නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
(පෙර පුවත 2025 මාර්තු 27 ප.ව.4:55)
චාමරට ඇප ලැබේ(UPDATE)
දූෂණ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අද (27) දින ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර 2ක් මත මුදාහැරීමට නියම කළේය.
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කර ඇත.
ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහරිණ ලෙස මහෙස්ත්‍රාත්වරිය නියම කලාය.
2016 වසරේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ළදරු පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා පළාත් සභාව හරහා ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් චෙක්පතක් වශයෙන් ලබාගෙන එය තම පදනම යටතේ මුදල් බවට පත්කරගැනීම තුළින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
(පෙර පුවත 2025 මාර්තු 27 ප.ව.2.01.)
චාමර සම්පත් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අද (27) ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීය.
ඔහු ඌව පළාත් මහ ඇමතිවරයාව සිටින කාලයේ එම පළාත් සභාවේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බව සඳහන් වේ.
(පෙර පුවත 2025 මාර්තු 27 ප.ව.1.55.)
චාමර සම්පත් අල්ලස් කොමිසමට
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් කොමිසම මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව මෙලෙස ප්‍රශ්න කිරීම් සිදුකර බව සඳහන්ය.