Connect with us

පුවත්

ඇමෙරිකානු ඉන්දු-පැසිෆික් විධානයේ අණදෙන නිලධාරියා මෙරටට

Published

on

එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මහතා මාර්තු 19-21 දිනවල කොළඹට පැමිණෙන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි.   

ඔහුගේ සංචාරය අතරතුර, අද්මිරාල් පපාරෝ, ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හමුදා නායකයින් සමඟ සම්බන්ධ වී ඉන්දු-පැසිෆික් කලාපයේ දිගුකාලීනව පවතින එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක හවුල්කාරිත්වය නැවත තහවුරු කිරීමටත්, ඉන්දු-පැසිෆික් කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා වන එක්සත් ජනපද දැක්ම බෙදා ගැනීමටත් කටයුතු කරනු ඇතැයි ද එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

පපාරෝ අණදෙන නිලධාරි තුමාගේ සංචාරය, ශ්‍රී ලංකාව සමඟ ඇති ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට සහ ඉන්දු-පැසිෆික් කලාපයේ පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා වන එක්සත් ජනපදයේ අඛණ්ඩ කැපවීම අවධාරණය කරන බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

පෙන්සිල්වේනියාවේ මෝර්ටන් හි උපත උපත ලැබූ අද්මිරාල් සෑම් පපාරෝ, විලනෝවා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා 1987 දී අධිකාරලත් නිළයකට පත් විය. ඔහු හිටපු මැරීන් නාවික හමුදා සෙබලෙකුගේ පුත්‍රයා වන අතර දෙවන ලෝක යුද්ධයට බඳවා ගත් නාවිකයෙකුගේ මුනුපුරා ද වේ.  

ඔහු ඕල්ඩ් ඩොමීනියන් විශ්ව විද්‍යාලයෙන් (Old Dominion University) ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ නාවික පශ්චාත් උපාධි පාසලෙන් පද්ධති විශ්ලේෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.  එක්සත් ජනපද නාවික ගුවන් නියමුවෙකු වන ඔහු TOPGUN පාඨමාලාවේ උපාධිධාරියෙකු වන අතර, F-14, F-15 සහ F/A-18 යානාවන්හි පැය 6,000 කට අධික පියාසර කාලයක් සමග වාහක මත ගොඩබෑම් 1,100 ද සිදු කර තිබේ.

මුහුදු මෙහෙයුම් අණදෙන චාරිකා අතරට ජපානයේ යොකොසුකා හි ඉදිරි පෙළ නාවික බළකායේ ස්ට්‍රයික් ෆයිටර් බලඝණයේ  (VFA )195 ට අනුයුක්තව කටයුතු කිරීම, Kitty Hawk Strike Group වෙත අනුයුක්තව: අණ  දෙන නිලධාරි, Carrier Air Wing 7, Dwight D. Eisenhower Strike Group හි කටයුතු කිරීම  සහ Carrier Strike Group Ten හි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කිරීම  ඇතුළත්  වේ.   ගොඩ බිමේදී ඔහු 3 වන බලසේනාව, 10 වන කඳුකර සේනාංකය සහ 173 වන ගුවන් විහිදුම් බළකාය සමඟ ඇෆ්ගනිස්ථානයේ නුරිස්තාන් පළාතේ පළාත් ප්‍රතිසංස්කරණ කණ්ඩායමට අණ දුන්නේය.  මුහුදේ අනෙකුත් මෙහෙයුම් කටයුතු වලට අදාළව,  සංග්‍රාමික බළකා  (VF) 14 යටතේ ,USS John F. Kennedy සහ USS Dwight D. Eisenhower Strike Groups සහ VFA-15 සමඟ F-14 Tomcat යානා පියාසර කරවීම,USS Theodore Roosevelt සහ USS Enterprise Strike Group සමග F/A-18 Hornet යානා  පියාසර කරවීම ඔහු විසින් සිදු කොට ඇත.  තවද ඔහු සෞදි අරාබිය සහ අයිස්ලන්තයේ කෙෆ්ලාවික් වෙත අනුයුක්තව 71 වැනි ප්‍රහාරක බලඝණය සමඟ F-15C ඊගල් යානා පියාසර කරවමින් එක්සත් ජනපද ගුවන් හමුදාව සමඟ හුවමාරු සේවා පදනම යටතේ රාජකාරිද සිදු  කළේය.  ඒකාබද්ධ මෙහෙයුම් සේවයේ දී, ඔහු කටාර් Al Udeid හි ඒකාබද්ධ ගුවන් හා අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සංග්‍රාමික අධ්‍යක්ෂවරයා විය.

වෙරළාරක්ෂක කටයුතුවලදී ඔහු නාවික ගුවන් හමුදා අණදෙන නිලධාරී කාර්යාලයේ F/A-18 යානා පුහුණු කිරීමේ, සුදානම් කිරීමේ සහ අදාළ අවශ්‍යතා සදහා වූ කාර්ය මණ්ඩල නිලධාරියෙකු ලෙස කටයුතු කළේය.  ඔහු VFA-106 හි අණදෙන නිලධාරියා ලෙස සේවය කළ අතර නාවික මෙහෙයුම් ප්‍රධානියාගේ කාර්ය මණ්ඩලයේ OPNAV N80 ශාඛා ප්‍රධානියා ලෙසද සේවය කළේය.  ඔහු විධායක සහකාර ලෙස එක්සත් ජනපද නාවික බළ ඇණියේ අණදෙන නිලධාරිවරයාටද, ඉන් අනතුරුව 31 වන නාවික මෙහෙයුම් ප්‍රධානියාටද සේවය කළේය. 

ඔහු එක්සත් ජනපද මධ්‍යම විධානයේ J3 හි මෙහෙයුම් අධ්‍යක්ෂවරයාද විය. ඔහු එක්සත් ජනපද නාවික හමුදා මධ්‍යම විධානයේ /එක්සත් ජනපද 5 වැනි බළ ඇණියේ /ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ අණදෙන නිලධාරිවරයා වශයෙන්ද කටයුතු කළේය.   ඔහු මෑත කාලීනව ලැබූ නවතම පත්වීම වනුයේ 2021 මැයි සිට 2024 අප්‍රේල් දක්වා එක්සත් ජනපද පැසිෆික් බළකායේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කිරීමයි.

පපාරෝ මහතා 2024 මැයි මාසයේදී එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් බළකායේ අණදෙන නිලධාරියා ලෙස රාජකාරි භාර ගත්තේය.  ඔහු ජාතියේ පැරණිතම සහ විශාලතම සටන් විධානයේ 27 වන අණදෙන නිලධාරියා වේ.  USINDOPACOM බළකායට සොල්දාදුවන්, නාවිකයින්, නාවික භටයන් (Marines), ගුවන් භටයින්, ආරක්ෂකයින්, වෙරළාරක්ෂකයින් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් වැසියන්ද ඇතුළු 380,000 ක්  ඇතුළත් වන අතර  ජාතීන් 36 ක් සහ වේලා කලාප 14 ක් සහිත ලෝක ජනගහනයෙන් සියයට 60 ක් ආවරණය වන පරිදි ඉන්දු-පැසිෆික් කලාපයේ සියලුම එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් සඳහා  වගකීම දරනු ලබයි.

පුවත්

පුද්ගලයින් 4කට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක්

Published

on

By

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ සම කැඳවුම්කරු ඇතුළු පිරිසකට අද (27) කොළඹ රෝහල් චතුරස්‍රය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුල් වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.

එසේ නියෝග නිකුත් කර ඇත්තේ සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරි එකමුතුවේ සම කැඳවුම්කරු එම්.එන්.එම් නුස්ට්‍රි එම එකමුතුවේ ලේකම් නදුන් දශරික හේවාපතිරණ,අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති එකාබද්ද බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් යන අයට එරෙහිවය.

ඒ අනුව අද උදෑසන 8 සිට පස්වරු 4 දක්වා මරදාන පොලිස් වසමේ රෝහල් චතුරස්‍රයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන අයුරින් ඩීන්ස් පාර, ද සේරම් පාර, කිංසි පාර සහ රීජන්ට් වීදීයේ පදික වේදිකා අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ පෙළපාලි තහනම් කර තිබේ.

එමෙන්ම සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය පවත්වනු ලබන විභාග මධ්‍යස්ථාන වන ප්‍රාථමික හෙද විදුහල සහ කොළඹ හෙද විදුහල යන ස්ථාන ඉදිරිපිට රැඳී සිටීම ද තහනම් කරමින් මෙම ආඥ්‍රාව නිකුත් කර ඇති බව සඳහන්ය.

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය අද (27) පැවැත්වීමට නියමිත අතර මෙම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට ඊට සහභාගී නොවන ලෙසට බලපෑම් කිරීම සඳහා විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කිරීමට යන බවට මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරක් මත මෙම උසාවි නියෝගය ලබාගෙන තිබේ.

ඒ අනුව අද උදෑසන 10ට මධ්‍යස්ථාන 4කදී මෙම විභාගය පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ විභාග ශාඛාව මගින් මෙම විභාගය පවත්වනු ලබන අතර පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල, කොළඹ හෙද විදුහල, කදාන හෙද විදුහල සහ කාසල් වීදීයේ කාන්තා රෝහල යන ස්ථානවල පිහිටි විභාග මධ්‍යස්ථානවලදී මෙම විභාගය පැවැත්වීමට නියමිතය.

සියලු අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

වෛද්‍ය රසායනාගාර, කාර්මික විද්‍යාඥ හා භෞතික චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම පිණිස මෙම විභාගය පැවැත්වෙයි.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

පුවත්

ඩොලරයත් එක්ක විදෙස් ණයත් නගලා

Published

on

By

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය දිගින් දිගටම ඉහළ යමින් රුපියල බාල්දු වීම නිසා ආනයනික භාණ්ඩ මිල ඉහළ යාම සහ විදේශ ණය වර්ධනය වීමේ ප්‍රවණතාවක් හටගෙන ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

2025 ජනවාරි 1 වැනිදා වන විට ඩොලරයක ගැනුම් මිල වශයෙන් සටහන් වූයේ රුපියල් 289/- කි. 

එදින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 297/- කි. එහෙත් ඉන් මාස හතරක් ඇවෑමෙන් මෙම මස 23 වැනිදා වන විට ඩොලරයක ගැනුම් මිල රුපියල් 295/- ක් බවට පත් විය. 

එදින විකුණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 304/- කි. මාස හතරක් තුළ රුපියල් පහකින් පමණ රුපියල අවප්‍රමාණය වී තිබේ.

මෙහි අහිතකර බලපෑම වැඩිපුර එල්ල වන්නේ අපේ විදේශීය ණය කෙරෙහිය. 

රුපියල බාල්දු වීමත් සමඟ ඊට සාපේක්ෂව විදේශීය ණය ප්‍රමාණය ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් පීඩාවට පත් කරයි. 

එසේම රත්රන් ඇතුළු බොහෝ වටිනා ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ නගියි.

වාර්තා වන ආකාරයට දැනට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 35 ක් පමණය. 

දැනට සිදුවන අවප්‍රමාණයේ හැටියට ඩොලරය රුපියලකින් අවප්‍රමාණය වන විට විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 35කින් ඉහළ නගින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි බදු ප්‍රතිපත්තිය ලිහිල්නො කළහොත් මෙම තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved