එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) මගින් අරමුදල් සම්පාදනය කරන ලද මැක් ගවර්න් ඩෝල් (McGovern-Dole) ජාත්‍යන්තර අධ්‍යාපනය සහ ළමා පෝෂණය සඳහා වන ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කිරීම සඳහා එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය අද (30) දිනයේදී කොළඹ,මහරගම බුවනෙකබා ප්‍රාථමික විද්‍යාලයට ගොස් තිබුණි.
මෙම වැඩසටහන මේ මාසයේ කොළඹ ප්‍රදේශයේ පාසල් අතර ව්‍යාප්ත කරන ලදී.චන්ග් තානාපති තුමිය ඇයගේ සංචාරය අතරතුර,සිසුන්,ගුරුවරුන්,දෙමාපියන් සහ පාසල් ආහාර සපයන්නන් හමු වූ අතර මෙම වැඩසටහන දරුවන්ගේ සෞඛ්‍යයට සහ අධ්‍යයන සාර්ථකත්වයට ධනාත්මක ලෙස බලපාන ආකාරය පිලිබඳව එහිදී ඔව්හු අදහස් හුවමාරු කර ගත්හ.
චන්ග් තානාපති තුමිය සඳහන් කළේ, “අද වැනි උදෑසනක මහරගම පිහිටි ඔබේ පාසලට පැමිණිමට ලැබීම මට මහත් ගෞරවයකි. උදෑසන ආහාර වේලෙහි සිට පන්ති කාමර ක්‍රියාකාරකම් දක්වා,උනන්දුවෙන් ඉගෙන ගන්නා සිසුන්ගේ සිනහව සහ උද්‍යෝගිමත් ගුරුවරුන්ගේ කැපවීම දැකීම හදවතට සතුටක් ගෙන දෙනවා. පෝෂ්‍යදායී ආහාර සැපයීම පමණක් නොව වඩා හොඳ ඉගෙනුම් පරිසරයක් ද නිර්මාණය කරන ප්‍රයත්නයන්ට සහයෝගය දැක්වීමට හැකි වීම ගැන එක්සත් ජනපදය ආඩම්බර වෙනවා. මෙම ආයෝජනය,කොළඹ නාගරික පාසල්වල දරුවන්ට සහ ප්‍රජාවන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමේ අරමුණ පෙරදැරිව ක්‍රියා කරනවා. එක්ව වැඩ කිරීමෙන් සහ මෙම සිසුන්ගේ අවශ්‍යතා සඳහා ආයෝජනය කරමින්, ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමටත්,ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් ගොඩනැගීමටත් අපි ඔවුන්ව සවිබල ගන්වමු.”
සේව් ද චිල්ඩ්රන් (Save The Children ) විසින් ක්‍රියාත්මක කරන ලද එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙහි (USDA) අධ්‍යාපනය සහ ළමා පෝෂණය සඳහා වන ආහාර වැඩසටහන (PALAMA II ව්‍යාපෘතිය),පාසල් දරුවන්ගේ ක්ෂණික කුසගින්න අවම කිරීම සහ අවදානමට ලක්විය හැකි නාගරික ප්‍රදේශවල අධ්‍යාපන ප්‍රතිඵල වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම ප්‍රයත්නය, දිනපතා පාසල් ආහාර සැපයීම, ගුරුවරුන් පුහුණු කිරීම, සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රාදේශීය ප්‍රජාවන්ට සිය දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම සහ අධ්‍යයන කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා සහාය වේ.
මෙම වැඩසටහන පසුගිය වසර හය තුළ ශ්‍රී ලංකාව පුරා වෙනත් පළාත් හතක ක්‍රියාත්මක වූ අතර, කොළඹට ව්‍යාප්ත කිරීම අළුතින් සිදු විය. පාසැල් හැර යාමේ ඉහළ අනුපාතයක් පවතින නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභී දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙය නිර්මාණය කර ඇත. PALAM/A II වැඩසටහන ජාතික පාසල් ආහාර වැඩසටහනට අතිරේකව කොළඹ පුරා පිහිටි පාසල් 44ක ප්‍රාථමික අංශවල සිසුන් 16,231 දෙනෙකුට දෛනික ආහාර සැපයීමෙන්, මෙම දරුවන්ට ඉගෙනීමට සහ දියුණු වීමට අවශ්‍ය පෝෂණය සහතික කරනු ලබයි.
2018 වසරේ සිට එක්සත් ජනපදය මැක් ගවර්න් ඩෝල් McGovern-Dole වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ළමා සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 60 ක දායකත්වයක් ලබා දී ඇත. බදුල්ල, කොළඹ, කිලිනොච්චිය, මොණරාගල, මුලතිව්, නුවරඑළිය, රත්නපුර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක අටට එක්සත් ජනපදයෙන් පරිත්‍යාග කරන ලද භාණ්ඩ මෙට්‍රික් ටොන් 10,260 (MT) ට වැඩි ප්‍රමාණයක් සහ දේශීයව නිෂ්පාදනය කරන ලද සහල් සහ ටින් මාළු මෙට්‍රික් ටොන් 1,820ක් බෙදා හැරීම මෙම ආධාරයට ඇතුළත් වේ.2024 ඔක්තෝම්බර් සහ 2028 අතර කාල සීමාව තුලදී , PALAM/A II වැඩසටහන වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින්, ශ්‍රීලංකාව පුරා ප්‍රාථමික පාසල් 917 ක පාසල් වයසේ ළමුන් 199,136 ක් සහ ශ්‍රී ලංකාව පුරා මුල් ළමාවිය සංවර්ධන (ECD) මධ්‍යස්ථාන 500 ක ළමුන් 23,200 ක් වෙත ළඟා වනු ඇත.