Connect with us

පුවත්

අස්වැසුම දෙවැනි අදියරට අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

Published

on

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත්  සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය.

අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් යොමු කර නොමැති පවුල්වලට  මෙන්ම අයදුම්පත් ඉදිරිපත් කළ නමුත් නිවාස තොරතුරු සංගණනයට ලක් නොවූ ඕනෑම තරාතිරමක පුද්ගලයකුට අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා මෙම අදහස් පළ කර සිටියේ අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (15) පැවති මාධ්‍ය හමුවේදීය.

අස්වැසුම දෙවැනි අදියරේදී පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂිත අතර එහිදී හැකිතාක් සත්‍ය හා නිවැරදි දත්ත ඇතුළත් අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කළ හැකි බව පෙන්වා දුන් ඒ මහතා නිශ්චිත කාල රාමුව තුළ අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ දී අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති  බවද සඳහන් කළේය.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් නොමැති අයදුම්කරුවන්ට කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙන්ම ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කළ හැකි අතර  www.wbb.gov.lk  වෙබ් අඩවිය ඔස්සේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තම අයදුම් පත සම්පූර්ණ කළ හැකි වේ.

මාර්ගගතව අයදුම් කළ නොහැකි පිරිස් සඳහා ආදර්ශ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ සිවිල් සංවිධාන හරහා ලබා ගත හැකිය. මෙම ඉල්ලුම්පත් කිසිසේත්ම මිලදී ගැනීමට අවශ්‍ය නොවේ.

පළමු අදියර සඳහා අයදුම් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් නොලැබූවන්ට මෙන්ම අභියාචනා පරීක්ෂණ සඳහා සහභාගී නොවූවන්ටද තොරතුරු නැවත සනාථ කිරීමට (Recertification) අවස්ථාවක් ඉදිරියේදී ලබා දෙන බව මෙහිදී අවධාරණය කෙරිණි. අස්වැසුම පිළිබඳ වැඩි විස්තර 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබා ගත හැකිය.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සාමාජිකයන් වන එච්. ටී. කේ පත්මසිරි, කුමාර් දුනුසිංහ, කේ. එච්. ජේ මුලර්, ආර්. අනීස්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අතිරේක කොමසාරිස් (මෙහෙයුම්) ආර්. ආර්.ආර්. රාජපක්ෂ, අතිරේක කොමසාරිස් ( මූල්‍ය) ඊ. ඒ. වීරසේන යන මහත්ම මහත්මීහු මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

රාවයේ සමාරම්භක කර්තෘ, ජවිපේ “පොඩි අතුල” මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ විකල්ප ධාරාවේ පුවත්පතක් වු රාවය පුවත්පතේ සමාරම්භක කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිය දිවි ගමන නිම කර තිබේ.

කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගත වී සිටි ඒ මහතා මිය යනවිට 76 වියේ පසුවිය.

වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ⁣ජනවාරි 20 වැනිදා සවස 5ට සිදු කිරීමට නියමිතය.

1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.

මෙරට ගවේශණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගමියෙක් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් හැඳින්වේ.

හෙතෙම දේශපාලන විචාරයකු, සමාජ විශ්ලේශයකු, ග්‍රන්ථ රචයෙකු වැනි කේෂත්‍ර කිහිපයකම කටයුතු කළේය.

ජවිපෙ පොඩි අතුල

කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වු වික්ටර් අයිවන් “පොඩි අතුල” නමින් පක්ෂ විසින් හඳුන්වනු ලැබ තිබේ.

එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ආයුධ සන්නද්ධ කැරැල්ලට සම්බන්ධව වූ වික්ටර් අයිවන්, ඒ කැරැල්ල පිළිබඳව වූ 71 මහ නඩුවේ 7 වැනි විත්තිකරු ය.

අඳ ගොවිතැනේ අභියෝග, 71 කැරැල්ල, දෙමළ අභියෝගය, පන්සලේ විප්ලවය, චෞර රැජිණ සහ දේශපාලනයේ පවුල සහ කුලය යන කෘති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් රචිත කෘති අතරින් කිහිපයක් වේ.

ඔහු කතෘ සංසදයේ ආරම්භක සාමාජිකයෙක් ද වේ.

Continue Reading

පුවත්

ඔට්ටු පොළොවල්වලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දාර පොලු!

Published

on

By

සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මෙම මධ්‍යස්ථානවල මාසික දළ එකතුව මත ගෙවිය යුතු බදු සහ ප්‍රමාදවී සිදුකළ එම බදු ගෙවීම්වලට අදාළ දඩ මුදල් වශයෙන් 2014 සිට මේ දක්වා මෙම හිගබදු මුදල් ප්‍රමාණය අයවිය යුතුව පවතින බව බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මෙම හිගබදු මුදල් සඳහා බදුකරුවන් අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විගණනය වෙත පිළිතුරු ලබා දී ඇත.

කඩිනමින් මෙම හිග මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස විගණන කාර්යාලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබාදී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විගණන කාර්යාලය 2023 වෙනුවෙන් නොබෝදා නිකුත් කළ විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

තද වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදන; වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීම්

Published

on

By

තද වැසි පිළිබඳව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ පවතින ඊසාන දිග මෝසම් තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙනි.

උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 ට වැඩි වැසි ඇති වන බව කාර්යේ නියුතු කාළගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා කියා සිටී.

මේ අතර, මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවය.

මේ හේතුවෙන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved