Connect with us

පුවත්

“උරුමය” ඉඩම් ඔප්පු ලබා දීමට ජංගම වැඩසටහනක්

Published

on

සින්නක්කර ඉඩම් ඔප්පු  ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය”  ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය  කටයුතු කර ඇත.

ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගම තුළට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වන  බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම ඵලදායිතා සහ  ඉඩම්) චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවාය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) පැවති  මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙසේද පැවසුවාය.

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට රට පුරා ඉඩම් ඔප්පු විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. මෙම වැඩසටහන සක්‍රීයව රට පුරා ක්‍රියාත්මක වන අතර එය තවත් වේගවත් කිරීම සඳහා ජංගම සේවාවක් ආරම්භ කිරීමටද කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මේ මස 26 වනදා සිට 30 දක්වා දිනවල දීප ව්‍යාප්තව ජංගම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ ජංගම වැඩසටහන සඳහා ඉඩමක සින්නක්කර ඔප්පුව ලබාදීමට අදාළ සියලුම රාජ්‍ය නිලධාරීන් සහභාගි වීමට නියමිතයි. බලපත්‍ර ලාභියා කළ යුත්තේ ඔහු අත තිබෙන බලපත්‍රය හෝ දීමනා පත්‍රය ඉදිරිපත් කිරීම පමණයි.අනෙක් සියලුම මිනුම් කටයුතු, ලේඛන කටයුතු රාජ්‍ය නිලධාරීන් විසින් සකස් කර දෙනවා. මෙම වැඩසටහන සමඟ රෙජිස්ටර් දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ සඳහා ඉඩම් බලපත්‍ර  ලාභියාගෙන් කිසිදු මුදලක් අය නොකරන බවද සඳහන් කළ යුතුයි.

වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් පාඩිකෝරාළ මහතා

මහවැලි කලාප තුළ බලපත්‍රලාභීන් 280,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මහවැලි කලාප දහය තුළ දිස්ත්‍රික්ක පහළොවක ජීවත්වන බලපත්‍රලාභී සියලුම දෙනාට උරුමය  වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ වනවිට හැටදහසක පමණ පිරිසකට ඔප්පු  ලබාදීම සඳහා සියලුම  වැඩ කටයුතු සූදානම් කරමින් තිබෙනවා.

ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා

උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන මේ වනවිට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ග්‍රාමීය ජනතාවට මේ පණිවුඩය නිසි පරිදි අවබෝධ වී නැහැ. ඇතැමුන් තමන්ගේ ඉඩම් හිමි බලපත්‍ර නිවෙසේ තබාගෙන සිටීම තුළ සින්නක්කර ඔප්පුවක් ලබා ගැනීමට ඇති මහඟු අවස්ථාව අහිමිවී යන බව කිවයුතුයි.

ඒ නිසා හැකි ඉක්මණින් තම බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී තමා සතු බලපත්‍රය බාරදී කිසිඳු කොන්දේසියකින් තොරව සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලබාගැනීමට අයදුම් කරන්න කියන දැනුම්දීම ද මේ අවස්ථාවේ සිදු කරනවා.

එසේම මෙම කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සහ ග්‍රාම නිලධාරී වසමක් ආවරණය වන පරිදි මෙම ජංගම සේවාව පැවැත්විමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ගමට පැමිණෙනවා. එහිදී තමන්ගේ ඉඩම සම්බන්ධ ලිපි ලේඛන ලබාදී ලදුපතක් ලබාගතයුතුයි. උරුමය වැඩසටහන යටතේ තම සින්නක්කර ඉඩම් අයිතිය කඩිනමින් ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අභයගුණවර්ධන, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ කේ.ආර්. සරත් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

පුවත්

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ජූනි 10දා දක්වා එම ආනයනයන්ට අදාළ අවසර ලබා දී තිබේ.

එමෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා මෙහිදී අවස්තාව ලබා දී ඇත.

Continue Reading

පුවත්

සැප වාහන වෙන්දේසියෙන් මිලියන 200 ඉක්මවූ මුදලක් (Update)

Published

on

By

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවෙනි අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය අද (15) පැවැත්විණි. 

මේ අනුව හිටපු මැති ඇමැතිවරුන් හා හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (01) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු වාහන 26ක් මෙලෙස වෙන්දේසි කර තිබූ අතර ඉන් 17ක්ම අද දිනයේදී අලෙවි විය.

ඒ අනුව BMW මෝටර් රථ 01ක්, Ford Everest රථ 02ක්, Hyundai Terracan රථ 01ක්, Land Rover Discovery රථ 02ක්, Mitsubishi Montero රථ 01ක්, Nissan පෙට්‍රල් රථ 03ක්, Nissan වර්ගයේ මෝටර් කාර් 02ක්, Porsche Cayenne මෝටර් රථ 01ක්, SsangYong Rexton වර්ගයේ ජීප් රථ 05ක්, Land Cruiser Sahara වර්ගයේ රථ 01ක්, V 08 රථ 06ක්, සහ Mitsubishi Rosa වර්ගයේ වායු සමීකරණය කළ බස් රථයක් අද වෙන්දේසියට ඉදිරිපත් කර තිබිණි.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට තීරණය කර තිබිණි. 

මෙම වාහන මිලදී ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර  අද පැවති වෙන්දේසියේදි වාහන අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 200ක් ඉක්මවූ මුදලක් උපයා ගන්නා ලදී.  

මෙම අවස්ථාවට ව්‍යාපාරිකයෝ 108 දෙනෙකු පමණ එක්ව සිටියහ.


(පෙර පුවත 2025 මැයි 15, පෙ.ව.8:37)

ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය අද

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් අද  (15) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිතය.

විකිණීමට නියමිත මෙම සියලු වාහන වසර දහයක් ඇතුළත නිෂ්පාදිත වාහන වන අතර මීට අදාළ මිල ගණන් කැඳවීම ඊයේ (14) දිනයෙන් අවසන් විය.

අද වෙන්දේසි වන මෙම වාහන අතර,

  • බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 01ක්
  • ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්,
  • හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්,
  • ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්,
  • මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්,
  • නිසාන් පෙට්‍රල් රථ 03ක්,
  • නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්,
  • පෝර්ෂ්  කේයින් මෝටර් රථ 01ක්,
  • ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්,
  • ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්,
  • වී 08 රථ 06ක්,
  • මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිත කළ වාහන වේ.

Continue Reading

පුවත්

නව දූත මණ්ඩල ප්‍රධානීන් ජනපති හමුවෙයි

Published

on

By

ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ විදෙස් රටවල් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙස  පත්ව යන නව දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (15) පැවති සාකච්ඡාවේදීය.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නව රාජ්‍යතාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගේ තැනක් ලෙස ඔවුන්ට හැඟෙන පරිදි කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රට වෙනුවෙන් තම සේවය කාර්යක්ෂමව සිදු කිරීමට කටයුතු කරන ලෙසද කියා සිටියේය.

ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ව්‍යවසායකයින්ට විදේශ වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය රාජතාන්ත්‍රික සේවාවේ කොටසක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, මෙරට ආර්ථිකය නඟාසිටුවීම සඳහා සෘජු විදේශ ආයෝජන හා සංචාරකයින් කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදු වූ ඇතැම් සිදුවීම් නිසා පසුගිය කාලයේ තානාපතිවරුන් අපහසුතාවට පත්ව ඇති බවත් වත්මන් ආණ්ඩුව තානාපතිවරුන්ගේ ගෞරවයට හානි වන දෑ නොකරන බවත් කී ජනාධිපතිවරයා තානාපතිවරුන් වෙනුවෙන් ආණ්ඩුව ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද සඳහන් කළේය.

නව දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පී.එම්. කොලොන්නෙ, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස රියර් අද්මිරල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස එස්.ඩී.එන්.යු. සේනාධීර, අමෙරිකානු නිව්යෝක් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස ජයන්ත ජයසූරිය, කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආර්.එම්. මහින්ද රත්නායක, ජපානයේ ශ්‍රී ලංකා  තානාපති ලෙස මහාචාර්ය පී. ජනක් කුමාරසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය අරූෂා කුරේ යන මහත්ම මහත්මීහු මෙලෙස පත්වීම් ලැබ සිටිති. 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක් වූහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved