Pasidol
Sathosa Ad Final Sinhala
Feb 16, 2018

රන් සමනලයාට වෙඩිතබා වසර 30යි

විශිෂ්ට රංගවේදියකු, සම්මානනීය ගායකයකු, මානව හිතවාදී දේශපාලනඥයකු මෙන්ම රිදී තිරය බැබළවූ ජනප්‍රිය සිනමා තරුවක් වූ විජය කුමාරතුංගයන් අපෙන් සමුගෙන අදට (16දා) තිස් වසරක් සපිරේ.

1969දී හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි විජයව ප්‍රකට පත්‍රකලාවේදියකු වූ ඩෙන්සිල් පීරිස් හඳුන්වා දී තිබුණේ "70 දශකයේ සිංහල පෙම්වතා" ලෙසය.

විජය කෙටිකලකින් ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් අතර කලාත්මක හා විනෝදාත්මක සිනමාවට නැතුවම බැරි නළුවෙක් බවට පත්විය.

බඹරු ඇවිත්, කැඩපතක ඡායා, මහගෙදර, පාරදිගේ, මරුවා සමඟ වාසේ, අහස් ගව්ව, මධුසමය, පොඩි මල්ලි වැනි කලාත්මක චිත්‍රපටවල මෙන්ම ආදරෙයි මං ආදරෙයි, සංගීතා, ජය අපටයි, තුෂාරා, ජය සිකුරුයි, ඔබටයි ප්‍රියේ ආදරේ, නැවත හමුවෙමු, නොම්මර 17 වැනි විනෝදාත්මක චිත්‍රපටවල රංගනයෙන් විජයලෝලී රසික හමුදාවක් ගොඩනඟා ගැනීමට ඔහුට හැකිවිය.

වම් ඉවුරේ සිනමාකරුවකු වූ ධර්මසේන පතිරාජටත්, රසසාගර සිනමාකරුවකු වූ යසපාලිත නානායක්කාරටත් නැතුවම බැරි නළුවකු බවට විජය පත්ව සිටියේය.

දශක දෙකක සිය සිනමා ජීවිතයේදී හොඳම නළුවා, හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස සම්මාන හිමිකර ගනු ලැබූ විජය පස් වසරක් අඛණ්ඩව ජනප්‍රිය නළුවා ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය.

ජාතික දේශපාලනයේ ජනප්‍රිය නායකයා :

vijaya and oshi

සංචාරයේ යෙදෙන විජය සහ ඔසී

මේ අසීමිත ජනප්‍රියත්වය ක්‍රියාකාරී දේශපාලනයට අත්වැලක් කරගත් විජය කෙටිකලක් තුළ ජාතික දේශපාලන තලයේ ප්‍රබල ප්‍රමුඛ ජනප්‍රිය නායකයකු බවට පත්විය.

ලංකා සමසමාජ පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයේ අත්පොත් තැබූ විජය කුමාරතුංග පසුව ශ්‍රී ලනිපයට එක්විය.

1977 මහ මැතිවරණයේදී කටාන ආසනයටත්, 1982දී මහර ආසනයටත් ශ්‍රී ලනිපයෙන් තරග වැදුණු ඔහු 1983 දී මින්නේරිය ආසනයට තරග කළේ 1982දී පිහිටුවාගත් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙනි.

1982 ඊනියා නැක්සලයිට් චෝදනා එල්ල කර සිරගත කළ විජය නිදහස් වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවා ගත්තේය.

Vijaya with Ltte members

ඔසී , චන්ද්‍රිකා සහ විජය LTTE සාමාජිකයන් සමග

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා ලෙස එල්.ටී.ටී.ඊ. පාලනයට නතුව තිබූ යාපනයේ විජය කළ සංචාරය මහත් ආන්දෝලනයකට තුඩුදුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුමට සහාය පළ කිරීම නිසා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් "දේශද්‍රෝහියකු" ලෙස නම් කළ විජය 1988 පෙබරවාරි 16 වැනිදා එනම් අද වැනි දිනෙක පෙරවරුවේ ඔහුගේ නිවෙස ඉදිරිපිටදී නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා සාහසික ලෙස ඝාතනය කරනු ලැබීය.

විජයගේ ඝාතනය පිළිබඳ සොයාබැලීමට ඔහුගේ බිරිය වූ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පත්කළ පරීක්ෂණ කොමිසමේදී හෙළිවූයේ විජය ඝාතනය දාම ඝාතකයකු විසින් කර ඇති බවය.

පක්ෂ කිහිපයක සන්ධානයක් වූ එක්සත් සමාජවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට හරියටම දින පහකට පෙර විජය ඝාතනයට ලක්වූයේ ඔහුගේ දේශපාලන ගමන ප්‍රතිපක්ෂයට අභියෝගයක් වූ නිසා බව සක්සුදක් සේ පැහැදිලිය.

1945 ඔක්තෝබර් 09 දා මීගමුවේ වෙරළබඩ ගම්මානයකදී උපත ලද විජය කුමාරතුංග ඝාතනයට ලක්වනවිට පසුවූයේ 43 වැනි වියේය. යශෝදරා හා විමුක්ති ඔහුගේ දරුවන් දෙදෙනාය. ඔවුන් සිනමාවට හෝ දේශපාලනයට සම්බන්ධ වී නැත.

"අරුම නළුවා" :

WI

අහස හා පොළොව මෙන් එකිනෙකට දුරස්ථ රිදී තිරයත්, දේශපාලන වේදිකාවත් යා කළ "අරුම නළුවා" වූ විජය කුමාරතුංග එදා මෙන් අදත්, අද මෙන්ම හෙටත් සහෘදයන්ගේ හදවත් තුළ සදා ජීවත්වනු ඇත.

මර්සලින් ජයකොඩි පියනම කියුවා සේ
"සාහසිකයා අළුවෙලා යයි
ඔබට ඉතිහාසය බඳියි කොත
සොබා දහමේ අණසකය එය
වරද කිසිදින ජය අරන් නැත..."

(මව්බිම -සුසිල් සුරවීර)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top