රටපුරා තැබෑරුම් සියයකින් පමණ හසුවූ හොර ස්ටිකර් මුද්‍රණය කර තිබූ අරක්කු බෝතල්වල ස්ටිකර් බෙදා හැර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසකින් බව සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප්‍රකාශ කළේය.
ඒ දකුණු පල්ලන්සේන, ඩොලරෝසා පාරේ 52/15 නැමැති ස්ථානයෙන් බවත් ඔහු හෙළිකළේය.
මෙහි අවස්ථා සම්බන්ධය ගැන ද අදහස් දැක්වූ බුද්ධික පතිරණ මහතා, ” මේ නිවෙස අයිති කාටද කියලා හොයන්න ඕනෑ. මේ හා සමාන සිද්ධියක් පාසිකුඩාවල හොයන්න ගිය සුමිත් කියන සහකාර සුරාබදු කොමසාරිස්වරයාට දුරකතන ඇමතුමක් දීලා ඔහුව හරවා ගෙන්වා ගන්නවා. කවුද ගෙන්වා ගන්නේ. අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම්) කපිල කුමාරසිංහ මහත්තයා. එතකොට 2004 වසරෙදි මේ කපිල කුමාරසිංහ එක්ක අල්ලස් නඩුවක චෝදනා ලබනවා. අල්පොන්සු රසල් ලැම්බර්ට් කියන නිලධාරියා. මේ පුද්ගලයා දැනටත් සුරාබදු අධිකාරි කෙනෙක් ලෙස කටයුතු කරනවා. ඔහුගේ නිවෙසේ ලිපිනය තමයි මම කලින් කිවුවේ.” යනුවෙන් කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ බව සඳහන් කළේ මෙම ස්ටිකර් සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයාට ප්‍රශ්නයක් යොමු කරමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යාපනය, නුවරඑළිය, ගාල්ල හා රත්නපුර ආදි දිස්ත්‍රික්කවලින් ද මෙම හොර ස්ටිකර් හසුවී ඇති බවත් පැවසීය.
මුදල් අමාත්‍යවරයා අමතමින් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඔබතුමා කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක්. අසූචි ගොඩකට ඔබතුමා මල් වට්ටියක් කියලා කර ගහගෙන යන්න එපා. මෙකෙ තියෙන්නෙ කිඩාරම් මල්. ඒ නිසා ඔබතුමා මේ ගැටේට අසු වෙන්න එපා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා ද කියලා දැන ගන්න කැමතියි. යනුවෙන්ද විමසා සිටියේය.