කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකට අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 05 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය කොළඹ – දෙනියාය බස් රථයකි.
අනතුරෙන් බස් රථයේ සිරවී සිටින පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව මුදාගැනීමට කටයුතු කරන අතර අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවද පොලීසිය පවසයි.
තවද කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුපුරයේ දී අද (6) අලුයම 5ට පමණ පෞද්ගලික මගී බස් රථයක්,බවුසරයක් හා කන්ටේනරයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 20ක පමණ පිරිසක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව නිට්ටඹුව පොලිසිය පවසයි.
අම්පාර සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයකි.
බස් රථයට ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක් බසයේ බදේ ගැටෙන අතර එම අවස්ථාවේ පිටුපසින් පැමිණි බවුසරයක් ද බස් රථයේ පිටුපස වැදී ඇත.