කොළඹ හතේ පිහිටි එල්.බී. ෆයිනෑන්ස් සමාගම් ශාඛාවේ පැයකට ආසන්න කාලයක් අඹුසැමි යුවළක් සිර කර සාපරාධී බිය ගැන්වීමක් කළැයි එම ආයතනයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කුරුඳුවත්ත පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට මුහුණ දුන් යුවළ ලීසිං සමාගමේ ශාඛාවේ දොරටුවලට දම්වැල් දමා වසමින් සිරකරගෙන ඇත්තේ සැකකාර ආරක්ෂක නිලධාරියා විසින් බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි කුරුඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙත දැනුම් දුන්නේය.
එම ආයතනයේ ආරක්ෂක සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ කරුණු මත සැකකාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන රත්නායක මුදියන්සේලාගේ ධර්මදාස රත්නායක අත්අඩංගුවට ගත් බවද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.
උත්සව කටයුතු සඳහා වාහන දීමේ ව්‍යාපාරයක නිරත ගනේමුල්ල, බොල්ලත, ගල්පොත්ත පාරේ පදිංචි ආනන්ද ද සිල්වා විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
පැමිණිලිකරුගේ කාර් රථයට අදාළ ලීසිං පහසුකම ගෙන අවසන් හෙයින් ඊට අදාළ ලිපි ලේඛන දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී ලීසිං සමාගමේ ගනේමුල්ල ශාඛාවේ නිලධාරීන් දන්වා ඇත්තේ එම ලේඛන කුරුඳුවත්තේ පිහිටි ශාඛාවෙන් ගන්නා ලෙස බව දන්වා සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් ඒ පිළිබඳව විමසීමට පැමිණිලිකරු සිය බිරිඳ සමග ලීසිං සමාගමේ කුරුඳුවත්තේ පිහිටි ආයතනයට ගොස් ඇතැයි දන්වා සිටියේය.
එම අවස්ථාවේදී ලීසිං සමාගමේ කුරුඳුවත්ත ශාඛාවේ ප්‍රධාන කළමනාකරු වන ගිහාන් නමැති අය පැමිණිලිකරුගේ බිරිඳට ‘‘තමුසෙලාගේ යතුරක් අපි ගත්තෙ නැහැ, ගිහින් ගත්ත කෙනාගෙන් ඉල්ල ගන්නවා, ඕක මගේ වැඩක් නෙවෙයි’’ යනුවෙන් පවසමින් බැණ තර්ජනය කළ බවත්, එහි සිටි පිරිසක් ආයතනයේ ඉබි යතුරු දමා වසා දමමින් පැමිණිලිකරුට සහ ඔහුගේ බිරිඳට පිටතට යෑමට නොදී සිර කර තබා ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සැකකාර ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධර්මතිලක ගමගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
සැකකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප 2 ක් මත මුදාහරින ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කුරුඳුවත්ත පොලිසියට නියම කළේය.
සබැදි පුවත්