද ඔහු ස්වාධීනව කටයුතු කරන ආකාරයක් පෙන්වීය. රොෂාන් රණසිංහ පොහොට්ටුවේ නමුත්, ස්වාධීනව කටයුතු කරන්නට තීරණය කළ කෙනෙකි.

අවසාන වශයෙන් මුදල් ඇමති ධුරය අගමැති රනිල් වික්‍රමසිංහටම පවරා ඇත.

අපට වර්තමානය රිවයින්ඩ් කර නැවතත් අතීතයට යන්නට පුළුවන් නම්, නැත්නම් සමාන්තර විශ්වයක ජීවත් වන්නට පුළුවන් නම්, ඒ දෛවෝපගත දහතුන් වන සිකුරාදා රනිල් වික්‍රමසිංහ වෙනුවට සජිත් ප්‍රේමදාස අගමැති ලෙස දිවුරුම් දුන්නා යැයි මොහොතකට උපකල්පනය කරමු.

සජිත් ප්‍රේමදාස දිගටම කිව්වේ දූෂිතයන් කිසිවෙකුත් තම ආණ්ඩුවට ඇතුළත් කර නොගන්නා බවයි. රටට සිදු කළ විපතට පොහොට්ටුවෙන් තරග වැදී විසිවන සංශෝධනයට ඡන්දය දුන් සියල්ලන්ම වගකිව යුතු නිසා ඔවුන් කිසිවෙකුත් තම ආණ්ඩුවට එකතු කර නොගන්නා බවද ඔහු කියා ඇත.

එසේ නම් ඔහුගේ ආණ්ඩුව සෑදීමට එකතු කර ගත හැක්කේ ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි. නමුත්, එම පක්ෂ දෙකම ගෝඨාභය රාජපක්ෂ නායකත්වයේ තබා ගෙන ගොඩ නගන ආණ්ඩුවකට එක් නොවන බව ස්ථිරව කියා ඇත.

දූෂිතයන් නැති කැබිනෙට්ටුව:

එසේ නම් සජිත් ප්‍රේමදාසට තම ඇමැතිවරුන් වශයෙන් පත් කරන්නට සිදුවන්නේ කවුරුන්ද? සජිත් නම් නීතිඥ සංගමය නිර්දේශ කර ඇති ආකාරයට ඇමති මණ්ඩලය 15 දෙනෙකුට සීමා කරනු ඇත.

අගමැති සජිත් ප්‍රේමදාස කලින් වතාවේදී දරන ලද්දේ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමති පදවියයි. ඔහු සමග 2015-2019 ඇමති මණ්ඩලයේ සිටිමින් හොදටම කරන ලද ඇමතිවරුන්ගෙන් සමගි ජන බලවේගය පිරී ඇත.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා වශයෙන් පත් කෙරෙනු ඇත. යුද්ධය දිනූ හමුදාපතිවරයා ලෙස ඔහු විශාල පිළිගැනීමක් ඇති පුද්ගලයෙකි. පසුගිය යහපාලන ආණ්ඩුවේ වනජීවී අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළේය. ඊ ළඟට පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රබල ඇමති පදවියක් ලබනු ඇත. ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද අමතක කළ නොහැකිය.
එහෙම ආණ්ඩුවක් ගොඩනැගුණා නම් මුදල් ඇමති පදවිය හර්ෂ ද සිල්වාට හිමි වනු ඇත. එහෙම නැතිනම් යහපාලන ආන්ඩුවේ මුදල් රාජ්‍ය ඇමැතිවරයා වන ඉරාන් වික්‍රමරත්න එම තනතුරට පත්වීමටද පුළුවන. සමහරවිට පාඨලී චම්පික රණවක ද එම ඇමති ධුරය ඉල්ලා සිටිනු ඇත.

සෞඛ්‍ය ඇමති ධුරය නම් නැවතත් රාජිත සේනාරත්නට හිමි වනු ඇත.

ආණ්ඩුවට එකතු වූ හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරටද ඇමති කම් ලැබෙනු ඇත.

ඊ ළඟට ඉදිරියෙන් සිටින්නේ රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, ලක්ෂ්මන් කිරිඇල්ල, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, කබීර් හෂීම් වැනි අයයි.

හිටපු ඇමතිවරුන් වන තලතා අතුකෝරලට, එම් එච් එම් හලීම් සහ ගයන්ත කරුණාතිලකටද ඇමති කම් හිමිවනු ඇත.

එතනින් එහාට ඇමතිකම් දැරීමට සිටින්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයකි. නිරෝෂන් පෙරේරා, අසෝක අබේසිංහ, ජේ සී අලවතුවල, නලින් බණ්ඩාර ජයමහ, බුද්ධික පතිරණ, අජිත් මාන්නප්පෙරුම වැනි අය යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමති පදවි දරා ඇති නිසා ඔවුන්ද ඇමති පදවි වලට සුදුසු කම් ලබනු ඇත.

එතනින් එහාට සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි, හේෂා විතානගේ, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, හර්ෂන රාජකරුණා, මුජිබර් රහුමාන්, එස් එම් මරික්කාර්, ඉෂාක් රහුමාන්, තුෂාර ඉඳුනිල් අමරසේන යන අයයි. සෙසු මන්ත්‍රීවරු 2020 වසරේදී පළමු වතාවට පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවකයෝ වෙති.

දැන් වර්තමානයේ පත්වී ඇති කැබිනට් මණ්ඩලය සහ සජිත් ප්‍රේමදාස අගමැති වුවා නම් ඔහුට පත් කිරීමට සිදු විය හැකි යැයි සිතන කැබිනට් මණ්ඩලය සංසන්දනය කරමු. එවිට ඔබට කියවෙනු ඇත්තේ 'බුදු අම්මෝ' කියාය.

ප්‍රශ්නය ඇත්තේ කැබිනට් මණ්ඩලයේ නොවේ. කොහොම පත් කළත් කැබිනට් ඇමතිවරුන් වශයෙන් හෝ රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැතිවරුන් වශයෙන් හෝ පත් කිරීමට සිදුවන්නේ පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් අතරෙන් පමණකි.

එසේ හෙයින් කළ යුතු වන්නේ ඉදිරි මැතිවරණයකදී වත් සුදුස්සන් පත් කර ගැනීම සඳහා දැන් පවත්නා ඡන්ද ක්‍රමය වෙනසකට ලක් කොට ඉන් පසුව මැතිවරණයකට යාමය. එහිදී සමානුපාතික ක්‍රමය සහ පැරැණි ආසන ක්‍රමය අතර සම්මිශ්‍රණයකින් යුතු වූ ඡන්ද ක්‍රමයක් ඇති කර දැනට පවතින මනාප තරගය අහෝසි කළ යුතුය. ඡන්දයක සඳහා එක් අපේක්ෂකයකු විසින් වියදම් කරන ප්‍රමාණයද නීතිය මගින් පාලනය කළ යුතුය. මෙහිදී දැනට පලාත් පාලන ආයතන සඳහා සභිකයන් තෝරා පත් කර ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේදය සුදුසු සංශෝධන ඇතිව සලකා බැලිය හැකිය.

- වංශනාථ නවරත්න

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top