දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත්ව සිටින ආචාර්ය අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ඒ, පාර්ලිමේන්තුවේ ඔහු කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එල්ල වන විවේචන හේතුවෙනි.
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද මේ සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබුණි.
එයින් ඔහු පෙන්වා දෙන්නේ, කතානායකවරයා උපාධි හිමි බව කීවේ නම් හිමි බව සනාථ කරන ලෙසය.
එසේ නොමැති නම් සිය ධූරයෙන් ඉල්ලා අස්වන් ලෙසත්, එවැන්නන් නොකළ හොත් පක්ෂය විසින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් ඔහු එහෙදී වැඩිදුරටත් සදහන් කර තිබේ.
මේ අතර අශෝක සපුමල් රන්වල මහතාගේ ජීව දත්ත සහ අධ්‍යාපන සුදුසුකම් තවමත් පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කර නැත.
මින් පෙර පත්වූ කතා නායකවරුන්ගේ ජීව දත්ත එම වෙබ් අඩවියේ පළ කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 22 වන කතානායකවරයා ලෙස අශෝක සපුමල් රන්වල මහතා පත් වුණේ, පසුගිය නොවැම්බර් 21 වෙනිදාය.
ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයෙකු වන ඔහු, මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප ඡන්ද 109,332ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ හය වන ස්ථානයට පත් විය.
අශෝක රන්වල මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරු උපාධිධරයෙක් බවත් ඔහු ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ජෛව රසායනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇති බවත් පසුගිය දිනවල පුවත් වාර්තාවල දැක්වුණි.