Connect with us

පුවත්

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස

Published

on

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් මස 21 වනදා ට යෙදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

10 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළැබෙන නොවැම්බර් මස 14 වන දිනට යෙදී ඇත.

එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් 196ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29ක් ඇතුළත්ව පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වන මුළු මන්ත්‍රීවරු ගණන 225කි.

පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනයේ දී විශේෂ කටයුතු රැසක් සිදුකිරීමට ඇති බවය.

පළමු දිනයේ සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පැවරෙනුයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි. පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමිවේ. සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබයි.

අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ‍ඡන්දයෙන් තොරා පත් කර ගැනීම සිදුකරනු ලැබේ.

කථානායකවරයා පත්කිරීම

පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ඕනෑම මන්ත්‍රීවරයෙක් පත් කළ හැකිය. නමුත් කිසියම් මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර කථානායකවරයා ලෙස පත්වීමට අදාළ මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසා දැනගනු ලැබිය යුතුය. කථානායකවරයා පත්කිරීම ‍මන්ත්‍රීවරයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවිය යුතු අතර ඒ පිළිබඳ විවාද පැවැත්වීමට අවකාශ නොලැබේ.

මෙහිදී මුලින්ම කථානායකවරයා පත්කර ගත යුතු බව මහ ලේකම්වරිය විසින් සභාවට දැනුම් දෙනු ලබයි. එවිට යම් මන්ත්‍රීවරයෙක් අසුනින් නැගී සිටියහොත් මහ‍ ලේකම්වරිය විසින් එම මන්ත්‍රීවරයා දෙසට සියත දිගුකොට අදාළ යෝජනාවට සභාවේ අවධානය යොමු කරවයි. එසේ එක් නමක් යෝජනා වූ පසු වෙනත් නාම යෝජනා තිබේද යන්න මහ ලේකම්වරිය විසින් සභාවෙන් විමසිය යුතුය. එසේ විමසීමේදී වෙනත් නාම යෝජනාවක් නොමැති නම් එම මන්ත්‍රීවරයා කථානායක ලෙස යථා පරිදි තෝරාපත් කර ගැනේ.

මෙහිදී අදාළ මන්ත්‍රීවරයාගේ නම යෝජනා ස්ථිර කරනු ලැබූ මන්ත්‍රීවරයන් දෙදෙනා විසින් එම මන්ත්‍රීවරයාව දෙඅතින් අල්වාගෙන කථානායක අසුන වෙත කැඳවාගෙන යෑම ඓතිහාසික සම්ප්‍රදාය වේ.

අනතුරුව කථානායකවරයා විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම දීම සිදුකරන අතර එම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දෙනු ලබන්නේ මහලේකම්වරිය ඉදිරියේය. එසේ පත්වන කථානායකවරයා සිය ආසනයේ අසුන් ගැනීමට පෙර තමාව තෝරා පත් කර ගැනීම පිළිබඳ කෙටි ස්තූතියක් සභාව වෙත සිදු කිරීම සම්ප්‍රදායකි. නව කථානායකවරයාගේ තේරී පත්වීම පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සුභාශිංෂණ පිරිනැමෙන අතර අනතුරුව කථානායකවරයා විසින් සිය ස්තුති කථාව සිදුකරනු ලැබේ. සභාවේ අනෙකුත් මන්ත්‍රීවරයන් මන්ත්‍රීවරයෙකු ලෙස සිය ප්‍රතිඥාව හෝ දිවුරුම කථානායකවරයා වෙත ලබාදෙන්නේ ඉන් අනතුරුවයි.

 කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරයන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී රහස් ඡන්දයක් පැවැත්වේ. මෙලෙස රහස් ඡන්ද පවත්වන අවස්ථා 02ක් පාර්ලිමේන්තු ක්‍රමය තුළ පවති. එම අවස්ථා 02 නම් කථානායක, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති තෝරා පත්කර ගැනීම සිදුකරන අවස්ථාව සහ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා අවස්ථාවයි.

එම ඡන්ද විමසීමේදී ගණපූර්ණ සීනුව විනාඩි 05ක් නාද කිරීමෙන් අනතුරුව මහ‍ ලේකම්වරිය විසින් සෑම මන්ත්‍රීවරයෙකුටම ඡන්ද පත්‍රිකාව බැගින් ලබා දෙන අතර මන්ත්‍රීවරයන් ඒ මත ඡන්දය ලබාදෙන අපේක්ෂකයාගේ නම සහ සිය අත්සන යෙදිය යුතුවේ. අනතුරුව එම ඡන්ද පත්‍රිකාව කිසිවෙකුට නොපෙනෙන සේ නවා ඡන්ද පෙට්ටියට ඇතුළත් කළ යුතුවේ. ඡන්දයක් පැවැත්වීමේ ආකාරය තීරණය කිරීමේ බලය සහ ඡන්ද ගණන් කිරීමේ රාජකාරිය සම්පූර්ණයෙන් හිමි වන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි. ඡන්දය ගණනය කරනු ලබන්නේ මහ‍ ලේකම්වරියගේ මේසය (Table of Parliament) මතදීයි. මෙසේ ගණනය කිරීමෙන් අනතුරුව ඡන්ද ප්‍රතිඵලය සභාව වෙත ප්‍රකාශයට පත් කරනු ලැබේ. යම් අවස්ථාවකදී ඡන්ද පත්‍රිකාවක මන්ත්‍රීවරයාගේ අත්සන යොදා නොමැති විටකදී එම ඡන්දය අවලංගු ඡන්දයක් ලෙස පිළිගැනේ.

කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරයන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී ඡන්දයේදී බහුතර ඡන්ද සංඛ්‍ය‍ාවක් ලබා ගැනීමට යම් මන්ත්‍රීවරයෙක් අසමත් වුවහොත් අඩුවෙන්ම ඡන්දය ලබාගත් මන්ත්‍රීවරයා තරඟයෙන් ඉවත් කොට නැවත ඡන්ද විමසීම සිදු කරයි. ඉන් අනතුරුව ඔවුන් අතරින් වැඩි ඡන්දය හිමිකර ගන්නා තැනැත්තා කථානායක ලෙස තේරී පත්වේ. එමෙන්ම මන්ත්‍රීවරයන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී ඇති අවස්ථාවකදී ඉහත ආකාරයට ඡන්ද පවත්වමින් එක් එක් මන්ත්‍රීවරයා ඉවත් කරමින් අවසාන එක් බහුතර ඡන්ද ලාභියෙක් ලැබෙන තෙක් ඡන්දය පවත්වයි. නමුත් කිසියම් මන්ත්‍රීවයෙක් බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා ඕනෑම විටකදී එම මන්ත්‍රීවරයා කථානායකවරයා ලෙස තේරී පත්වේ.

යම් අවස්ථාවකදී මන්ත්‍රීවරයන් තිදෙනෙක් ඡන්දයට පෙනී සිටින විට සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමාන ඡන්ද ලබා ඇති විට කුසපත් ඇදීම මඟින් සමාන මන්ත්‍රීවරයන් දෙදෙනාගෙන් එක් අයෙක් ඉවත් කිරීමේ බලය මහ ලේකම්වරියට හිමිවේ.අනතුරුව වැඩි ඡන්ද හිමි අපේක්ෂකයා සහ ඉතිරිවූ අනෙක් අපේක්ෂකයා අතර නැවත ඡන්දයක් පවත්වා කථානායකවරයා තෝරා පත් කර ගැනේ.

මන්ත්‍රීවරයන් දෙදෙනෙකු අතර ඡන්දය පැවැත්වෙන අවස්ථාවකදී අපේක්ෂකයන් දෙදෙනාම සමාන ඡන්ද ලබා ඇති විටකදී නැවත ඡන්දය පවත්වයි. නමුත් එම අවස්ථාවේදීත් අපේක්ෂකයන් දෙදෙනා විසින් සමාන ඡන්ද ලබා ඇති විටකදී කුසපත් ඇදීම මඟින් කථානායකවරයෙක් තෝරා ගැනීමේ බලය මහ ලේකම්වරිවට හිමිවේ. මෙහිදී කුසපත් ඇදීමේ ක්‍රමවේදය තීරණය කිරීමේ බලය සම්පූර්ණයෙන් මහ ලේකම්වරියට හිමිවේ.

ඡන්දයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රාතබා එක් මාසයක කාලසීමාවක් මහ ලේකම්වරියගේ භාරයේ තැබිය යුතු අතර, පසුව පාර්ලිමේන්තුවෙන් ලැබෙන නියෝගයක් අනුව ඒවා විනාශ කර ඒ බව නැවත පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතුය.

පාර්ලිමේන්තුවට තේරී පත්වන සියළු මන්ත්‍රීවරයන් පළමු දිනයේදී තම දිවුරුම හෝ ප්‍රතිඤාව ලබා දීමෙන් අනතුරුව අත්සන් තැබීමේ ලේඛණයේ අත්සන් තැබීම සිදුකළ යුතුය. මෙහිදී කථානායකවරයා පළමුවෙන් අත්සන් තබන අතර අනතුරුව සම්ප්‍රදායක් ලෙස අගමැතිවරයා අත්සන් කිරීමෙන් පසු සෙසු මන්ත්‍රීවරු සිය අත්සන් යොදති. මෙම අත්සන් ලේඛනය සම්ප්‍රදායානුකූලව ඉතා ආරක්ෂිත ලේඛණයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරකසභා සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවස්ථාව වන විට කථානායකවරයා තේරී පත්ව ආසනයේ රැඳී සිටින බැවින් සියලු දැනුම්දීම් සහ ඡන්ද විමසීම සිදු කරනු ලබන්නේ කථානායකවරයා විසිනි. නියෝජ්‍ය කථානායකවරයා සහ කාරකසභා සභාපතිවරයා සඳහා නාම යෝජනා වීමෙන් අනතුරුව කථානායකවරයා විසින් වෙනත් යෝජනා තිබේදැයි සභාවෙන් විමසනු ලබයි. එසේ නොමැති විටකදී අදාළ යෝජිත මන්ත්‍රීවරයන් ‍තනතුරු සඳහා තේරී පත්වේ. යම් අවස්ථාවකදී ඡන්ද විමසීමක් සිදුකරන්නේ නම් කථානායක තෝරා පත්කරගත් ක්‍රියා පිළිවෙතම අනුගමනය කෙරේ. එහිදී විශේෂත්වය වන්නේ මහ ලේකම්වරිය වෙනුවට කථානායකවරයා එම ඡන්ද විමසීම සිදුකරනු ලැබීමයි.

ඉහත කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබේ. මෙහිදී කල් තබන දිනය වන්නේ බොහෝ විට ඊළඟට එළැඹෙන පාර්ලිමේන්තු දිනයයි.

කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් එදින පාර්ලිමේන්තුව අමතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන්නේ නම් මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා නැවත රැස්වන අවස්ථාවකදී ජනාධිපතිවරයා සභාවේ මුලසුනේ සිට එකී ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින්ම පාර්ලිමේන්තුව ඊළඟ දිනය දක්වා කල් තබනු ‍ලැබේ.

පුවත්

නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන තීරණයක්

Published

on

By

මාලඹේ  නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට විධිමත්ව පවරා ගනිමින් සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් එය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.  

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ‍ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සඳහා පුහුණුව ලබාදීමට අවශ්‍ය පහසුකම් සහ සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.

ඒ සදහා වූ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්වුණි.

මෙම සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගැනීම සඳහා පහුගිය ආණ්ඩු විසින් යෝජනා කර තිබුණත් මේ වන විටත් එම රෝහලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය අවම මට්ටමක පවතින බවය.

“නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට විධිමත්ව පවරා ගෙන වෛද්‍ය කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යොමු කරලා සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරලා සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළත් කණ්ඩායමට භාර දීලා තියෙනවා, ඒ වාර්තාව දෙසැම්බර් වන විට ලැබෙන්න නියමිතයි, ඒ අනුව, නෙවිල් ප්‍රනාන්දු රෝහල විශේෂ මොඩලයක් යටතේ සංවර්ධනය කිරීමටත් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන් සඳහා ආචාර්ය ඒකකය සහිත ශික්ෂණ රෝහලක් බවට නාගොඩ රෝහල සංවර්ධනය කිරිමටත් එකඟතාවයකට පැමිණුනා”

Continue Reading

පුවත්

කෝඩුකාරයින්ට වැඩි දුරක් යන්න බැහැ

Published

on

By

ජාතික ජන බලවේගයේ ඇමැතිවරුන්ගේ අත්දැකීම් විරහිතභාවය හේතුවෙන් ගෝඨාභයගේ ආණ්ඩුවට වඩා ඉක්මනින් වර්තමාන ආණ්ඩුව කඩා වැටීමේ අවධානමක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

වර්තමාන ආණ්ඩුව හිටපු ඇමැති කාංචන විජේසේකරගේ ඉන්ධන මිල සුත්‍රයේ තවමත් එල්ලි සිටින බවත්, ඉන්ධන මිල සුත්‍රය වෙනස් කර ගැනිමට පවා සවිඥාණික දැනුමක් ආණ්ඩුවට නැති බවත් ඔහු සඳහන් කලේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“දිනකට රටේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික්ටොන් 3500 ක් වගේ භාවිතා වෙනවා. භුමි තෙල් මෙට්ට්‍රික්ටොන් 300 ක් වගේ භාවිතා වෙනවා. පෙට්ට්‍රල් මිල රුපියල් 2 කින් අඩු නොකර භුමිතෙල් මිල රුපියල් 20 කින් අඩුකරන්න රජයට තිබුණා. ගොවින්ට, ධීවරයින්ට, කම්කරු ජනතාවට ඒ හරහා විශාල සහනයක් ලැබෙනවා. පෙට්ට්‍රල් මිල රුපියල් 2 කින් අඩුකරලා කිසි කෙනෙක්ට වාසියක් වෙන්නේ නෑ. අවුරුදු 72 ක සාපය විසින් නිර්මාණය කළ සපුගස්කන්ද පිරිපහදුවෙන් තමයි භුමිතෙල් නිෂ්පාදනය කරන්නෙත්.

ඉන්ධන වලින් විශාල කොමිස් මුදල් හිටපු මැති ඇමැතිවරුන්ගේ සාක්කුවලට ගිය බව ජාතික ජනබලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ඒ කොමිස් මුදලවත් අඩුකරන්න දැන් ජාතික ජනබලවේග ආණ්ඩුවට නොහැකිවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය ජනතාවට දුන්න බොරු බොරු පොරොන්දු දැන් එකින් එක ඔප්පු වෙමින් තිබෙනවා.

Continue Reading

පුවත්

මහින්දානන්දට එරෙහි කැරම් බෝඩ් නඩුව යළි කැඳවයි

Published

on

By

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ , ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද යළි විභාගයට ගැනුණි.

ඒ ප්‍රදීප් හෙට්ටිආරච්චි ප්‍රදීප් අබේරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 14,000 ක් බැගින් ආනයනය කොට ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 5 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් ඉදිරිපත් කලේය.

එහිදි ඔහු පැවසුවේ මෙම නඩුවට පාදක වන කැරම්බෝඩ් හා දාම් ලෑලි 14,000 බැගින් ආනයනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් තමන්ට අල්ලස් කොමිසම විසින් චෝදනා හතරක් එල්ල කර ඇති බවය.

මෙම කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කිරීම ස.තො.ස ආයතනය හරහා සිදුවී ඇතැයි සඳහන් කළ හිටපු අමාත්‍යවරයා එම ක්‍රීඩා භාණ්ඩ තොගය ක්‍රීඩා අමාත්‍යංශයේ ගබඩාවලට ලැබී නොමැති බවද කියා සිටියේය.

ඒ අනුව අදාළ ක්‍රීඩා භාණ්ඩ ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත බවත් එම භාණ්ඩ ආනයනය කිරීම සිදුව ඇත්තේ ස.තො.ස සහ ආයතනය හරහා බවත් ඔහු අධිකරණය හමුවේ පැවසීය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් තම පක්ෂය පරාජයට පත් වූ බවත් ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ  මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගීම සඳහා තමන් මුල් වී කටයුතු කළ බවත් ඔහු අධිකරණය හමුවේ පැවසුවේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් රට පුරා පැවැත්වීමට තමන් දායකත්වය ලබා දුන් බැවින් දේශපාලන පළිගැනීමක් වශයෙන් තමන්ට එරෙහිව නඩු හතක් ගොනු කළ බවත් ඉන් නඩු කිහිපයකින්ම තමන් නිදොස් කොට නිදහස් කෙරුණු බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ පැවසීය.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙන්නේ තමන්ව දේශපාලන වශයෙන් පළිගැනීමකට ලක් කිරීමට යැයි සඳහන් කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම චෝදනාවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසයි.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය දෙසැම්බර් මස 19 වනදා දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගනු ලැබීය.

මෙහිදී විත්තියේ නීතිඥවරයා විසින් හිටපු අමාත්‍යවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගතවීමට අවසර ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල දෙසැම්බර් මස 12 වැනිදා සිට 18 වැනිදා දක්වා කාල සීමාව තුළ හිටපු අමාත්‍යවරයාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස් ගතවීමට අවසර ලබා දුන්නේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved