Connect with us

පුවත්

ආයුධ පෙන්වන්න යද්දී වීඩියෝ කළයුතු බවට නියෝගයක්!

Published

on

පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් ආයුධ පෙන්වීම වැනි විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන යන අවස්ථාවලදී පලා යාමට තැත් කළේ යැයි වෙඩි තබා මරණයට පත් වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් පොලිස්පතිවරයා සකස් කර අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා විසින් ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියක් මත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඊයේ (03) අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී පොලිස්පතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ පොලිස්පතිවරයා අමතා කියා සිටියේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහාත්, පොලිසිය කෙරෙහි පවතින විශ්වාසය ආරක්ෂා කිරීම සඳහාත් අධිකරණය මෙවැනි මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝග නිකුත් කළ බවයි. 

අදාළ මාර්ගෝපදේශ මාලාව සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිය ස්තුතිය පළ කළ විනිසුරුවරයා එය ඵලදායි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා නියෝග නිලධාරීන් වෙත නිකුත් කරන ලෙසත් පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

පොලිස්පතිවරයා විසින් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ මාලාවේ පහත කරුණු සඳහන් වේ.

අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකුගේ ජීවිතය ආරක්ෂා කිරීම පොලිස් නිලධාරින්ගේ ප්‍රමුඛ වගකීමක් විය යුතු අතර ස්වාභාවික අසනීපයක් වැනි අවස්ථාවලදී පවා ඔවුන්ගෙන් තොරතුරු විමසා රෝහල්ගතකර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ යුතුවේ. 

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, ත්‍රස්තවාදී කටයුතු වැනි භයානක අපරාධ සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තැබීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් එම මාර්ගෝපදේශවල සඳහන් වේ.

එවැනි සැකකරුවන් අත්අඩංගුවේ සිටින අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ස්ථානාධිපතිවරු වගබලා ගත යුතු අතර සෑම පැය භාගයකට වරක්ම සැකකරු පිළිබඳව පරීක්ෂාකර උප සේවා නිලධාරියා විසින් ඒ පිළිබඳව සටහන් යෙදිය යුතුවේ. 

එවැනි සැකකරුවකු පිටතට රැගෙන යාමට අවශ්‍ය අවස්ථාවේදී ඒ පිළිබඳව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කර ඊට අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය.

අවශ්‍ය කරුණකදී හැර සැකකරුවන් පිටතට රැගෙන නොයාමට වගබලා ගත යුතු අතර එසේ පිටතට රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව නිශ්චිත සටහන් යෙදිය යුතු බවත් අවි ආයුධ උදුරා ගැනීමට තැත් කිරීමේ සිද්ධීන් හා සැකකරුවන් පැන යාම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගත යුතු අතර එසේ කිරීමට නොහැකි වන පරිදි අදාළ සැකකරු සුදුසු වාහනයක් තුළ සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමටද වග බලා ගත යුතු බවත් එහි සඳහන් වේ.

ගිනි අවි සහ අත්බෝම්බ සඟවා ඇති ස්ථානවලට සැකකරුවන් රැගෙන යන අවස්ථාවලදී අත් විලංගු ලා රැගෙන යාමට නිලධාරින් වගබලා ගත යුතු අතර සැකකරුගේ මගපෙන්වීම මත නිලධාරින් විසින් අදාළ සෝදිසිය සහ පරික්ෂාව සැකකරු ඉදිරියේ සිදු කළ යුතු බව අදාළ මාර්ග උපදේශවල සඳහන් කර ඇත. 

එවැනි සෑම අවස්ථාවකදීම වීඩියෝගත කිරීමට නිලධාරින් වගබලා ගත යුතු අතර එවැනි වීඩියෝ දර්ශන සැකකරුවකුට එරෙහිව සාක්ෂියක් වශයෙන්ද යොදා ගැනීමට හැකියාව පවතින අතර යම් සිදුවීමක් ඇති වුණ හොත් එහි විනිවිද භාවය ආරක්ෂා කිරීමටත් එය වැදගත් වන බවත් අදාළ මාර්ගෝපදේශවලින් පෙන්වා දී තිබේ.

කිසිදු අවස්ථාවක සැකකරුවකු කායිකව හෝ මානසිකව වධහිංසනයට භාජනය නොවීමට වගබලා ගත යුතු අතර පාපොච්චාරණයන් ලබා ගැනීම සඳහා තර්ජනය කිරීම, පෙලඹවීම් හා පොරොන්දු ලබා දීම වැනි ක්‍රියා නොකිරීමට වග බලා ගත යුතුය. සැකකරුගේ ළඟම ඥාතීන්ට හා නීතිඥවරයාට අවශ්‍ය අවස්ථාවලදී ඔහු හමුවීමට ප්‍රවේශය ලබා දීමට කටයුතු කළ යුතු බව එහි සඳහන් වේ.

එමෙන්ම පොලිස් විමර්ශනවලට බාධා නොවන පරිදි ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උපරිම සහාය ලබා දිය යුතු බවත් එම මාර්ගෝපදේශවල වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඊට අමතරව අත්අඩංගුවට පත් සැකකරුවකු මියගිය අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයද අදාළ මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත් කර තිබේ.

ඒ අනුව අත්අඩංගුවේදී යම් පුද්ගලයකු මියගිය අවස්ථාවක ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කළ යුතු බව එහි සඳහන් වේ. 

පොලිස් අත්අඩංගුවේදී සැකකරුවකු මියගිය අවස්ථාවක ඊට අදාළ විමර්ශනය අවස්ථානුකූලව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, පළාත භාර නියෝජ්‍ය පොලිස්පති හෝ කොට්ඨාසය භාර අධික්ෂණ නිලධාරියාගේ අධීක්ෂණය යටතේ විමර්ශනය සිදු කළ යුතුය.

එවැනි විමර්ශනයක් සිද්ධිය වූ පොලිස් ස්ථානයෙන් පරිබාහිර වෙනත් පොලිස් ස්ථානයක නිලධාරින් යොදවා සිදුකළ යුතු අතර මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුගේ ළඟම ඥාතීන්ගෙන් හා බාහිර පාර්ශ්වයන්ගෙන් හැකිතාක් ස්වාධීනව සාක්ෂි සටහන් කරගැනීම වැදගත් වන බවත් එම මාර්ගෝපදේශ තුළින් අවධාරණය කර තිබේ.

එවැනි සිදුවීමකදී යම් නිලධාරියකුගේ රාජකාරිය පැහැර හැරීමක් වැනි කරුණක් අනාවරණය වූවොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කළ යුතු අතර එවැනි අවස්ථාවක අදාළ සිද්ධිය පිළිබඳව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරු තමන් යටතේ තිබෙන විශේෂ විමර්ශන ඒකකය මගින් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතුය.

සිද්ධියේ සංකීර්ණභාවය මත අදාළ විමර්ශනය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ යුතු බවට පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තීරණය කරන අවස්ථාවක අදාළ විමර්ශනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශයද සහිතව පොලිස්පතිවරයා වෙත යොමු කළ යුතු බවත් එහි සඳහන් වේ.

මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිටතට විමර්ශන කටයුතු සඳහා රැගෙන යාමේදී මෙම උපදෙස් මාලාව අනුව කටයුතු කිරීමට නිලධාරින් වගබලා ගත යුතු බවත් මෙම උපදෙස්වලට පටහැනිව යම් නිලධාරියකු කටයුතු කර ඇති බවට අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට නිකුත් කර තිබෙන මෙම මාර්ගෝපදේශ මාලාව තුළන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

2008 වසරේ කොම්පඤ්ඤ වීදිය පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේදී පලා යාමට තැත් කළේ යැයි වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි සිදුවීම් අනාගතයේ දී ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගඋපදේශ මාලාවක් සකස් කර මාර්තු මස 24 වනදා අධිකරණය හමුවේ ගොනුකරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි. 

එහෙත් අදාළ පෙත්සම මාර්තු මස 24 වැනිදා කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ මාර්ගෝපදේශ මාලාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

ඒ අනුව අදාළ මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එදින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබිණි.

ඒ අනුව පොලිස්පතිවරයා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටිමින් අදාළ මාර්ගඋපදේශ මාලාව අධිකරණයට භාරදී ඇති බව දැනුම් දුන්නේය.

මූගාශ්‍රය – අරුණ

පුවත්

ව්‍යවස්ථාදායක සභාවේ ලේකම් තනතුරට ඇඩ් එකක් දාන්න යයි

Published

on

By

පුරප්පාඩු වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර පිරවීම සඳහා පුවත්පත් දැන්වීමක් පළකිරීමට එම සභාව තීරණය කර ඇතැයි වාර්කා වේ.
මේ අතර, “ලංකාදීප” පුවත්පත වාර්තා කර ඇත්තේ එම ධූරයට 

විශ්‍රාමික විනිසුරුවරයකු පත් කිරීම කෙරෙහි එම සභාවේ අවධානය යොමුවී ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට මෙතෙක් පත් කෙරුණේ සේවයේ  සිටින පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා බවද එහි දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා පසුගියදා හදිසියේම එම තනතුරින් ඉල්ලා අස්විය. 

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය  බාර දෙමින් පැවසුවේ පෞද්ගලික හේතු මත තනතුරින් ඉවත් වන බවයි.

ධම්මික දස නායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේදී විශ්‍රාම ලැබීමෙන් පසු ඔහුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට පත්කෙරිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවමෙරට පරිපාලන ව්‍යුහයේ වැදගත් තීරණාත්මක ආයතනයක් ලෙස සැලකේ. 

නීතිපති, පොලිස්පති, ඉහළ උසාවිවල විනිසුරුවරුන් යනාදීන්  පත් කිරීම අනුමත කරනු ලබන්නේ මෙම සභාවෙනි.

Continue Reading

පුවත්

යුද ජයග්‍රහණයට අදට වසර 18යි

Published

on

By

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතව තිබේ.

මේ අතර දේශප්‍රේමී ජාතික පෙරමුණ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීමක් කළේ ජාතික රණවිරු දින සැමරුමට සමගාමීව අද දිනයේ සෑම නිවසකම ජාතික කොඩියක් එසවීමට පියවර ගන්නා ලෙසයි.

Continue Reading

පුවත්

තුසිත, හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ CCDයට බාරදෙයි

Published

on

By

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ සිද්ධියේ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී  ඇති බව පොලීසිය පවසයි.

කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී ඊයේ (17) රාත්‍රියේ මෙම වෙඩි තැබීමක් සිදුකර තිබිණි.

රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් එහි ගමන් කළ තුසිත හල්ලොලුව මහතාට හෝ ඔහුගේ නීතිඥවරයාට කිසිඳු හානියක් සිදුව නොතිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් පහරදීමක්ද සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ තුසිත හල්ලොලුව මහතා රෝහල්ගත කර ඇති බවය.

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.

වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved