අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු දෙදෙනෙකු ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .
සෙසු සිසුන් 25 දෙනාට ඇප ලබා දී ඇති බව වාර්තා වේ.
විභාග නොපවත්වා සෞඛ්‍ය සේවයට බඳවාගැනීම් සිදුකරන ලෙසට ඉල්ලා උද්ඝෝෂණය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 27 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
සම සෞඛ්‍ය උපාධිධාරීන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (27) රාත්‍රියේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබුණි.
කෙසේ වෙතත් මහජනතාවට අවහිරවන පරිදි සත්‍යග්‍රහ පැවැත්වීම වාරණය කරමින් නිකුත් කර තිබූ උසාවි නියෝගයක් පදනම් කරගනිමින් සහ මැතිවරණ කාලසීමාවක් තුළ පෙලපාලි පැවැත්වීම යන කරුණු පදනම් කරගනිමින් ඊයේ (27) රාත්‍රියේ පොලීසිය සිසුන්ගේ තාවකාලික අට්ටාලය ඉවත්කර තිබේ.
එම අවස්ථාවේ අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු ඇතුලු සත්‍යග්‍රහයේ සිටි 27 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
වසර 4ක් පුරා සම සෞඛ්‍ය උපාධිධාරීන් මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කර නොතිබූ අතර වත්මන් ආණ්ඩුව එම උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබේ.
ඒ සඳහා යෝජිත තරඟ විභාගය නොපවත්වා සියලු සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ආණ්ඩුවට බලකරමින් මේ විරෝධතාවය සංවිධානය කර තිබුණි.
(පෙර පුවත 2025 මාර්තු 28 පෙ.ව.7.43)
අධිකරණ නියෝගය නොතකා විරෝධතා දැක්වූ 27ක් අත්අඩංගුවට
අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ දහවල් මෙලෙස විරෝධතාවක නිරතවිය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසකක් ද ඊට එක්වී තිබුණි.
එහිදී නියෝජිතයින් 8 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් හිමිවූ අතර එය අසාර්ථක වීම හේතුවෙන්, ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැඳි සිටිමින් විරෝධය දැක්වීය.
මෙහිදී උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබූ අතර ඒ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබුණි.