උපාය දූතයෙක් දාලා බිත්තර සංගමේ සභාපතිට නඩු දාලා!
පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කිරීම හේතුවෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්. එම් සරත් රත්නායක මහතාට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇත.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා කුරුණෑගල කොබෙයිගනේ ප්‍රදේශයේ බිත්තර අලෙවිසැලක් පවත්වාගෙන යන අතර ඉන් සුදු බිත්තරයක් රුපියල් 45කට අලෙවි කිරීම හේතුවෙන් ඔහුට මෙසේ නඩු පවරා තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් වේ.
කෙසේ වෙතත් කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (01) දින පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් උපාය දූතයකු යොදවා මෙම වැටලීම සිදු කර තිබේ.
එම අධිකාරියේ නිලධාරියකු හරහා රුපියල් දහසක මුදලකට අදාළ වෙළෙඳසළින් බිත්තර 20ක් මිලදී ගෙන ඇති අතර එහිදී බිත්තරයක් රුපියල් 45කට අලෙවි කර තිබේ.
මෙලෙස පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කිරීම හේතුවෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්. එම් සරත් රත්නායක මහතාට එරෙහිව නිකවැරටිය අධිකරණයේ ලබන 14 වැනිදා නඩු පවරන බව අදාළ වැටලීම සිදු කළ නිලධාරීහු පවසති.