Connect with us

පුවත්

අගමැති මෝදි වෙනුවෙන් ජනපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් (ඡායා)

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ජනාධිපති මන්දිරයේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත්විණි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම ශ්‍රී ලංකා සංචාරයෙන් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දු වන බොහෝ ක්ෂේත්‍රයන්හි දෙරටේ ජනතාව අතර වැඩි සමීපබවක් සහ සහයෝගීතාවක් සඳහා ඇති අවස්ථා පුළුල් කරනු ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අපි ආගන්තුක සත්කාරයට ඉතාමත් කැමති පිරිසක් වන අතරම අපි සියලු අමුත්තන් උණුසුම් ලෙස වැලඳ ගන්නවා. ඒ අතරින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිටින මිතුරන් අපගේ හදවතේ උණුසුම්ම තැනින් වැලඳ ගන්නා බව මම සිහිපත් කරනවා.

කුඩා නමුත් උණුසුම් හදවත් ඇති මිනිසුන් පිරුණු මෙම ආශ්චර්යමත් දිවයින වෙත ඔබේ රටේ ජනතාව නැවත නැවතත් පැමිණෙනු දැකීම අපගේ අපේක්ෂාවයි. අපි සෑමවිටම අපගේ මිතුරන්ට කියන දෙයක් තමයි, “නැවත එන්න” කියලා. අපගේ හදවත් ඔබව සාදරයෙන් පිළිගැනීමට සූදානම්.

අග්‍රමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ යහපත් සෞඛ්‍යය, ඉන්දීය ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය, අපගේ රටවල් දෙක අතර නිරන්තරයෙන් වර්ධනය වන සහයෝගීතාව සහ මිත්‍රත්වය යන මේ උදාර අපේක්ෂාවන් වෙනුවෙන් අපි එකම අරමුණකින් උණුසුම් හදවතින් ආශිර්වාද කරමු”

අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මියද, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු කැබිනට් අමාත්‍යවරුද, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් ඇතුළු රාජතාන්ත්‍රික නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

කඩුවෙල මහෙස්ත්‍රාත්වරිගේ නිල මැදිරිය මුද්‍රා තැබේ

Published

on

By

කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රාතැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය පවසයි.

ඒ අනුව එළැඹෙන සඳුදා (19) හිටපු මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මියට අධිකරණය වෙත පැමිණ, ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලබා දී ඇත.

එමෙන්ම එතෙක් එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට ද කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය පැවසීය.

චාණිමා විජේබණ්ඩාර මහත්මිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොම්ෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදුකරනු ලබන පරීක්ෂණයන්ට යටත්ව මෙලෙස එම නිල කාමරය මුද්‍රා තබා තිබේ.

මේ වනවිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බවටද වාර්තා වේ. 

Continue Reading

පුවත්

බ්‍රදර් චාල්ස්ගේ වැඩසටහනකට අමාත්‍යංශයෙන් තහනමක්

Published

on

By

බුදු දහමට හානිකර ලෙස පැවැත්වීමට යන චාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ වැඩසටහනක් පිළිබඳව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ලිපියක් යොමුකර තිබේ.

අදාළ ලිපියේ සඳහන් වන්නේ, අදාළ වැඩසටහන අද (17) දිනයේ පාදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත බවය.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව දැඩි අප්‍රසාදය පලකරන බවට විවිධ පාර්ශ්වවලින් ලැබුණු පැමිණිලි අනුව එය නතර කරන ලෙසට දැනුම්දීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

Continue Reading

පුවත්

දුම්රිය වැඩවර්ජනයට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පිළිතුරක්

Published

on

By

විසඳුම් ලබාදී තිබියදීත් මහජනතාව අපහසුතාවට පත්කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු විසින් අසාධාරණ වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ එක්දින සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය මේ බව දන්වා සිටියේය.

වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම හා නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කරඇති බව එම නිවේදනයේ දැක්වේ.

අදාළ නිවේදනයේ උපුටනයක් පහතින්,

අද (16) දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් එනම්, වසර පහෙන් පහට ශ්‍රේණී උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම, නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු දෙක ඉදිරිපත් කරමින් අසාධාරණ ලෙස ක්ෂණික වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ලෙස මෙම වසර ආරම්භයේදීම (01/22) දුම්රිය දෙපාරිතමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යවා පුරප්පාඩු 909ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දී ඇත. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරු 106 ඇතුළත්ය.

මාස කිහිපයකට පෙර මෙම අනුමැතීන් ලබා දී තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බව හා ගැටලුකාරී තත්වයන් මත අමාත්‍යාංශය, අමාත්‍යවරුන්ගේ මට්ටමින් මැදිහත් වී සාකච්ඡා පවත්වා තිබියදී දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාරක්ෂමතාව මේ වනතෙක් කිසිදු නව බදවාගැනීමක් සිදු කිරීමට අපොහොසත් වී ඇත.

එසේම වසර පහෙන් පහට උසස්වීම් ලබාදීම ඇතුළු කරණු ගණනාවකට ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ නිර්දේශ නිකුත් කර ඇති අතර එය 2025/05/07 වන දින දෙපාර්තමේන්තුවට ලැබී ඇත. එළැඹෙන සතියේ දී ඒවා ද නියමිත ලෙස රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බව දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම්වත්කර ඇත.

මෙම ඉල්ලීම්වලට අමාත්‍යංශය මට්ටමින් විසඳුම් ලබා දී තිබියදීත්, ඒවා ක්‍රියාත්මක නොවීම පසුපස ඇති දෙපාර්තමේන්තුවේ අකාරක්ෂමතාව හා ගැටළු සාකච්ඡා මගින් විසදාගැනීම යනාදිය පසෙක ලා මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශය ලෙස අපගේ අප්‍රසාදය පළ කර සිටිමු.

දුම්රිය දෙපාර්තමේන්තුවේ යම් යම් උප දෙපාර්තමේන්තු තුළ අඩු කාර්යක්ෂමතාවයක් තිබුණ ද අමාත්‍යාංශය මෙසේ සෑම ලෙසම මැදිහත්වීම සිදු කරමින් තිබිය දී අසාධාරණ ලෙස මහජනතාව පීඩාවට පත්වන අයුරින් වැඩවර්ජන දියත්කිරීම පිටුපස වෙනත් උවමනාවක් ඇත්දැයි සැක උපදවන අතර එම උවමනාව වනාහි අනෙකක් නොව ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ සහ හුදු මහජනතාව පීඩාවට පත් කිරීමේ ප්‍රයත්නයක් බව හැඟේ. 

එසේම දුම්රිය සේවය පවත්වාගැනීම සඳහා කළහැකි සියලු මැදිහත්වීම අමාත්‍යාංශය හා රජය ලෙස සෑම අයුරකින්ම නොපසුබට ව සිදු කරන බව ද අවධාරණය කර සිටිමු.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved