Connect with us

පුවත්

උ/පෙළ ප්‍රතිඵල අගෝස්තු ලබන මාසයේ මැදදී – ඇමති

Published

on

ලබන වසර වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් විසි එක්වන සියවසට ගැළපෙන සිසුවා නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා  පැවසීය.

රට තුළ තිරසර සහ ගුණාත්මක  අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  මගපෙන්වීමෙන් ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට සිදු කෙරෙන බවත්, එහිදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විෂය මාලා හඳුන්වාදීම මෙන්ම මානව සම්පත නිසි අයුරින් කළමනාකරණය  කිරීම ද සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

ලබන මාසයේ මැද වන විට උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, මෙම වසරට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයත් දෙසැම්බර් මාසය වන විට පවත්වා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස්  පළ කර සිටියේ, ජනාධිපති මාධ්‍යය  කේන්ද්‍රයේ  අද (10) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

විවිධ හේතුන් මත නවතා දැමුණ “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය 2024 වසරේ සිට යළිත් ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය :

සංවර්ධිත රටවල අධ්‍යාපන අමාත්‍යංශය මධ්‍යම රජයට අයත් නොවන අතර එය පවතින්නේ පළාත් අමාත්‍යවරයෙකු යටතේයි. ඉන්දියාව, කැනඩාව, ජපානය වැනි රටවල  මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන නිසා එහි දරුවන්ගේ  අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත වී තිබෙනවා.

සන්ධීය රාජ්‍යවල එවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබුණ ද අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේයි.  ඒ වගේම පාසල් 399 ක් හැරුණු කොට අනිත් සියළුම පාසල් පවත්වාගෙන යනු ලබන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේයි.

2001 වර්ෂයේදී ජාතික පාසල් දහසක් නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය සිදුකරන විට මේ රටේ තිබුණේ ජාතික පාසල් 17යි. 

 නමුත් එක් එක් අධ්‍යාපන අමාත්‍යවරු ගත් තීන්දු තිරණ සහ දේශපාලන වැඩසටහන් අනුව ජාතික පාසල් ප්‍රමාණයේ වැඩිවීමක් සිදු වුණා. නමුත් ඒ තුළින් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ඇතිවූ බවක් කිව නොහැකියි. එක රැයකින් ජාතික පාසල් 28ක් බිහිවූ යුගයක් ඉතිහාසයේ තිබෙනවා. නමුත් මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට අවශ්‍යයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට සිසුන් පෙළගැස්විය යුතුයි. 

කොවිඩ් 19 අභියෝගය හමුවේ මෙරට  අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ විශාල පසුබෑමක්  සිදු වුණා. ඒ වගේම පසුගිය කාලයේ රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ  ඉන්ධන සහ ගෑස් හිඟයත් සමග ඇති වූ සමාජයීය ගැටලු හේතුවෙන්  පාසල් නිසියාකාරව පවත්වාගෙන යාමට හැකි වුණේ නැහැ. 

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා වෘතීය සමිති සහභාගී වූයේ නැහැ. එම තත්ත්වය දැන් සමතයකට පත්කරගෙන උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම මේ වන විට සිදුකරගෙන යනවා. ලබන මාසයේ මැද වන විට උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම මෙම වසරට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයත් දෙසැම්බර් මාසය වන විට පවත්වා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලය තුළ පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි. 

එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙනවා.  බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය සමග සම්බන්ධ වෙමින් පාසල් තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම්  කටයුතු  ආරම්භ කිරීමට ද සැලසුම් සකස් කර තිබෙනවා.  මේ සඳහා ගුරුවරුන් 13,800ක් මේ වන විට පුහුණු කර අවසන්. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන කටයුතු සඳහා පෙළපොත් යාවත්කාලීන කිරීම ද  කඩිනම් කර තිබෙනවා. තොරතුරු තාක්ෂණය සහ කෘතිම බුද්ධිය යන විෂයන් 6 වසරේ  සිට 9  වසර දක්වාත් 10 වසරේ සිට 13 වසර දක්වාත් කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.  

විසි එක්වන සියවසට අදාළ සිසුවා නිර්මාණය කිරීමට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ  පරිවර්තනීය වෙනසක් ඇති  කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි. රට තුළ තිරසර සහ ගුණාත්මක  අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  මගපෙන්වීමෙන් ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට සිදු කෙරෙනවා. 

ඒ වගේම මයික්‍රෝ සොෆ්ට් වැනි ආයතනවලින් තොරතුරු තාක්ෂණයට අදාළ  සහයෝගය ලබා ගැනීමට  කටයුතු කරනවා.

මේ වන විට විදුහල්පති පුරප්පාඩු පන්දාහක් පමණ  තිබෙනවා. එය පියවීම සඳහා තරග විභාගයක් පවත්වා බඳවාගැනීම් සිදුකිරීමට යාමෙදී වෘත්තිය සමිතියක් අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා. ගුරු පරිපාලන සේවය සඳහා බඳවාගැනීමට පුරප්පාඩු 22,000ක් පමණ තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය සේවයේ සිටි අයත් අයදුම්කර තිබෙන අතර ඔවුන්ට තරග විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව හිමි නොවීම පිළිබඳව ද අධිකරණය හමුවට ගොස් තිබෙනවා. 

මෙම බඳවා ගැනීම් ප්‍රමාද වී තිබෙන්නේ ඒ නිසයි.   සීයයක පිරිසකගේ මානව හිමිකම් ගැන කියමින් අධිකරණයට යාම නිසා ලක්ෂ හතළිස් දෙකක් වන සිසු දරුවන්ගේ මානව හිමිකම් මේ වන විටත් බිඳ වැටී තිබෙනවා. එම නිසා අධිකරණය මේ පිළිබඳව කඩිනම් තීන්දුවක් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අග්‍රාමාත්‍යවරයාව  සිටියදී  ඉදිරිපත් කළ තර්ටීන් ප්ලස් (13+) අධ්‍යාපන වැඩසටහන ඉදිරියට කරගෙන යාමට අප කටයුතු කරනවා.  අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා තේරීම් කාරක සභාවක් ස්ථාපිත කර අවශ්‍ය යෝජනා මේ වන විට සකස් කරමින් තිබෙනවා. ඒ අනුව  ඉදිරියේදී රාජ්‍ය නොවන ආයතන සමඟ ඒකාබද්ධව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප සකස් කරනවා. 

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සඳහාත් ණය පහසුකම් ලබාදීමට  කටයුතු කරනවා වගේම ඔවුන් මේ රටේ ආර්ථිකයට දායක කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමටත් අප කටයුතු කරනවා.

වතුකරයේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය සුරැකීම සඳහා වතුකරයෙන්  තෝරා ගන්නා සිසුන් ගුරුවරුන් ලෙස පුහුණු කිරීම සඳහා කොටගල ප්‍රදේශයේ පුහුණු විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.  පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම මගින් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට කැපවෙනවා. 

මෙම සියලු කාරණා සමග මෙරට  අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ පරිවර්තනය වෙනසක් ලබන වසරේ සිට ඇතිවනු ඇතැයි අප අපේක්ෂා කරනවා. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

බීමතින්  පාසැල් දරුවන් ප්‍රවාහනය කරමින් සිටි රියැදුරෙක් අත්අඩංගුවට

Published

on

By

බීමතින් සිසුසැරිය බස් රථයක් ධාවනය කරමින් සිටි බස්රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) දහවල් කාලයේ දී කටුපොත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් කටුපොත නගරයේ සිසුසැරිය බස්රථයක් පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී අදාළ රියදුරා බීමතින් සිටින බවට අනාවරණය වී ඇති අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 52ක් වූ රදලියගොඩ, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ බස් රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී බස්රථය තුළ පාසල් ළමුන් 16 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇත.

අදාළ බස් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු අද (20) නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට හා රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරන්තරයෙන් මෙහෙයුම් සිදුකරමින් සිටී.

Continue Reading

පුවත්

දේශබන්දු වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා, පරීක්ෂණ කමිටුව නිෂ්ප්‍රභ කරයි

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පරීක්ෂණ කමිටුව විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව ඊයේ (19) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පළමුවරට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටියේය.

මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට චෝදනා 23කින් සමන්විත චෝදනා පත්‍රය ලබා දෙන ලද අතර ඉන් අනතුරුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. එස්. වීරවික්‍රම මහතා විසින් මුලික විරෝධතා ත්‍රිත්වයක් සහ ඉල්ලීම් ද්විත්වයක් ඉදිරිපත් කරන ලදී.

එම කරුණුදැක්වීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාවය සටහන් කර ඇත.

සියලු කරුණු සලකා බැලු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කරනු ලැබීය. ඒ අනුව විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට මෙහිදී තීරණය විය.

කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එළඹෙන 28 වැනිදා පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට තීරණය කර ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මානව හිමිකම් කොමිසමෙන් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක්

Published

on

By

පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේ දී සහ පොලීසිය සමග හටගත් ගැටුමක දී සිදුවන මරණ වළක්වා ගැනීම පිළිබඳ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

2025 අංක 1 දරණ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ යටතේ පොලීසිය වෙත මෙය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.

එම කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි මත පදනම්ව සිදුකළ විමර්ශනවලට අනුව 2020 වසරේ ජනවාරි මාසයේ සිට මෙම වසරේ මාර්තු 31 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේ දී සිදුවූ මරණ 49ක් සහ පොලීසිය සමග සිදුවූ ගැටුම් හේතුවෙන් මරණ 30ක් නිරීක්ෂණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාව විසින් මෙම මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාව නිකුත් කළ බව එහි සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා සඳහන් කළේය.

එම මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලීසිය උනන්දු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved