පසුගිය ඉරිදා (26) දින ජාතික ජන බලවේගය විසින් කැඳවන ලද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේ දී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ කැස්බෑව පදිංචි දෙදරු පියකු වන අජිත් ගමගේ (46) මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
එම විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනාගෙන් අනෙක් පුද්ගලයා වූ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) ජිවිතක්ෂයට පත්විය.
ඔහු මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිවිතිගල ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් අපේක්ෂයෙකු ලෙස නාමයෝජනා භාරදී සිටි අයෙකි.
ඔහුගේ අවසන් කටයුතු හෙට (01) නිවිතිගලදී සිදුකිරීමට නියමිතය.
මේ අතර, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නිසි බලධාරියකුගේ අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට ඊයේ (28) දන්වා සිටියේය.
ජාතික ජන බලවේගය විසින් ඉකුත් 26 වැනිදා කොළඹදී පැවැත්වූ විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩ කරමින් නිසි බලධාරියකුගේ අවසරයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පෙළපාළි යාම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතා විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් එලෙස දැනුම් දී තිබේ.
කිසිදු අවසරයකින් තොරව එලෙස පෙළපාළි පවත්වා ඇත්තේ ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ, ලාල් කාන්ත, ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් විසින් බවද පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත දන්වා සිටියේය.