Connect with us

පුවත්

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා (UPDATE)

Published

on

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු කැබිනට් ඇමතිවරුන් පිරිසක් නම්කර තිබේ.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 350කට ආසන්න සංඛ්‍යාවක් නම් කර ඇත.

ඒ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ යන හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළත් ය.

ඊට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක්ද ඊට ඇතුළත් ය.

එමෙන්ම මෙම නඩුවට අදාළව නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.

මෙම නඩුව මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් සේ සලකා එය විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර අගවිනිසුරු වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු විසින් නම් කර ඇත.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබුණි.

හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොප්සිමැප් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13ක් එල්ල කර තිබේ.


(පෙර පුවත 2025 ජූනි 26 ප.ව.12.16 )

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරන ලදී.

අදාළ අධිචෝදනා පත්‍රය චෝදනා 13කින් සමන්විතය.

2022 වසරේ රට තුළ පැවති ආර්ථික අර්බුදයට මුවාවී, ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලින් වෙනස් කිරීමට ලක්කර සෞඛ්‍ය අංශ විසින් ඖෂධ මිලදී ගැනීමක් සිදුකර තිබුණි.

මෙලෙස මිලදීගත් ඖෂධ වර්ග අතර තිබූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නැමැති ප්‍රතිදේහ භාවිත කළ මහනුවර, මාතලේ සහ කොළඹ යන ප්‍රදේශවල රෝගීන් තිදෙනෙකුට සංකූලතා මතුවූයේ  ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුකරමිනි.

ඒ පිළිබඳ ලද පැමිණිලි 02ක් පාදක කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේය.

පසුව එකී විමර්ශනය අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් ආරම්භ කෙරුණේ පුද්ගලයින් 12 දෙනකු සැකකරුවන් ලෙස නම්කරමිනි.

ඒ ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයුම්කරු වන සුදත් ජනක ප්‍රනාන්දු, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත ඇතුළු සෞඛ්‍ය අංශවල ඉහළ නිලධාරින් පිරිසකි.

නඩුවේ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතකර සිට පසුව ඇප මත මුදාහැරුණද, පළමු සැකකරු වන ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයූ සැපයුම්කරු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

එවන් පසුබිමක පසුගිය 19 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අවසන්වරට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කියාසිටියේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිදුවීම සම්බන්ධයෙන් වසරකුත් මාස 08යි දින 06ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන මේවනවිට අවසන් කෙරුණු බවය.

ඒ අනුව මෙම නඩුව විභාගකිරීම සඳහා අගවිනිසුරුවරිය විසින් පත්කර ඇති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රමුඛ විත්තිකරුවන්ට එරෙහිව අද අධිචෝදනා ගොනුකෙරුණි.

මෙලෙස අධිචෝදනා ගොනුකිරීම සිදුකෙරුණේ මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුවරු මඩුල්ල හමුවේය.

ඒ හියුමන් හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොක්සිමැබ්  නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙනි.

අධිචෝදනා පත්‍රයට අනුව නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved