Connect with us

පුවත්

කෝප් කමිටුව, තරුණ සේවා සභාවේ හිටපු සභාපතිව කැඳවයි

Published

on

ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

මෙම චෙක්පත් සඳහා හිටපු සභාපතිවරයා අත්සන් කොට ඇත්තේ මෙම ගෙවීම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතියකින් තොරව, නිලධාරීන්ට බලපෑම් කරමින් 2024 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයට පෙර දින බවත් මෙහිදී හෙළි විය. 

මේ අනුව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමේදී නිලධාරීන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් පමණ ලැබුණු බවත් එවකට හිටපු සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් සහතික කොට චෙක්පත් නිකුත් කිරීමට සිදු වූ බවත්ය. තරුණ සේවා සභාවේ ගණන් දීමේ නිලධාරීයා ලෙස හිටපු සභාපතිවරයා නිර්දේශ කිරීමෙන් පසු එය කිරීමට සිදු වූ බවත් එසේ නොකළේ නම් තමන් ස්ථාන මාරු කිරීම් වලට ලක් කරන බවත් මෙහිදී නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ අනුව ජනාධිපතිවරණයට පෙර දින සවස රු. මිලියන 188 පමණ චෙක්පත් නිකුත් කිරීමට සිදු වූ බවත් මෙහිදී නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
මෙහිදි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ මෙය ඉතා සංවේදී කරුණක් බවයි. රාජ්‍ය නිලධාරීන් බිල්ලට දී ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා මුදල් අවභාවිත කොට ඇති බවයි. එසේම නිලධාරියාටද මෙවැනි කරුණු වලදී විරුද්ධවීමට පෞරුෂයක් පැවතිය යුතු බව ද පෙන්වා දුන් කාරක සභාවේ සභාපතිවරයා තමන්ට පැවරුණු කාර්යභාරය නිවැරදිව ඉටු කරන ලෙස සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.

මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වන අතරතුර ජාතික තරුණ සේවා සභාවේ එවකට සිටි මුදල් අධ්‍යක්ෂවරයා කාරක සභාවට පැමිණ සිටියද කාරක සභා‍ව අවසන් වන වේලාව වන තෙක්ම ඔහු අදහස් පළ නොකර සිටීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ විය. පහළ නිලධාරීන් අදහස් ඉදිරිපත් කරද්දී නිශ්ශබ්දව සිටීම කාරක සභාව නොමග යැවීමක් බවත් මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදී.

එසේම ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවීමට මෙහිදී තීරණය කෙරුණු අතර හෙට (20) මෙම සාකච්ඡාව වැඩිදුරටත් පැවැත්වීමට මෙම ආයතනය කෝප් කමිටුවට කැඳවීමට තීරණය කෙරුණි.

මෙම සියලු තොරතුරු අනාවරණය වුයේ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගමේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2021 නොවැම්බර් 16 දින පවත්වන ලද ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදි දීර්ඝ වශයෙන් 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8 කාලය තුළදී ජාතික තරුණ සේවා සභාව විසින් දියත් කරන ලද ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය, ජාතික තරුණ වෙසක් උළෙල, ජාතික තරුණ පොසොන් කළාපය, යාපනය තරුණ හමුව වැඩසටහන, 31 Night Youth Celebration සහ ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත වැඩසටහන වෙනුවෙන් වෙන්කොට තිබූ රු. 538,080,000/= ක මුදල් ප්‍රතිපාදන සහ ඒවා වියදම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. මේ අනුව මේ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තරුණ අභිවෘද්ධිය වැඩසටහන යටතේ රු. මිලියන 398 ක් පමණ වෙන්කර තිබුණද බිල්පත් වල අඩු පාඩු නිසා එම මුදල් ලබා නොදුන් බවත් මෙහිදී අනාවර්ණය විය.

එසේම වසර මුලදි සැපයුම් කරුවන් ලියාපදිංචි කරන බවත් පසුගිය කාලසීමාව තුළ එසේ නොමැතිව තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අභිමතය පරිදි ඔහු සඳහන් කළ පුද්ගලයන්ගෙන් ලංසු ලබාගෙන අදාළ සැපයුම් සිදු කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. තවද චෙක්පත් ලබාදීමේදී අදාළ පුද්ගලයා නොපැමිණ වෙනත් පුද්ගලයින්ට ඒවා රැගෙනයාම‍ට අවස්ථාව ලබා දී ඇති බවද මෙහිදී අනාවරණය විය.

මීට අමතරව ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගමේ මූල්‍ය විනය පවත්වා‍ගෙන නොයෑම පිළිබඳව සහ අභ්‍යන්තර විගණනයන් නොපැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය. එසේම ජාතික තරුණසේවා සභාවේ ස්ථිර තනතුරු දරන නිලධාරීන් 25 දෙනෙකු ස්ථිර හා තාවකාලික පදනම යටතේ ජාතික තරුණ සේවා සමූපකාර සමිතියේ තනතුරු සඳහා පත් කිරීම සම්බන්ධයෙන්ද, පූර්ව පෙ‍ාදු ව්‍යාපාර කාරක සභාවේ ගෙන ඇති තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

එසේම ගැටලු සහගත තත්ත්වයන් රැසක් පැහැදිලි වන බැවින් ජාතික තරුණසේවා සභාව, ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගම සහ ජාතික තරුණ සේවා සමූපකාර සමිතියේ අවශ්‍යතාවය සහ අනෙකුත් සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් කෝප් කාරක සභාවට ලබාදීමට මෙහිදි නිර්දේශ කරන ලදි.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම් මහතා, සමන්මලී ගුණසිංහ, කෝසල නුවන් ජයවීර, සුජීව දිසානායක, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

කර්තෘ සටහන – පාර්ලිමේන්තු සන්නිවේදන අංශය විසින් මෙසේ කොප් කමිටුව හමුවට කැඳවා ඇති සභාපතිවරයකුගේ නමක් සඳහන් නොවෙතත්, ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය පැවැති හා අවසන් ජනපතිවරණ සමයේ එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ 25 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකු වන පසිඳු ගුණරත්න මහතාය. මේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට ද චෝදනා එල්ලවී තිබේ.

ඡායාරූප සටහන

ජනපති මෙරට වතිකානු තානාපති කාර්යාලයට

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමිපාණන් විසින් පිළිගනු ලැබිණි.

අනතුරුව, උන්වහන්සේ සමඟ කෙටි කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක්ද තබමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ  සියලු ලෝකවාසී කිතුනු ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කර සිටියේය.

Continue Reading

පුවත්

ඡන්ද කාඩ් 85ක් එක්ක අත්අඩංගුවට ගත් අපේක්ෂිකාවට ඇප

Published

on

By

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සර්වජන බලයේ ලැයිස්තු අපේක්ෂිකාවක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 85ක් සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් අදාළ අපේක්ෂිකාව පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

රත්මල්යාය ප්‍රදේශයේ ලිපි බෙදාහරින තැපැල්කරු විසින් අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින ලෙස තමා සන්තකයේ තබාගිය බව ඇය පවසා තිබේ.

ගම්වාසීන් පිරිසක් අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම හේතුවෙන් තැපැල්කරුට එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට නොහැකි වීම හේතුවෙන් එලෙස ඒවා තමා  සන්තකයේ තබා ගිය බව ඇය අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් තමා මීට පෙරද තැපැල්කරු විසින් ලබාදෙන තැපැල්පත් ද ගම්වාසීන් වෙත බෙදාදෙන බව ඇය පවසා තිබේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර අපේක්ෂිකාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු 3 වන දින සිට අද (24) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 25කි.

ඊයේ දිනය තුළ ආධාරකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත ආධාරකරුවන් ගණන 98කි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (23) දිනය තුළ පමණක් මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 3ක් ලැබී ඇති බවය.

ඒ අනුව ලැබී ඇති සමස්ත අපරාධමය පැමිණිලි ගණන 61කි.ඊයේ දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 20ක් ලැබී අතර සමස්ත පැමිණිලි ගණන 222කි.

පසුගිය මාර්තු 3 වන දින සිට අද දක්වා වාහන 23ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Continue Reading

පුවත්

පුංචි ඡන්දෙට මැයි 5 සහ 6 පාසල් නිවාඩු

Published

on

By

මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මැයි මස 7වනදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතුය. 

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි.

ඇමුණුම් 01 හි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් ද පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේදී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බව ද වැඩි දුරටත් සඳහන් ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved