Connect with us

පුවත්

ඇමෙරිකානු තානාපතිනිය හා කථානායක අතර හමුවක් (ඡායා)

Published

on

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි – ජූලි චන්ග් මහත්මිය පසුගිය 24දා පාර්ලිමේන්තුවේ දී  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. 

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද  ද එක්ව සිටියාය.
මෙම හමුවේදී පළමුව ඇමෙරිකානු තානාපතිවරිය විසින් කථානායකතුමාට සිය සුබ පැතුම් එක් කළාය. එමෙන්ම කථානායකවරයාද ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් පිරිනැමුවේය.

දසවන පාර්ලිමේන්තුව  සඳහා  ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය  පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව සිය සතුට පලකළ ඇය, එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් වනු ඇති අවධාරණය කළාය.

COVID-19 වසංගතය සහ මෑත කාලීන ආර්ථික අභියෝග ඇතුළු තීරණාත්මක අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම මෙරට පාර්ලිමේන්තුව සඳහා  ඇමරිකානු රජය විසින්  ලබාදී ඇති අඛණ්ඩ සහයෝගය පිළිබඳව ප්‍රසාදය පළ කළ කථානායකවරයා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද  අවධාරණය කළේය.

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර හුවමාරුකරගත්  ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳව ඇමරිකානු තානාපතිවරිය සිහිපත් කළාය. දෙරට අතර සහයෝගීතාව  හරහා විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය වැනි මුලපිරීම් ඔස්සේ විනිවිදභාවය, වගවීම සහ පාලනය තුළ පුරවැසි සහභාගීත්වය වර්ධනය කිරීමට ඇති හැකියාව  ද ඇය අවධාරණය කළාය. එමෙන්ම  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනයේ කැපී පෙනෙන වර්ධනය පිළිබඳව ඇමෙරිකානු තානාපතිවරිය සිය ප්‍රශංසාව පළකළ  අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට එක්සත් ජනපදයේ සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවද වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවාය.

දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරත් වර්ධනය කරගැනීම, ආයතනික හැකියාවන් වැඩි දියුණු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සඳහා අත්දැකීම් හුවමාරු කර ගැනීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

පුවත්

කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

Published

on

By

ඉන්දීය රජයේ ආධාර යටතේ  පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ එම පාසලේ ඉදිරි වැඩකටයුතු  පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පෙබරවාරි 14වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

කලාපයේ සියලු ජාතීන්, ආගම් නියෝජනය වන පරිදි සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ පහසුව අරමුණු කරගනිමින් ගොඩනැගෙමින් පැවති මෙම පාසලේ ඉදිකිරීම් කටයුතු  වසර කිහිපයක සිට මන්දගාමීව සිදුවීම සම්බන්ධව මෙහි දී අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු විය.

ඉන්දියන් රජයේ අරමුදල් යටතේ ඉදිවෙන ඉදිරිපස ගොඩනැගිල්ල 75% වැඩ අවසන් අතර, එහි ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 150 ක් පමණ වැය වන බවත්, දෙවන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රජයේ මුදලින් ඉදිකෙරෙන අතර එහි වැඩ 40% ක් අවසන් බවත්, ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 400 පමණ මුදලක් අවශ්‍ය බවත් ඉදිකිරීම් සමාගම විසින් පෙන්වා දෙන ලදි.

පාසල ආරම්භ වූ පසු එකවර සිසුන් 1600 ක් සඳහා අධ්‍යාපන කටයුතු වල නියැලීමේ පහසුකම් මෙහි ඇති අතර, විශේෂ අධ්‍යාපන ඒකක,  භාෂා පංති කාමර, e-learning පංති කාමර, නේවාසිකාගාර, පරිපාලන ගොඩනැගිල්ල, විද්‍යාගාර පහසුකම් සනීපාරක්ෂක පහසුකම් මෙන්ම ගුරු නිල නිවාස ඇතුළත්වන පරිදි පාසල නිර්මාණය කිරීමට සැළසුම් කර ඇති බව ඉදිකිරීම් සමාගමේ ඉන්ජිනේරුවන් විසින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය.

මෙම සම්පත් විනාශ වීමට ඉඩ නොහැර  දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගොඩනැගීමට අවශ්‍ය  යෝජනා හා සැලසුම් කඩිනමින් ඉරිදිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් බලධාරින් වෙත දැනුම් දෙන ලදී.

නිරීක්ෂණ කටයුතු සඳහා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධ විය.

Continue Reading

පුවත්

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නතර කරන්න හේතුව

Published

on

By

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම අධිවේගී මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු මෙම වසරේදී ආරම්භ නොකිරීමට තීරණය කර ඇති අතර මෙවර අයවැයෙන් ද ඊට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමක් සිදුකර නොමැති බවය.

රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට හොරණ, ඉංගිරිය හරහා රත්නපුර දක්වා ඉදිකිරීමට යෝජිතව තිබුණි.

කෙසේවෙතත්, වත්මන් ආණ්ඩුව විසින් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව සංවර්ධන කටයුතු සහ නව ඉදිකිරීම් කටයුතු සිදුකරන බැවින් මෙම ව්‍යාපෘතිය තාවකාලික අත්හිටවූ බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

ඒ, අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලගෙදර අතර කොටස සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් ඉදිකිරීම් ඇරඹීමට රජය මේ වනවිට සැලසුම් කර තිබේ.

පොතුහැර – රඹුක්කන කොටසත්, රඹුක්කන – ගලගෙදර කොටසත් ලෙස කොටස් දෙකකට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනු ලබයි.

එහිදී පොතුහැර – රඹුක්කන කොටසේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට බලාපොරොත්තුවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රඹුක්කන – ගලගෙදර කොටස වසර 3ක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තුවන බවද පැවසුවේය.

මේ අතර, දැනට දීර්ඝ කාලයක සිට ඉදිකිරීම් කටයුතු අතරමග නවතා ඇති කඩවත – මීරිගම කොටසේ වැඩ කටයුතු චීන ආධාර යටතේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා චීන එක්සිම් බැංකුවේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

මේ අතර, මේ වනවිට කඩවත – මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අතරතුර කඩාවැටුණු කොටසක් රුපියල් බිලියන 7ක මුදලකින් සිදුකරන බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

කොළඹ මහ නගර සභාව ප්‍රතිව්‍යුහගතකරණයට

Published

on

By

කොළඹ මහ නගර සභාව ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව, ඉදිරි අය වැයෙන් පසු මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ආරම්භ කරන බව ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අය වැයෙන් ප්‍රතිපූරණය කර ඇති බව ද නාගරික කොමසාරිස්වරයා කියා සිටියේය.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නගර සභාවට අයත් ක්‍රීඩා පිටි වෙන් කරවා ගැනීම, ප්‍රදේශයේ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ජීවත්වන පවුල් සංඛ්‍යාවට පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැනි ක්‍රමවේදයක් මෙම වැඩපිළිවෙල හරහා හඳුන්වා දීමට කටයුතු කරන බව ද පාලිත නානායක්කාර මහතා තවදුරටත් පැවසුවේය.

කොළඹ මහ නගර සභාවේ මානව සංවර්ධන සැලසුමක් සකස් කිරීමට ද, නාගරික ඉදි කිරීම් අධිකාරියක් පිහිටුවීමට ද, කොළඹ තරුණ තරුණියන්ට නගර සභා බල ප්‍රදේශයේ ස්වයං රැකියා සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ද මේ යටතේ පියවර ගනු ලැබේ.

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට ද කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඉදිකිරීම් පිළිබඳ ප්‍රමුඛතා හඳුනා ගැනීමට වත්කම් කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට ද කටයුතු කරන බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

පසුගිය දා කොළඹ නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවකදී නානායක්කාර මෙම අදහස් පළ කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved