Connect with us

පුවත්

ආර්ථික වර්ධනය උදා කරගන්න ලංකාව ලොවට විවෘත විය යුතුයි – ජනපති (ඡායා)

Published

on

ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දැඩි තරඟකාරී ආර්ථික රටාවකට ලංකාව නතු කිරිම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා හරිත හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (13) පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වූ අතර,  ජනාධිපතිවරයා එම ව්‍යාපාරික ප්‍රජාව  සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කරා යන ගමනේදී ඉන්දියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට අපේක්ෂා කරන බවත්, ඉන්දීය ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා  මෝදි අගමැතිවරයා ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය මෙරට ආර්ථිකයේ දියුණුවට පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ සබඳතා ආරම්භ වුයේ මීට වසර හත්සීයකට පමණ පෙරයි. කේරළයේ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ  ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඉතිහාසයක් අපට තිබෙනවා. කේරළයේ ජනතාව මෙරටට පැමිණ ව්‍යාපාර ආරම්භ කිරීමත් සමග නවගමුවේ පත්තිනි දේවාලය ආරම්භ වූ බව ද ඉතිහාසයේ සඳහන් වෙනවා. 

මේ වන විට ඉන්දියාව ආසියානු කලාපයේ ප්‍රබල රටක් ලෙස බලය තහවුරු කරගෙන තිබෙනවා. නමුත් බටහිර ආසියානු රටවල් ද ප්‍රබල තත්ත්වයට පත් වී තිබීමත් විශේෂත්වයක්.  ඉන්දියාව වැනි ප්‍රබල රටක් සමග ව්‍යාපාර සබඳතා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කරගත හැකියි.  ඉන්දියාවේ මෝදි අගමැතිවරයා  ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය නිසා ඉන්දියාවට ආර්ථිකමය වශයෙන්  ඉදිරියටම ඒමට හැකි වී තිබෙනවා . එම මූල්‍ය ප්‍රතිපත්ති ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි දැක්මටත් මනා පිටිවහලක් වෙනවා. 
මට අවශ්‍ය වන්නේ, ශ්‍රී ලංකාව දැඩි තරගකාරී ආර්ථික රටාවකට නතු කිරීමටයි. හරිත ආර්ථිකයක් හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ශක්තිමත් තලයකට ඔසවා තැබීමට හැකියාව තිබෙනවා.  ඒ සඳහා  නීතිරීති අවශ්‍යයි. තරගකාරී , හරිත, ඩිජිටල් ආර්ථිකයක් සඳහා  අවශ්‍ය  නීති ප්‍රතිසංස්කරණය කිරීමට  ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් ඉන්දියාව සමග සමීප සබඳතා පැවැත්විය යුතුයි. ලංකාවේ ආර්ථික අරමුණු සහ ඉලක්ක ජය ගැනීමට දෙරටේ සහයෝගීතාවය ඉතා වැදගත්.  දෙරට අතර නව ගිවිසුම් ඇතිකර ගැනීමේ හැකියාව සොයා බලා අදාළ අංශ ඒ සඳහා යොමු කළ යුතුයි.
ඉන්දියාවේ රුපියල ශ්‍රී ලංකාවේ සංසරණය වීම පිළිබඳව මෙහිදී කතා වුණා. ඉන්දියාවේ රුපියල පමණක් නොවෙයි, ඩොලර් පවා සංසරණය වෙනවා නම් මෙරට ආර්ථිකයට එය  ඉතාම වැදගත් වෙනවා. ඉන්දියානු රුපියල ලංකාවේ සංසරණය වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට අප ඉදිරියේ දී කටයුතු කරනවා.  රටක් දියුණු වීමට නම් ලෝකයට  විවෘත විය යුතුයි. ඊට අදාළ කඩිනම් නීති ප්‍රතිසංස්කරණ ගෙන එන බව මම කියන්න කැමතියි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා :

ඉන්දියාවේ ජනතාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආරම්භ කර දිගු කලක් ගත වෙනවා. මෙම  ව්‍යාපාර ආරම්භ කිරීම මගින් දෙරට අතර මිත්‍රත්වයේ පාලමක් ඇති කර ගැනීමට හැකිවී තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ ජනතාවට සෞභාග්‍යමත් ලෙස බලපානු ඇතැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ  ජනතාව පීඩාවට පත්වන සෑම අවස්ථාවකදී ම ඉන්දියාව එම ජනතාවත් සමග සිටියා . පසුගිය වසරේ පැවැති මූල්‍ය අර්බුදයේ දී ඉන්දියා රජය ප්‍රමඛ ව්‍යාපාරික ප්‍රජාව ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් උදව් උපකාර ලබා දුන්නා. මේ වන විට ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයෙන්  ගොඩ එමින් තිබෙන බව කිව යුතුයි.  මූල්‍ය  අර්බුදය අවස්ථාවේදීත් ඉන්දියානු ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය යහපත් බවට ලොවට පණිවිඩයක් ලබා දීමට කටයුතු කළා.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කරන ඉන්දියානු ව්‍යාපාරිකයන්ට පසුගිය වසර 40 පුරාම මෙරට පැවති රජයන්හි සහයෝගය හිමි වු  සිහිපත් කළ යුතුයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ ආකාරයටම සහයෝගය  ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මෙන්ම භෞතික වශයෙන් සංවර්ධනය කිරීමට ඉන්දියානු රජය සහ ව්‍යාපාරික  ප්‍රජාවගේ  සහයෝගය ලබා දෙන බව මෙහිදී සිහිපත් කරනවා.එය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන පොරොන්දුවක් බව කිවයුතුයි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද වරාය, නාවික හා ගුවන් සේවා  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩනමන්, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන   මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved