ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (25) මියගොස් ඇති මාස 08ක් වයසැති දැරියගේ හදිසි මරණය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් රෝගය හේතුවෙන් සිදු වූ බවට සැකයක් පවතින බව ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ එම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) සිදු කිරීමෙන් අනතුරුවය.
එසේම, මියගිය දැරියගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු හැකි ඉක්මණින් සිදුකරන ලෙසත්, දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යම් රෝග ලක්ෂණයක් ඇත්නම් හැකි ඉක්මණින් රෝහල්ගතවන ලෙසත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී.ජයරත්න මහතා මියගිය දැරියගේ ඥාතීන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා වැඩිදුරටත් මෙසේ ද පවසා ඇත.
මෙනින්ගොකොකල් රෝග ලක්ෂණ දරුවා වෙතින් දක්නට ඇති බැවින්, අධිකරණ වෛද්‍යවරයා ඥාතීන් කැඳවා ඔවුන්ට උණ, ඇඟ කැසීම, බිබිලි මතුවීම, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මණින් රෝහල්ගත වන ලෙස ද දැනුම් දී තිබේ.
හදිසි මරණ පරීක්ෂකවරයා පවසන්නේ මේ මරණය සම්බන්ධයෙන් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ද දැනුම්වත් කර ඇති බවයි.
කෙසේවුවද දරුවාගේ මියයාමට හේතුව තහවරු කරගැනීම සඳහා සිරුරේ පටක කොටස් රජයේ රස පරීක්ෂකවරයාට සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි ද ඔහු අනාවරණය කළේය.
ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍යවරයාගේ වාර්තාව අනුව මෙ මරණය සම්බන්ධයෙන් දැනට ලබා දී තිබෙන්නේ විවෘත තීන්දුවක් පමණක් බවත්, පරික්ෂනාගාර වාර්තා ලැබුණාට පසු මරණයට හේතුව ස්ථිරව කිව හැකි බවද මරණ පරීක්ෂකවරයා දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට පවසා ඇත.
මෙම බැක්ටීරියාව සම්බන්ධයෙන් මුලින්ම වාර්තා වූයේ ගාල්ල බන්ධනාගාරයෙනි.
මේ අනුව එම රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි යන්න පිළිබඳව මෙම ළදරු මරණයත් සමඟ සැකයක් මතුව තිබේ.
එස්. ලොකුකරවිට – ගාල්ල වාර්තාකරු