Connect with us

පුවත්

කතරගම පඩුරුවලට කපුවෝ ඇර ගනිති; නිළමේ වොයිස් කට් බෙදයි

Published

on

කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර දේවාලයේදී පෙරේදා (30) පස්වරුවේ ගැටුමක් ඇති වී තිබේ.

දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර මෙම ගැටුම ඇති වී තිබේ.

මෙම මාසය බාර කපු මහතකු වන ගයාන් ආරාපක්ෂ පහරදුන් බව පවසා රත්නායක කපු පරපුරේ උපුල් රත්නායක යන අය ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් වී තිබේ. තවද මෙම පහරදීම සම්බන්ධයෙන් කතරගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කරන ලදී.

මේ සම්බන්ධව කතරගම පොලිසිය මගින් ගයාන් අරාපක්ෂ නමැති කපුවා ඊයේ (01) පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැර තිබේ.

පෙරහර සමයේ මෙම පරම්පරා දෙක අතර ගැටුම පවතින බවත්, පෙරහර සමයේ පූජා වට්ටිවලට එකතුවන රුපියල් කෝටි හය හතක මුදල වෙනුවෙන් මෙම ගැටුම පවතින බවත් හෙළි වී ඇත.

පූජා වට්ටියේ සම්පූර්ණ ආදායම කපු මහත්වරු ගන්නා බවත්, ඒ මුදල බෙදා ගැනීමට නොහැකි වූ විට විවිධ ගැටුම් හට ගන්නා බවත්,  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතියකු වන රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතා මාධ්‍යට පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසෙද පවසා ඇත.

“කතරගම දේවාලයේ යතුර බස්නායක නිලමේ බාරයේ මෙච්චර කාලයක් තිබුණා. බස්නායක නිලමේ මාස ගණන බෙදලා දුන්නා. මට ඉස්සෙල්ලා හිටපු බස්නායක නිලමේගෙන් කපු මහත්තුරු යතුරු උදුරා ගත්තා. එයාට ගහලා නිලමේකමින් එලෙව්වා. මගේ කාලයේත් යතුරු උදුරාගත්ත. මම ගැටුමකට යන්නේ නැතිව උසාවි ගියා. දැන් නඩුව උසාවියේ යනවා. එතකම් ඒ අය ඕනෑ විදියට රාජකාරි බෙදා ගන්නවා. ඒ නිසා ඒ අය අතර ගැටුම් ඇතිවෙනවා. පෙරහර කාලේ කෝටි හය හතක ආදායම බෙදා ගන්න තමයි මේ මරා ගැනිල්ල වෙන්නේ. බැතිමතුන් තමයි තීරණය කරන්න ඕන මේ අයට ගහමරාගන්න මුදල් දෙනවද කියලා’’

රුහුණු මහා කතරගම දේවාලයේ තේවා කටයුතු රත්නායක පරපුර, ආරාපක්ෂ පරපුර, මුණසිංහ පරපුර යන පරම්පරා තුන කටයුතු කරන අතර ඇසළ මංගල්‍යයේදී තේවාව ගැනීම සඳහා වසර ගණනක පටන් මෙම පරපුරවල් අතර ගැටුම් පැවතුණ බව අනාවරණ වේ.

මෙම ගැටුම් හේතුවෙන් මෙවර පෙරහර කාලයේ පොලිසියේ සහයට ශ්‍රී ලංකා යුද හමුදාවද කැඳවීමට බස්නායක නිලමේවරයා තීරණය කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

අත්අඩංගුවට නොගන්නා බවට හිටපු පොලිස්පතිවරයකු වන පූජිත් ජයසුන්දර මහතා විසින්  ප්‍රසිද්ධ වේදිකාවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රතිඥා දුන් ‘නිලමේ’ නම් පුද්ගලයා මේ වත්මන් රුහුණු මහා කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාය.

එදින පොලිස්පතිවරයා ‘සර්’ නමින් ආමන්ත්‍රණය කරමින් දුරකථනයෙන් ඇමතුවේ නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක මහතාට යයි විශ්වාස කරන බව එවකට අගමැතිවරයාව සිටි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරවු කර තිබිණි.

පොලිස්පතිවරයා ‘නිලමේගේ කේස් එක’ නමින් හැඳින්වුයේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර පිළිබඳව බව දූෂණ විරෝධී පෙරමුණ හෙළිකළ අතර ඔහු අත්අඩංගුවට නොගන්නා මෙන් බලපෑම් එල්ලවීම මගින් එවකට පැවැති ‘යහපාලන රජය එළිපිටම හොරු රකින බව’ හෙළිවී ඇතැයි එම පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා තිබිණි.

පුවත්

සක්විති රණසිංහට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්

Published

on

By

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16ක කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර තිබේ.

එම චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම සිරදඬුවම වසර 10කට අත්හිටුවන බවත් නියෝග කළේය.

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩ මුදල්ද නියම වුණි.

දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන් පසුව ඔවුන් මුදාහරින ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

මීට පෙර පැමිණිල්ලේ සහ විත්තියේ මෙන්ම අගතියට පත් පාර්ශවය නීතිඥවරු අතර ඇතිවූ එකඟතාවය මත මෙම විත්තිකරු විසින් තැන්පත්කරුවන්ගෙන් භාරගත් සමස්ත මුදල්වලින් සියයට 60ක් වන නවකෝටි අසූපන් ලක්ෂයකට ආසන්න මුදලක් 2023 වසරේ ජූලි මාසයේ සිට රුපියල් ලක්ෂ පනහ බැගින් වූ මාසික වාරිකවලින් විත්තිකරු ගෙවා අවසන් කර තිබෙන බව ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වසර නවයක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් දෙවන විත්තිකාරිය වසර දෙකක් පමණ බන්ධනාගාරය භාරය පසුව බවත් සඳහන් කළේය.

බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණීමෙන් පසුව අමතර උපකාරක පන්ති පවත්වා ලැබුණු මුදල්වලින් මෙම ගෙවීම් සිදුකළ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම විත්තිකරුවන්ගේ දරුවන් දෙදෙනා ඉදිරියේදී විවාහ වීමට නියමිතව සිටින බැවින් ඔවුන්ට ලිහිල් දඬුවම් නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Continue Reading

පුවත්

ගම්පහට හෙට පැය 10ක වතුර කප්පාදුවක්

Published

on

By

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම හෙට (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවත් පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි  මණ්ඩලය‍ නිවේදනය කර ඇත.

එබැවින් එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන් වැඩිදුරටත්  දැනුම් දෙයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ තෙවැනි රැස්වීම් දිනය ලෙස අද (22) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද පෙ.ව 9.30 – පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාද,

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හා 2023 අංක 34 දරන විසර්ජන පනතේ 8වන වගන්තිය යටතේ යෝජනා සම්මත 10ක් විවාදයට ගැනීමට නියමිතය.

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරන ප්‍රශ්න වෙන්කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved