Connect with us

පුවත්

කෝටි 433ක බදු පොලු තැබූ සමාගම් 5ක අධ්‍යක්ෂකවරුන්ගේ දේපළ ආණ්ඩුවට

Published

on

රුපියල් කෝටි හාරසිය තිස් තුනකට අධික (4,334,997,188) මහා පරිමාණ වැට් බදු පැහැර හැරීම් සිදුකර සිර දඬුවම් ලැබූ සමාගම් 5ක අධ්‍යක්ෂවරුන්ගෙන් හිඟ බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

මෙම සමාගම්වලට හෝ එහි අධ්‍යක්ෂවරුන්ට අයත් දේශීය හා විදේශීය නිශ්චල හා චංචල දේපළ පවරා ගැනීම හෝ වත්කම් පවරා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

යාන වාහන, යන්ත්‍ර සූත්‍ර, සමාගම් කොටස්, ස්ථාවර තැන්පතු ආදී මොන යම් හෝ දේපළකින් හිඟ බදු මුදල අයකර ගැනීමට පියවර ගනිමින් සිටින බවට වාර්තා වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ සඳහා මෙම සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු පරීක්ෂා කරමින් සිටින බව ය.

සිර දඬුවම් විඳීමෙන් පසුව නිදහස් වූ නමුත් මෙතෙක් බදු මුදල් ගෙවීමට අපොහොසත් වූ මෙම සමාගම්වල අධ්‍යක්ෂවරුන්ගේ හා සමාගම්වල තොරතුරු අනාවරණය විය.

මෙලෙස  වැට් බදු මුදල් පැහැර හැරීම සිදුකළ සමාගම් හා පුද්ගලයන්ගේ තොරතුරු මෙසේ ය.

  • කේ. ඒ. ගීත ප්‍රසංග රුපියල් 46,655,028ක වැට් බදු මුදලක් පැහැර හැර තිබේ. එම සමාගම් අධ්‍යක්ෂවරයා මේ වන විටත් සිර දඬුවම් විඳිමින් සිටියි.

සමාගම් අධ්‍යක්ෂවරුන් වන ආර්. ජී. ඇන්ඩ්‍රාඩෝ රුපියල් 40,066,805ක් සහ ජේ.ඒ. ජයසුන්දර 31,134,367ක හිඟ බදු ගෙවා නැත.

  • මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තොනි ජෝන් 3,983,937,872 ක මුදලක් ගෙවා නැති බව වාර්තා වේ.
  • සමරනායක සහ සමාගම, අධ්‍යක්ෂවරුන් එච්.ඒ.ඒ.ආර්.එම්. සමරනායක, ශ්‍රී රජෝර් ෂම්මුගනාදන් සහ ජී.එම්.එම්. තුෂානි රුපියල් 19,283,204ක් වැට් බදු පැහැර හැර තිබේ.

එම සමාගම පැහැර හරින ලද තවත් රුපියල් 213,919,912ක වැට් බදු මුදලක් ඇත. එම සමාගම යොමුකළ ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බලා මහාධිකරණයෙන් ඇප නියම කර ඇත.

සමාගම් අධ්‍යක්ෂ කේ. ඒ. ගීත ප්‍රසංග මේ වනවිටත් දඬුවම් විඳිමින් සිටින අතර අනෙකුත් සමාගම්වල අධ්‍යක්ෂවරුන් සියලු ම දෙනා සිරදඬුවම් විඳීමට පසුව නිදහස් වූ අය නමුත් ඔවුන්ගෙන් බදු මුදල් අයකර ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

  • වැට් බදු ගෙවීම පැහැර හැරීම සිදුකළ විජිත එන්ටප්‍රයිස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් එච්. එම්.එම්.බී. ගුණසේකර සහ ටී.කේ. අමරසිංහ රුපියල් 32,512,815ක හිඟ බදු මුදල මේ වන විට ගෙවා ඇත.
  • එසේ ම, නෝර්ත් සී සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඇන්ටොනි එමිලින් පයිල්, සෙබස්තියන් ජූඩ් සහ ඇන්තොනි ප්ලැසිඩස් ද රුපියල් 66,105,672ක හිඟ බදු ගෙවා තිබේ.

මූලාශ්‍රය – මව්බිම

පුවත්

ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්න අදත් සාකච්ඡාවක්

Published

on

By

ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (18) දිනයේ දී ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ශ්‍රී ලංකාවේ නියෝජිතයන් එක්වන සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.

දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ අදාළ රාජ්‍ය නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලොව පුරා රටවලින් එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා විශ්වීය තීරු බද්දක් පැනවීමට තීරණය කළේ පසුගිය අප්‍රේල් මස 03 වනදාය. එහිදී අවම ප්‍රතිශතය 10%ක් වූ අතර එය ඇතැම් රටවලට ඉතා ඉහළ අගයක් ප්‍රකාශයට පත්කර තිබුණි. 

ශ්‍රී ලංකාවට එහිදී පනවනු ලැබූවේ 44 %ක තීරු බද්දකි. 

මෙම නව බදු ප්‍රතිපත්තියට ලොව පුරා රටවලින් දැඩි විරෝධයක් එල්ල වූ අතර චීනය ප්‍රකාශ කළේ මෙම බද්ද ඉවත් නොකළහොත් ඊට දැඩි ප්‍රති පියවර ගන්නා බවයි. 

එක්සත්ව ඊට ප්‍රතිවිරෝධය දක්වන බව යුරෝපා සංගමය ද ප්‍රකාශ කර තිබුණි. 

එවන් පසුබිමක ශ්‍රී ලංකා රජය ඇමෙරිකා වෙළඳ නියෝජිතායතනය සමඟ වහාම සාකච්ඡා ආරම්භ කරමින් මේ සඳහා සංශෝධන එකඟතාවන්ට පැමිණීමට පියවර ගනු ලැබීය. ඒ පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි බලාපොරොත්තු සහගතව සිටි අතර ඒ අනුව පසුගිය 12 වැනි දා ඇමෙරිකාව ශ්‍රී ලංකාව වෙනුවෙන් 30% දක්වා අඩු කරමින් නව තීරුබදු යෝජනාවක් ලිඛිතව දැනුම් දෙන ලදී. එම 30% ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනය සමඟ අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමට ඉන් අනතුරුව තීරණය කරනු ලැබීය. 

ඒ අනුව අද දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හා අදාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ නිළධාරීන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.“

Continue Reading

පුවත්

දෙහිවල වෙඩිතැබීමක්

Published

on

By

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ්

Published

on

By

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා තවදුරටත් අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved