පොලිසිය විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු සිය මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබූ ටි 56 ගිනි අවියක් සොයාගෙන තිබේ.
මේ ගිනිඅවිය අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය සඳහා යොදාගත් අනෙක් ගිනි අවිය බවට සැක කරන බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
ඒ සම්බන්ධයෙන් සැක හැර දැනගැනීම සඳහා ගිනි අවිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ටැටු කලාගාරය තුළ අපරාධයත් සමග විසිරී තිබූ හිස් පතුරම් කොපු මෙම ගිනි අවියෙන් නිකුත් වූ ඒවා දැයි වැඩි දුරටත් සොයා බැලීමට නියමිතය.
මෙම ගිනි අවිය යොදාගෙන ගම්පහ ඔස්මන්ඩ් නැමැත්තාද ඝාතනය කිරීමේ සැලැසුමක් ද මේවන විට හෙළිව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවකු වන ගනේ මුල්ල සංජීව යන අයගේ ගෝලයකු වන ගම්පහ පැටි මංජු ගේ සහෝදරයකු වන දැනට විදේශගතව සිටින කදමුල්ල ආරච්චිගේ දිනේෂ් වසන්ත යන අයගේ සමීපතමයකු බව පොලිසිය කියයි.
ඉකුත් ජුලි මස 8 වැනිදා සිදු කළ එම වෙඩි තැබීමෙන් වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු, එම ස්ථානයේදීම මියගිය අතර ජනප්‍රිය ගායිකා කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ ඇතුළු සිව් දෙනකු බරපතල තුවාල ලැබීය.