ඩුබායි රටේ සිටින ‘ගම්පහ පද්මේ‘ නමැති පාතාල සාමාජිකයාගේ සමීපතමයකුයැයි කියන ගිහාන් නමැති පස් ව්‍යාපාරිකයා ඊයේ (23) උදේ 7ට පමණ සීදුව කොටුගොඩ මාර්ගයේ ගලිගන්එළිය හන්දියේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි සීදුව පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ ගිහාන් නමැත්තා කැඳ අලෙවිසලක් වෙත පැමිණ සිටියදී යතුරුපැදියකින් පැමිණ ඇති නාඳුනන තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි පහරින් බරපතළ තුවාල ලබා රාගම රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස් තිබේ.
එම කැඳ කඩය පවත්වාගෙන යන 62 හැවිරිදි කාන්තාවටද වෙඩි වැදී තුවාල සිදු වීම හේතුවෙන් ඇයද රාගම රෝහලට ඇතුළත් කළ බව සීදූව පොලිසිය පවසයි.
වෙඩි තැබූ ස්ථානයේ තිබී 9 එම්.එම්. වර්ගයේ පිස්තෝලවලට යොදන හිස් පතුරම් කොපු 11ක් සොයාගත් බවද පොලිසිය කීය.
රද්දොළුගම, ලාහුවල පාරේ පදිංචි කොටගෙදර ලියනගේ ගිහාන් කාංචන පෙරේරා නමැති 39 හැවිරිදි මරණකරු 2018 වර්ෂයේ ජනවාරි මස ගම්පහ, බටපොත ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධව තොරතුරු දීමේ චෝදනා මත බන්ධනාගාරගතව සිට පැමිණි අයකු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු බැකෝ යන්ත්‍ර සහ ටිපර් රථ යොදාගෙන පස් ව්‍යාපාරය සිදු කරන අයකු වන අතර, නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පපහරින් මියගිය පස් පොඩ්ඩා නමැත්තාගේ සමීපතමයකු බවද පොලිසිය කියයි.
පස් ව්‍යාපාරය සම්බන්ධයෙන් ගම්පහ, කෙහෙල්බද්දර, කොටුගොඩ ඇතුළු අවට ප්‍රදේශ රැසක කණ්ඩායම් දෙකක් අතර කලක පටන් පවතින විරසකය මෙම ඝාතනයට හේතු වී ඇති බව පැවසේ.