Pasidol
Sathosa Ad Final Sinhala
Jan 24, 2018

බැඳුම්කර වංචා - සමාජය වගකීම් අතට ගත යුතුයි

පරීක්ෂණයට ලක් වූ මහ බැංකු බැඳුම්කර වංචා වලට මේ වන විට වසර 03 ට අඩුව ඇත්තේ මාසයක් පමණි. තවමත් ප‍්‍රසිද්ධකර ඇත්තේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ඉංග්‍රීසි බසින් ලියැවුනු වාර්තාව පමණි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ඉතා ප‍්‍රවේසමෙන් සිංහලෙන් ලියා රටට කියැවූ ප‍්‍රකාශයෙන් පසු යහපාලන ආණ්ඩුව දෙදරුම් කෑමට බඳුන් විය. එය පළාත් පාලන මැතිවරණයෙහි බල අරගලයකට පෙරැළෙමින් කැබිනෙට්ටුව දක්වාම ගියේය.

 එනමුත් බැඳුම්කර වංචා සම්බන්ධ වාර්තාව තවමත් මේ සමාජයේ වැදගත් සංවාදයකට බඳුන්ව නැත. එයට එක් හේතුවක් වන්නේ බැඳුම්කර ගනුදෙනු හා කොටස් වෙළඳපල සම්බන්ධ විෂය ක්ෂේත‍්‍රය අතිශය සංකීර්ණ හා විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය ක්ෂේත‍්‍රයක් වීමය. දෙවැන්න, බැඳුම්කර ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ වාර්තාව තවමත් සිංහලෙන් හා දෙමළෙන් ප‍්‍රකාශයට පත්ව නොතිබීමය. තෙවැන්න එය හුදු නීති තර්ක වලට සීමා කිරීමෙන් එහි දේශපාලන වගකීම් අතහැර දැමීමය.

bondissue මේ යෝධ වංචාවට වගකිව යුතු පුද්ගලයින් සඳහා දඩුවම් නියම කිරීමේ අවසරයක් ජනාධිපති විමර්ශන කොමිසමට නැත. එබැවින් බැඳුම්කර ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ වාර්තාවෙහි අත්තේ ඔවුන්ගේ පරීක්ෂණ අනුව එළැඹි නිගමන මත තබන නිර්දේශ පමණි. ඒවාද ඉතා ප‍්‍රවේසමෙන් වාක්‍ය ගලපා ලියන ලද නිර්දේශ පමණි. සමාජය එය කියවිය යුත්තේ එම සීමාවන් තේරුම් ගනිමින් එහි නොලියා ඇති දේශපාලනය රටට බලපාන ආකාරය විමසීම වෙනුවෙනි.

බැඳුම්කර ගනුදෙනුවේ දූෂණ හා වංචා වල ආරම්භය ඇත්තේ 2015 ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ මෛත්‍රී‍පාල සිරිසේන පොදු අපේක්ෂකයා ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු ජන වරමකින් තොරව පිහිටුවා ගත් හවුල් ආණ්ඩුව සමගින්ය. ඒ ආණ්ඩුවේ අගමැති ලෙස රනිල් වික‍්‍රමසිංහ පත් කරනු ලැබූයේ එ.ජා.පයේ මන්ත්‍රීවරුන් 47 ගේ සහායට පාර්ලිමේන්තු බහුතරය හැදීම වෙනුවෙන් ශ්‍රී.ල.නි.පයේ සහ මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරුන් 66 ක් පමණ හිලව් කිරීමෙනි. ඒ හවුලේ දින 100 යේ වැඩසටහන ඉදිරියට ගෙන යාමට අගමැති වික‍්‍රමසිංහ පත් කළ ඒකාබද්ධ කමිටුවට විධායක බලයක් ඇතැයි කියමින් ජ.වි.පෙද හවුල් වූයේ මේ හවුල් ආණ්ඩුවට නොතිබූ සමාජ වටිනාකමක් ලබා දෙමින්ය.

 ජනවාරි 12 වන දින අලුත් ඇමති මණ්ඩලය පිහිටුවා මසක් යත්ම මේ ආණ්ඩුව යටතේ පළමු යෝධ බැඳුම්කර ගනුදෙනුව සිදුවිය. ඉන් රටේ ජනතාවට සිදුව ඇති පාඩුව, සේවක අර්ථසාධක අරමුදල හා රාජ්‍ය ආයතන ගත්විට රුපියල් බිලියන 8.53 ක් යැයි වාර්තාවෙන් කියැවේ. ඒ ජනාධිපතිවරයා ඔහුගේ ප‍්‍රකාශනයෙන් උපුටා දැක්වූ පාඩුවය.

 එනමුත් එම වාර්තාවට අනුවම, රටේ ජනතාවට හා විශේෂයෙන් සේවක අර්ථසාධක අරමුදලේ ලක්ෂ 80 ක් පමණ වන සාමාජික සාමාජිකාවන්ට ඇත්තෙන්ම සිදුව ඇති පාඩුව ඊට වඩා බෙහෙවින් වැඩි විය යුතුය. වාර්තාවෙහි 15 වන නිර්දේශයට අනුව (පිටුව 916) සේවක අර්ථසාධක අරමුදලේ කේෂ්ත‍්‍ර කිහිපයක් සම්බන්ධ කොමිසමෙහි සැළකිය යුතු කණස්සල්ලක් ඇතැයි සඳහන් වන්නේය. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය සම්බන්ධ අභ්‍යන්තර රහස්‍ය තොරතුරු පිටස්තරයට දෙනු ලැබී යැයිද එහි සඳහන්ව ඇත. එබැවින් කොමිසම පවසන්නේ, ‘‘මූල්‍ය මණ්ඩලය හා ශ්‍රී ලංකා මහ බැංකුව පවත්වා ගෙන යන පරීක්ෂණ මගින් සේවක අර්ථසාධක අරමුදලෙහි ගනුදෙනු සහ එමගින් සේවක අර්ථසාධක අරමුදලට පාඩු සිදුව ඇත්තේදැයි ඉතා ප‍්‍රවේසමෙන් පරික්ෂා කරනු ඇතැයි අපි විශ්වාස කරමු....’’ යනුවෙනි.

 එහි සරල අර්ථය වනුයේ වාර්තාවෙහි සඳහන් බැඳුම්කර ගනු දෙනුවේ දූෂණ වංචාවලට සම්බන්ධ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම හා සම්බන්ධ රුපියල් බිලියන 8.53 ක පාඩුවට වඩා වැඩි පාඩුවක් සේවක අර්ථසාධක අරමුදලෙහි කාලයක් පුරා සිදුව ඇති හෙයින් එය නිශ්චිත ලෙස ගණන් බැලිය යුතු බවය. එසේ වුවහොත් ලක්ෂ 80 ක් පමණ වන සාමාජිකත්වයට හිමි රුපියල් බිලියන 2,000 (ට්‍රිලියන් 02) ක පමණ අර්ථසාධක අරමුදලේ දූෂණ වංචා හේතුවෙන් සමස්ථ පාඩුව ඇතැම් විට රුපියල් බිලියන 8.53 ට වඩා කිහිප ගුණයකින් වැඩි විය හැකිය.

එහි වන අනෙක් කාරණා එළෙසින්ම හා දේශපාලන වශයෙන් ඊටත් වඩා වැදගත්ය. එහි කිහිප තැන එකල මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගැන සඳහන් අයුරු, ‘‘අපගේ තුලනාත්මක මතය වනුයේ, මෙම පාඩුවට මහේන්ද්‍රන් මහතා වගකිව යුතු අතර එම පාඩුව ඔහුගෙන් අය කර ගත යුතු බවය........එවගේම මහේන්ද්‍රන් මහතා අභ්‍යන්තර තොරතුරු (මිල සංවේදී තොරතුරු) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබා දී ඇති බවත් 2015 පෙබරවාරි 27 වන දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී එම තොරතුරු ඔවුන්ගේ වාසියට යොදා ගෙන ඇති බවත්ය’’ (පිටුව 679). ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව නීතිපති හෝ වෙනත් අදාල පාර්ශවයක් ඉදිරි නීතිමය පියවර ගත යුතු බවට එහි නිර්දේශිතය.

 එකල මහ බැංකු අධිපති වූ අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ සහ ඔහුගේ පියාගේ බහුතර අයිතියට යටත් පර්පෙචුවල් සමාගම් සමූහයත් එහි ප‍්‍රධානියෙකු වූ කසුන් පලිහේනත් අභ්‍යන්තර තොරතුරු (මිල සංවේදී තොරතුරු) අත ඇතිව මහ බැංකු බැඳුම්කර වංචාවට සහ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් දූෂිත ලෙස අයුතු ලාභ ලැබීමට යොදා ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු බවත් ඒ අනුව ඔවුන්ට එරෙහිව නීතිපති හෝ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම නීතිමය පියවර ගත යුතු බවත් වාර්තාවෙහි සඳහන්ය.

ඊට අමතරව එම වාර්තාවෙහි නිර්දේශයන් පිළිබඳව සමාජය විසින් මතු කළ යුතු බරපතල ප‍්‍රශ්න ඇත. පළමු වැන්න මේ සමස්ථ යෝධ සමාජ අපරාධයට හේතු වූ තීන්දු පිළිබඳව වගකිව යුත්තේ කවරෙකුද නැතිනම් කවුරුන්ද යන්නය. කොමිසම විසින් ඒ වගකීම එකල මහ බැංකු අධිපතිට සහ පර්පෙචුවල් ට්‍රෙ‍රෂරීස් සමාගමටත් අර්ජුන ඇලෝසියස්ට හා ඔහුගේ සේවකයෙකු වන පලිහේනටත් ලඝු කර නතර වී ඇත. එහෙත් එය එසේ නොවිය යුතුය. එයට දේශපාලන අධිකාරියේ තීන්දු ගත්තවුන්ද වගකිව යුතු බව වාර්තාවෙහි බොහෝ තොරතුරු සනාථ කරන්නේය.

 අපගේ මුදල් රෙගුලාසි වලට අනුව මහ බැංකුව 2015 ජනවාරි තෙක් පැවතියේ මුදල් අමාත්‍යාංශයේ විෂය භාරයට යටත්වය. එය වාර්තාවෙහි 851 වන පිටුවෙහි සටහන් කර ඇත්තේ එහි විශේෂ වැදගත්කමක් ඇති බැවිනි. නීතිමය ප‍්‍රතිපාදන වලට අනුව, මහ බැංකු අධිපති පත් කිරීමේදී ජනාධිපති සළකන්නේ මුදල් ඇමතිගේ නිර්දේශය ය. බැංකු සම්බන්ධ වගකීමත් රටේ මූල්‍ය හා ආර්ථික කටයුතු සියල්ල සැළසුම් හා අධීක්ෂණය කිරීමත් බාර වන්නේ මුදල් ඇමතිටය. පළමු වරට මේ සම්මතය හා නීතිය බිඳිණු ලැබූයේ අගමැති වික‍්‍රමසිංහ විසින් ඔහුගේ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට මහ බැංකුව පවරා ගැනීමෙනි.

 මේ දැනුවත් පීලි පැනීමෙන් මහ බැංකු අධිපති පත් කිරීම අවුලක් විය. මුදල් ඇමති නොවන නිසා අගමැතිට නිල වශයෙන් කිසිදු පුද්ගලයෙකු එම තනතුරට නිර්දේශ කළ නොහැකි විය. ඒ අවුලට ජනාධිපති සිරිසේනද වගකීම් බාර ගත යුතුය. එය සම්මතයන් හා නීති උල්ලංඝණයක් බැව් නොදැන සිටීමට තරම් ඔවුන් දෙපළ අත්දැකීම් නොමැති අහිංසකයින් නොවන බැවිනි. මහේන්ද්‍රන්ගේ නම අගමැතිගේ වුවමනාව මත යෝජනා වූවත් නිර්දේශය පැමිණියේ එකල මුදල් ඇමති කරුණානායක හරහා වූවත් ඔහුව මහ බැංකු අධිපති ලෙස පත් කිරීමේ වගකීමෙන් ජනාධිපතිට ඉවත් වන්නට නොහැක. මුදල් ඇමති කරුණානායක, අගමැති වික‍්‍රමසිංහ සහ ජනාධිපති සිරිසේන එම පත්වීමට සම්බන්ධ බැව් වාර්තාවේ 852 වන පිටුවෙහි ඇති සටහනකි.

ඉතා ප‍්‍රවේසමෙන් තෝරාගත් වචන මත අගමැතිවරයා සියලූ වගකීම් වලින් නිදොස් කිරීමට කොමිසම වග බලා ගෙන තිබුණද, වාර්තාවේම ඇති කරුණු අනුව අගමැතිවරයාද මේ බැඳුම්කර ගනුදෙනුවට නොඅඩුව වගකිව යුතු වන්නේය.

 වාර්තාවේ 851 වන පිටුවෙහි ඇති සටහනට අනුව, අර්ජුන ඇලෝසියස් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු හා ප‍්‍රධාන විධායක නිලධාරි වන බැව් දැන සිටියේදැයි කොමිසම අගමැතිගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ, ‘‘ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය මහේන්ද්‍රන් මහතාට බාර ගන්න යැයි ඇරයුම් කරනවිට, අලෝසියස් මහතා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වන බවට ඔහු වග බලා ගත යුතුයැයි මම තරයේ ඉල්ලා සිටි අතර, එම සමාගමේ ව්‍යාපාර කටයුතුවල කිසි අයුරකින් ඔහු නිරත නොවිය යුතු බවද කීවෙමි’’ යන්නය.

මෙය අඳබාල ප‍්‍රකාශයකි. කිසියම් පුද්ගලයෙකු කොයි ආකාරයකින් හෝ ලාභ ලැබීම සඳහා ආරම්භ කළ ව්‍යාපාරයක් තවත් කෙනෙකුගේ අවශ්‍යතා අනුව අත හරිනු ඇතැයි සිතීමම මුලාවකි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම 2015 මාර්තු 31 දින අවසන් වූ මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 959.5 ක ශුද්ධ ලාභයක් ලැබූ ව්‍යාපාරයක් බැව් වාර්තාවෙන් කියැවේ (පිටුව 873). අගමැතිගේ වුවමනාවට අර්ජුන් ඇලෝසියස් එවැනි ලාභ ලබන තමන්ගේ ව්‍යාපාරය අත හරිනු ඇතැයි අගමැති විශ්වාස කළේ නම් එයම අගමැති ධූරයට තරම් නොවන අනුවණ කමකි. ඇත්තටම සිදුවූයේ තම මාමා වන අර්ජුන මහේන්ද්‍රන්ට මහ බැංකුවේ අධිපති තනතුර බාර ගැනීමට හැකිවන ලෙස අර්ජුන ඇලෝසියස් ඔහුගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක තනතුරෙන් ඉවත්ව අධ්‍යක්ෂවරයෙකු ලෙස අඛණ්ඩව එම සමාගමේ ව්‍යාපාර කටයුතුවල අධිකාර බලයක් තබා ගෙන කටයුතු කිරීමය. (853 වන පිටුව).

 එය අරුමයක් නොවන අතර, අගමැතිවරයා එය නොදැන සිටියේ යැයිද විශ්වාස කළ නොහැක. අගමැතිවරයා දිගින් දිගටම සහතික වන්නේ ඔහු මහ බැංකු අධිපති මහේන්ද්‍රන්ගේ වචනය විශ්වාස කළ බවය. ඔහු මෙන්ම රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මහේන්ද්‍රන් අතර දීර්ග කාලයක සිට සමීප සම්බන්ධයක් පැවති බව නොරහසකි. මීට අවුරුදු 16 ට පෙර 2011 දෙසැම්බරයේ බලයට පැමිණි එ.ජා.ප ආණ්ඩුවෙහි අගමැතිවරයා වශයෙන්ද රනිල් වික‍්‍රමසිංහ ශ්‍රී ලංකා ආයෝ්ජන මණ්ඩලයේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත් කළේය.

රාජකීය මිතුරන් කැලක් සමග ආණ්ඩු පාලනයේ ඉන්නා අගමැතිවරයා කිසිදු ප‍්‍රශ්න කිරීමකින් තොරව මහේන්ද්‍රන්ගේ වචනය බාර ගැනීම පිළිබඳව කොමිසමේ සාමාජිකයින් වාර්තාවේ දෙපළකම කියා ඇත්තේ, ‘‘අගමැතිවරයාට අනාගතය ගැනද අවධානයක් ඇතිව කටයුතු කිරීමේදී වඩා ප‍්‍රඥාගෝචර පියවර විය යුතුව තිබූයේ මහේන්ද්‍රන් මහතා අගමැතිවරයාට දෙනු ලැබූ සහතික එළෙසින්ම වලංගුදැයි වෙනත් ස්වාධීන මාර්ගයකින් සනාථ කර ගැනීමය. අගමැතිවරයා එවැනි පියවර නොගැනීම ගැන අපි කණගාටු වෙමු’’ යනුවෙනි (පිටුව 853).

 ඊටත් අමතරව, පළමු වරට බැඳුම්කර වංචා පිළිබඳ ආන්දෝලනය සමාජීය විරෝධයක් ලෙස ඉස්මතු වූ පසු ඒ විරෝධය සමනය කිරීම වෙනුවෙන් අගමැතිවරයා විසින් 2015 මාර්තු 18 වන දින පත් කරනු ලැබූ ත්‍රිපුද්ගල කමිටුව ගැන, සමාජයේ තිබූයේ බරපතල අවිශ්වාසයකි. ‘‘පිටිපන කමිටුව’’ ලෙස හැඳින්වුනු එම නීතිඥ කමිටුව බැඳුම්කර වංචා යට ගැසීමට පත් කෙරුණු එ.ජා.ප කමිටුවක් යැයි චෝදනා කෙරුණි. එම කමිටු වාර්තාව පදනම් කර ගනිමින් අගමැතිවරයා ඔහුගේ අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයක් මගින් 2015 අප්‍රේල් මාසයේ 19 වන දින නිවේදනය කෙරුවේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කිසිදු ආකාරයකින් බැඳුම්කර අලෙවියට සම්බන්ධවී නොමැති බවය. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස 2015 පෙබරවාරි 27 වන දින බැඳුම්කර අලෙවියට කිසිදු ආකාරයකින් මැදිහත්වී නැතැයි 2015 මාර්තු 17 වන දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා කළ ප‍්‍රකාශයෙන්ද ඔහු මහේන්ද්‍රන් නිදොස් කළ නමුදු, කොමිසමේ නිගමනය වන්නේ මහේන්ද්‍රන් ඔහුගේ අක්‍රීයත්වය මගින් බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ පරීක්ෂණ යට ගැසූවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසි වූ බවය (පිට 844). එළෙසින්ම කොමිසම යළි කියන්නේ ‘‘නැවතත් මහේන්ද්‍රන්ගේ අක්‍රීයත්වය පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභ ගොඩ ගැසීමට හේතු විය’’ යනුවෙනි (පිටුව 847).

මේ අතර වාර්තාවට අනුව, මහ බැංකු අධිපති සහ ඔහුගේ බෑණා වන අර්ජුන ඇලෝසියස් අතර මේ සියලූ ගනුදෙනු සම්බන්ධ තොරතුරු හුවමාරුවක් නොවුනේ යැයි සිතිය නොහැකි බැව් සනාථ කෙරෙන්නේ, ‘‘ඇලෝසියස් මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කළ කාර්ය භාරය මහේන්ද්‍රන් මහතා දැන සිටිය යුතු විය. එසේ නොවේ යැයි සිතීම කෘතීමයක් වන්නේ මහේන්ද්‍රන් මහතා සහ ඇලෝසියස් මහතා එකම නිවසෙහි නිවැසියන් වූයෙනි’’ (පිටුව 843). 2015 වසර පුරා මේ තොරතුරු අගමැතිවරයාද නොදැන සිටියේ යැයි කිසිවකු කියන්නේ නම්, එය පැහැදිලි වංචනික කතාවකි. අර්ජුන මහේන්ද්‍රන් නිදොස් කිරීමේ සියලූ උත්සාහ අගමැති විසින් ගනු ලැබූයේ මේ තොරතුරු සියල්ල දැන සිටියදී යැයි මම නිගමනය කරමි.

 මේ බැඳුම්කර වංචා සිදුවූයේ ආණ්ඩුවේ ඉහළම නායකයින් නොදැන නොවේ යැයිද මම කියමි. එයට මේ ආණ්ඩුවේ දෙපාර්ශවයම වගකිව යුතුය. එවගේම ආණ්ඩුවේ මේ දෙපාර්ශවයම එකසේ දූෂණ සඳහා චෝදනා ලබනවුන් ය. එබැවින් මේ වාර්තාවෙහි නිර්දේශ කවරක් වූවත් ඒවා කි‍්‍රයාවට පෙරැළීමේ බරපතල දෝස තිබිය හැකිය. තිබිය යුතුය. පැවති ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේ යෝධ දූෂණ ගැන කෙරෙන පරීක්ෂණද මෙවැනි කොමිසම් වාර්තා ඔස්සේ එතරම් දුර දිග යන්නේ නැත. එබැවින් දැන් සමාජ මැදිහත්වීමක අවශ්‍යතාවක් ඇත. දැන් සිදුවිය යුත්තේ ජාත්‍යන්තර සහායද ඇතිව දියුණු තාක්ෂණික විශේෂඥතාවන්ද හවුල් කර ගන්නා දූෂණ සෙවීමේ හා වරදට දඩුවම් නියම කිරීමේ අයිතිය සතු මහජන කොමිසමක් ජනතාව විසින් පත්කර ගැනීමය.

කුසල් පෙරේරා
‘‘ඉරිදා ලක්බිම’’
2018 ජනවාරි 21 වන දින        

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top