Pasidol
Sathosa Ad Final Sinhala
Jan 19, 2018

සමකය: ‘කල්පිත දෙමළා’ හා සිංහල කල්පනා ලෝකවාදය

වීරසිංහම් ආනන්දසංගරී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා ය. ඇතැම්විට ලක්‍ෂ්මන් කදිරගාමර් හැරුණු විට දකුණේ සිංහල ජනයා අතර මෑතකාලීනව වැඩිම ප්‍රසාදයක් දිනා සිටි දෙමළ ජාතික දේශපාලකයා ඔහු වීමට ඉඩ තිබේ. ඒ බව ආනන්දසංගරී මහතා ද දැනසිටියේය. දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය විසින් මතුකළ අභියෝගය පහව යනතෙක්ම දෙමළ ජනයාගේ ‘ප්‍රජාතාන්ත්‍රික ධාරාවේ’ නියෝජිතයා වශයෙන්ද, ‘අවිහිංසාවාදයේ’ ප්‍රකාශකයා වශයෙන් ද,ඔහු අභිෂේක කොට නඩත්තු කිරීමේ වැදගත්කමක් කොළඹ ආණ්ඩුවලටත් තිබිණ. ඔහු විසින් කොටි සංවිධානයේ නායකයා අමතා නිතර ලියූ ලියුම් වෙනුවෙන් ඒ වකවානුවේ දකුණේ සිංහල සහ ඉංග්‍රීසි පත්තරවල වැදගත් ඉඩකඩක් වෙන්වූයේ ද ඒ අනුව ය.

දැන් ඒ මල් සමය හමාර ය.

ජනවාරි 15 වැනිදා යාපනයේ මාධ්‍යවේදීන් සමග පැවති සුහද කතාබහක් අතරතුර දී ‘උතුරේ හමුදාව රැඳී සිටීම දෙමළ ජනයාගේ දෛනික ජීවිතයට බාධාවක්’යැයි ආනන්දසංගරී මහතා කියා තිබේ. සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් අල්ලාගෙන භුක්ති විඳිමින් සිටින හමුදා සේනාංක හේතුවෙන් දෙමළ ස්ත්‍රීන් බියෙන් ජීවත්වන බව ද එහිදී ඔහු කියා ඇතැයි කොළඹ මාධ්‍ය වාර්තාකර තිබිණ. 18 වැනිදා ‘දිවයින’ පත්‍රයේ කතුවැකිය ‘ආනන්දසංගරීගේ හමුදා විරෝධය’ වෙනුවෙන් වෙන්ව ඇත්තේ ඒ නිසා ය. එහි මෙසේ දැක් වේ:

“ප්‍රභාකරන් බලවත්ව සිටි සමයේදී ආනන්දසංගරී මහතා කොටි සංවිධානයේ ක්‍රියා කලාපය බලවත් සේ විවේචනය කළ බව අපි දනිමු. ඒ නිසාම ඔහුට බලවත් ජීවිත තර්ජනයක්‌ පැවතිණි. ඔහුගේ ආරක්‍ෂාව වෙනුවෙන් ද විශාල ආරක්‍ෂක අංශ සාමාජික පිරිසක්‌ යොදා තිබිණි. දැන් යුද්ධය හමාර ය. සංගරී මහතාට එල්ල වූ ජීවිත තර්ජනය ද පහව ගොස්‌ ඇත. ඒ ජීවිත තර්ජන පහව ගොස්‌ ඇති නිසා හමුදාවට එරෙහි චෝදනා එල්ල කරන්නේද?........ හමුදාව සිවිල් කටයුතුවලට මැදිහත් වීම ගැනත් සංගරී මහතා විරුද්ධ ය. සංගරී මහතා කොතෙක්‌ අවලාද නැඟුවද උතුරේ ජනයා තුළින් නම් හමුදා විරෝධයක්‌ පැන නැඟී නැත.”

‘දිවයින’ කතුවරයාගේ මැසිවිල්ල හරයෙන් ගත්කළ ‘සංහිඳියාව’ ගැන දකුණේ අධිපති සිංහල ආකල්පය හකුළා දක්වන සුළු ය. එය මෙබඳු ය: ‘අපි ආනන්දසංගරී ඇතුළු දෙමළ ජනයා කොටින්ගෙන් බේරාගතිමු. ඒ ගැන දෙමළ ජනයා අපට ණයගැති ය. සංහිඳියාව යනු ඒ ණය මතක තබා ගැනීම ය. හමුදා උතුරේ රඳවා තිබෙන්නේ ඒ ණයට හිලව් පිණිස ය.’

දකුණේ සිංහලයාගේ කල්පනා ලෝකයේ ‘පරිකල්පිත දෙමළෙක්’ වැඩ වාසය කරයි. කොළඹ මාධ්‍ය වාර්තාවලින් අපට අභිමුඛවන්නේ ඒ කාල්පනික දෙමළා ය. ඒ කල්පිත දෙමළ වැසියා සිතන්නේ ‘දිවයින’ කතුවරයා කැමති හැටියට ය. සති අන්ත ‘පික්නික්’සඳහා යාපනයට යන දකුණේ නඩවලට ද දුසිම් ගණනින් මුණගැසෙන මේ කල්පිත දෙමළ වැසියෝ ‘කොටි නැති උතුරේ’ සතුටින් වාසය කරති. සිය පාරම්පරික ගම්බිම්වල හමුදා රැඳී සිටීම ගැන ඉමහත් සතුටින් සිටින ඔවුහු, සිංහල අවුරුදු සැණකෙළි ද, වෙසක් පෙරහැර ද, තෛපොංගල් උත්සව ද හොඳින් සමරනු පිණිස හමුදා සෙබළුන් සිය ගම්බිම්වල චිරාත්කාලීනව රැඳී සිටීම මැනවැයි පතන්නෝය.

ඇත්ත වශයෙන්ම, විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ දේශපාලන අභියෝගය විසින් රාජ්‍ය බලාධිකාරය සොළවා ලූ කාලයේ ඊට එරෙහිව වීරසිංහම් ආනන්දසංගරී මහතා විසින් ද මූර්තිමත් කරන ලද්දේ මේ පරිකල්පිත දෙමළා ය. ‘අවංකවම බෞද්ධ ශිෂ්ටාචාරයක් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වීම ගැන මම ආඩම්බර වෙමි. බෞද්ධයෙකු නොවන නමුත් මම බුදුන් වහන්සේ නමදිමි. මා මහියංගනය හා දළදා මාළිගාව වන්දනා කළ වාර ගණන අපමණ යැ’යි එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට 2009 සැප්තැම්බරයේ දී ලියා යැවූ ඔහු සිංහල ජනයා අතර ගෞරවාදරයට පාත්‍රවූයේ සිය කල්පනා ලෝකයේ විශ්වාසය දිනූ කොටි විරෝධී ‘කල්පිත දෙමළා’ ජීවමාන කොට නඩත්තු කිරීම සඳහා ඔහු විසින් දක්වන ලද දායකත්වයට හිලව් වශයෙනි.

නමුත් ‘කොටි නැති උතුරේ’ දැන් එක් ලක්‍ෂ පනස් දහසකට නොඅඩු යුද හමුදා සේනාවෝ කඳවුරු බැඳ සිටිති. සක්‍රීය හමුදා සේවයේ ඇතැයි ගණන් බලා ඇති 243,000කට ආසන්න යුද හමුදා සෙබළුන්ගේ ප්‍රතිශතයක් වශයෙන් සළකතොත්, ඒ වනාහී 60%කට වැඩි පංගුවකි. සිවිල් වැසියන් හත් දෙනෙකුට එක් සෙබළෙකු වශයෙන් වන මේ හමුදා රඳවා ඇත්තේ දිවයිනේ සමස්ත ජනගහණයෙන් 5.99ක් බලා කියා ගැනීමට ය. එයින් 60,000ක් හෙවත් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් වාඩිලා සිටින්නේ මුලතිවු දිස්ත්‍රික්කයේ ය. එහි තේරුම රාජ්‍ය හමුදාවන්ගෙන් 25%ක් රඳවා ඇත්තේ දිවයිනේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 3.99%ක් තරම් වූ කුඩා බිම් ප්‍රදේශයක බව ය. 2012 ජන සංගණන වාර්තා අනුව මුලතිවු දිස්ත්‍රික්කයේ ජනගහණය 91,947කි. මුළු ජනගහණයෙන් පංගුවක් වශයෙන් ගතහොත් ඒ වනාහී 0.45%කි. මුලතිවු හි ස්ථානගත කර ඇති රජයේ ගුවන් හා නාවුක හමුදා බලමුළු අත්හැර ගණන් බැලුව ද, මුලතිවු දිස්ත්‍රික්කයේ සෑම සිවිල් වැසියන් දෙදෙනෙකුටම එක් හමුදා සෙබළෙකු ඇතැයි ඉකුත් නොවැම්බරයේ නිකුත් වූ වාර්තාවකින් පෙන්වා දෙන ලද්දේ මේ අනුව ය. ඒ යථාර්ථය විසින් මොළවන ආතතිය, හමුදා අරක්කැමියන්ට වේට්ටි අන්දා යාපනයේ ‘ආහාර සැණකෙළි’ පැවැත්වීමෙන් සමනය කළ හැක්කක් නොවේ.

‘කොටින්ගෙන් මුදාගත් උතුරේ’ දී වීරසිංහම් ආනන්දසංගරී දැන් මුහුණදෙන්නේ යට කී යථාර්ථයට ය. ලෝකයේ වඩාත්ම හමුදාකරණයට ලක් වූ භූමි භාගයක මහජන වරමක් අපේක්‍ෂා කරන වයෝවෘද්ධ දේශපාලකයෙකුට මඟහැර යා නොහැකි උභතෝකෝටිකය නිර්මාණය වන්නේ ඒ යථාර්ථයෙනි.

හමුදා ඉවත් කළ යුතු බවට ඔහු කර ඇති ප්‍රකාශය පොදු මහත් දෙමළ ජනයාගේ සාමූහික අභිලාෂය නියෝජනය නොකරතැයි සිතන්නට ‘දිවයින’ ඇතුළු සිංහල කල්පනා ලෝකවාසීන් කැමැති වීමට ඉඩ තිබේ. නමුත් ඒ කල්පනාව බෙදාගන්නට රිසි අයෙක්, කොටි සංවිධානයේ විමුක්ති ගී වාදනය කරමින් උතුරේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්නට සිදු වී ඇති පොදු විපක්ෂයේ පොහොට්ටු බලකායෙන් හෝ සොයාගන්නට නොහැකි වීම වනාහී ‘කොටි නැති’ නම අවුරුද්දකින් පසුත් තිත්ත ඇත්තකි‍.

(මෙම ලිපිය 2018 ජනවාරි 21 වැනිදා 'රාවය' පත්‍රයේ මුලවරට පළවූවකි.)

රෝහිත භාෂණ අබේවර්ධන

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top