Connect with us

පුවත්

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

Published

on

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව නීතිපතිවරයා ඊයේ (29) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට කියා සිටියේ, අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් එවක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශ ඔස්සේ මේ බව තහවුරු වන බවය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළ නීති කෘත්‍යය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීය.

එහිදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම නඩුවේ පළමු සැකකරු වන සුදත් ජනක ප්‍රනාන්දු සහ ඇප මත මුදාහැර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රමුඛ සෙසු සැකකරුවන් 10 දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් එවක කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් ප්‍රකාශවල සම්පිණ්ඩන වාර්තාවක් රජයේ නියෝජ්‍ය ජනරාල්වරිය අධිකරණයට ඉදිරිපත් කලේය.

“ස්වාමිනි, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය ප්‍රකාශයෙන් කියා තිබෙනවා, කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමේදී එහි ඇතුළත් කරුණු තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කිරීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීම කියලා. ඒ වගේම අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳ අමාත්‍යවරයා සෑහිමකට පත්වෙනවා නම් පමණක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවටත්. එවැනි පසුබිමකයි ස්වාමිනි ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් නොකර මෙය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන්නේ.

ඒ වගේම ස්වාමිනි අප, හිටපු අමාත්‍යවරුන්ගෙන් විමසීමක් කළා කුමන පදනමකින්ද මෙම කැබිනට් පත්‍රිකාවට අවසර දුන්නේ කියලා. ඔවුන් සියලුදෙනා පොදුවේ කියූ කරුණක් තමයි එම හදිසි ඖෂධ මිලදීගැනීමට අවසර නොදුනහොත් සතියකින් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වූ බැවින්, ඊට අවසර දුන් බව. එසේම අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ කැබිනට් පත්‍රිකාවේ සඳහන් නොවු පසුබිමක හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කරන්නේ සත්‍ය කරුණු බව අමාත්‍ය මණ්ඩලය විශ්වාස කළ බවද ඔවුන් සිය ප්‍රකාශවලින් කියා තිබෙනවා.

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රකාශයේ සඳහන් වනවා, අදාළ ඖෂධ මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදුකරන බව හෝ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගන්නා බව දැන සිටියානම් කිසිසේත්ම ඊට අවසර නොදෙන බව. එබැවින් මෙම කරුණු මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම තුළ කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව පැහැදිලි වෙනවා “

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත ඖෂධ සැපයූ සැපයුම්කරු දෙසැම්බර් 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, නීතිකෘත්‍ය පෙබරවාරි 21 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබේ.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථන බිල වූ රුපියල් 230,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකරන බවට චෝදනා කොට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජිත් නිශ්ශංක ඉදිරියේ විභාගයට ගැනුණි.

එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනුණු අතර නඩු විභාගය යළි පෙබරවාරි 18 වැනිදා පැවැත්වීමට නියමිතය.

පුවත්

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

Published

on

By

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කර ඇත.

ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාලව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී  ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser AlAmeri) මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර්  රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති හමුවේ දී ඔහු  මේ බව කියා සිටියේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  දැනට ශ්‍රී ලාංකිකයන් 150,000ක් පමණ  රැකියාවන්හි නිරත වන අතර එම ප්‍රමාණය වැඩි කිරීමට ඇති අවස්ථාවන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ හයවන  විශාලතම අපනයන  වෙළෙඳපොළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අතර එම අපනයන අවස්ථාවන් පුළුල් කර ගැනීම පිළිබඳව ද  සාකච්ඡා කෙරිණි.

දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහායක් ලබාදීමට කටයුතු කරන බවට ද තනාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ සහතික විය.

ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට එක්වන ලෙසද  ඛලීඩ් නසර් අල් අමේරි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ පූර්ණ බලැති මිනිස්ටර් ධුරය හොබවන අහමඩ් එම්.ඒ.ඒ. අල් ෂෙහි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Continue Reading

පුවත්

කථානායකට එරෙහි විශ්වාසභංගයක් ආවොත් ආණ්ඩුව ගන්න තීරණය

Published

on

By

කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම කෙරෙහි දෙවරක් සිතිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට එහා බලයක් තියෙනවා. ඒ නිසා ගේන විශ්වාසභංග ගේන කට්ටිය කල්පනා කරන්න ඕනේ… මොකටද ගේන්නේ කියලා. ඒ නිසා කථානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වුවත් ගැටලුවක් නැහැ. කථානායකගේ ප්‍රකාශයත් එක්ක බලමු. මේ වෙලාවේ අපි උත්තර දෙන්න යන්න අවශ්‍ය නැහැ. අපි ඒක වෙනම කතා කරමු.”

Continue Reading

පුවත්

වැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට නඩු

Published

on

By

රජයේ පාලන මිළට වැඩියෙන් හාල් විකිණූ අම්බලන්තොට නගරයේ වෙළඳුන්ට පාරිභෝගික සේවා අධිකාරිය මගින් නඩු පැවැරීමට කටයුතු කලෙය.

සුදු කැකුළු හා රතු කැකුළු හාල් කිලෝවක් රුපියල් 220 බැගින් පාරිභෝගිකයින්ට අළවි කරන ලෙසට රජය මගින් පාලන මිලක් නියම කර ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක හාල් කිලෝවක් රුපියල් 260ක් හා 240ක් බැගින් අම්බලන්තොට නගරයේ වෙළඳසැල් වල අළෙවි කරන බවට හම්බන්තොට පාරිභෝගික සේවා අධිකාරියට ලැබුනු පැමිණිලි මත මෙම වැටලිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානභාර නිළධාරී ලක්ෂමන් රත්නායක මහතා පවසයි.

ඒ අනුව, උපාය දූතයෙකු යොදවා අම්බලන්තොට නගරයේ හාල් අළෙවි කරන වෙළඳසැල් කිහිපයකින් හාල් මිලදී ගැනීම සිදුකර ඇති අතර, සුදු කැකුළු හාල් කිලෝවක් රුපියල් 260ක් හා 240ක් බැගින් පාරිභෝගික සේවා අධිකාරියේ උපාය ධූතයාට වෙළඳසැල් හිමියන් අළෙවි කර තිබේ.

ඒ අනුව, අම්බලන්තොට නගරයේ ප්‍රධාන හාල් අළෙවි කරන වෙළඳසැල් දෙකකට රජයේ පාලන මිලට වැඩියෙන් පාරිභෝගිකයින්ට හාල් විකිණිමේ වරදට නඩු පැවැරීමට කටයුතු කළ ලක්ෂමන් රත්නායක මහතා පවසයි.

මෙහිදි හාල් වෙළඳුන් කියා සිටියේ, තොග වශයෙන් මෝල් හිමියන් හාල් ලබාදෙන මිල අනුව රජයේ පාලන මිලට අළෙවි කිරිමට නොහැකි බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved