ඇවෙන්රා ගාර්ඩන් හෝටලයේ කළමනාකරණය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට එරෙහිව නින්දිත බොරු චෝදනා සහිත කුමන්ත්‍රණයක් සමාජගත කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.
එම හෝටලයේ පරිපාලනය නීතිය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇත්තේ පිසූ ආහාර සහ නොපිසූ ආහාර එකම ශිතරකණයක ගබඩා කිරීමේ වරද දෙවැනිවරටත් සිදුකිරීම හේතුවෙන් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
මීට මාස දෙකකට පෙර ද මේ ආකාරයෙන්ම මෙම හෝටලයේ මුළුතැන්ගෙය පරීක්ෂා කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී.
එහිදී පිසූ ආහාර සහ මස්වැනි නොපිසූ ආහාර එකම අධිශීතකරණයක් තුළ ගබඩා කර තිබී අසුවූ අතර එම අවස්ථාවේ දි නඩු නොදමන ලෙස කළ බලපෑම් හමුවේ අවවාද කර එම ආහාර වර්ග විනාශ කිරීම පමණක් සිදුකළ බවද ඔහු පවසයි.
ඇවෙන්රා ගාර්ඩන්ස්හෝටලය පරීක්ෂා කිරීම සිදුකරනු ලැබුවේ උත්සවය සමය තුළ වඩාත් වැඩිවන අනාරක්ෂිත ආහාර සම්බන්ධව කරන දීප ව්‍යාප්ත වැටලීම් මාලාවක එක් වැටලීමක් ලෙස බවද ඔහු සඳහන් කරයි.
ලංකාවේ සෑම තැනකම සෑම තරු හෝටලක්ම මෙම වැටලීම්වලට යටත් වූ බවත්, එම හෝටල්වලට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කළ අවස්ථාවලදී අදාල හෝටල් කළමනාකාරිත්වය නීතියට හිස නැමූ බවත් පවසන සභාපතිවරයා ඇවෙන්රා ගාර්ඩන් හෝටලයේ කළමනාකරණය නඩු නොදමන ලෙස බල කරමින්, වැටලීම් සිදුකළ නිලධාරීන්ට අභූත චෝදනා එල්ල කර පොලිසියට පැමිණිලි කරමින්දේ ශපාලන බලයක් ද සහිතව මේ හැසිරෙන ආකාරය අතිශයින්ම පිළිකුල් සහගත බව ද ඔහු කියා සිටී.
හෝටල් පරිපාලනයට දන්වා විනාඩි 45ක් පමණ සිටියත් කිසිවෙක් එම ලේඛණවලට අත්සන් තැබීමට ඉදිරිපත් නොවුණ අතර ඔවුන් කළේ නඩු නොපවරණ ලෙස වැටලීම් කළ නිලධාරීන් වෙත තදින්ම බලපෑම් කිරීම යැයි සභාපතිවරයා හෙළිකර තිබේ.
අනතුරුව වැටලීම් කළ නිලධාරීන්ට එරෙහිව බොරු අල්ලස්චෝදනාවක් ගොනුකර, ඉතාම නින්දාසගහත ලෙස සිය බලය යොදා නීතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඉඩ නොදීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස ගත හැකි උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටී.
හෝටලයේ කිර්තිනාමය විනාශ කිරීම, සංවිධානය කළ යම් යම් ඉසව් විනාශ කිරීම, අල්ලස්ඉල්ලීම වැනි කිසිම පදනමක් නැති චෝදනා සහිතව ඇවෙන්රා ගාර්ඩන් හෝටල් පරිපාලනය විසින් නිකුත් කළ බව කියන, නමක් ගමක්, අත්සනක් හෝ අඩුම තරමින් නිල ශීර්ෂ ලේඛනයක නොලියූ ලේඛනයක් සමාජ මාධ්‍ය ඔස්සේසැරිසරන බව රොහණ මහතා සඳහන් කරයි.
එසේම, කප්පම් සිද්ධියක් සම්බන්ධව පොලිසියට යොමු කළ පැමිණිල්ලක් සම්බන්ධව පොලිිසිය තමන් ද දැනුම්වත් කළ බවද ඔහු කියා සිටී.
මෙවැනි අනීතික බලපෑම්වලට යටත් වී මෙහෙයුම් නැවැත්වීමට සූදානම් නොවන්නේ යැයි කී උපුල් රෝහණ මහතා අදාල වැටලීම් දිගටම ක්‍රියාත්මක බවත් මෙම හෝටල් පරිපාලනයට එරෙහිව නීතිය ඉදිරියට ගොස් ඇති ගමන යළිත් ආපස්සට නොගන්නා බවත් අවධාරණය කළේය.
අදාළ වැටලීම සිදු කළ මහජන පරීක්ෂකවරුන් පස්දෙනා ඇවෙන්රා ගාඩ්න් හෝටලයේ කළමනාකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අද කටාන පොලිසියට කැඳවා ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
සමාජ මාධ්‍යට මුදාහැර ඇති ලිපිය පහත දැක්වේ.
සබැඳි පුවත්
ඇවෙන්රාට සීල් තැබීමත් සමග දේශපාලන පිටිය දෙදරයි
තරු පිරිවරා නත්තල් පාටි දැමූ Avenra Garden හි කුජීත කුස්සියට සීල් තියලා