Connect with us

පුවත්

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි

Published

on

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය දා පැවැත්වූ සැමරුමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් තමාට එල්ල කරනු ලැබූ  චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

කාදිනල් හිමිපාණන් විසින් එල්ල කරන ලද ප්‍රධාන චෝදනා 4ක් උපුටා දක්වමින් අදාළ මෙම නිවේදනය නිකුත් කර ඇත.

– උපුටා ගැනීම – 

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මට එරෙහිව කරන ලද චෝදනා සම්බන්ධවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත සඳහන් චෝදනා එල්ල කරන ලදී.

• පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මට ලැබුණු දිනට පසු දිනම මා කාදිනල් හිමිපාණන්ට දුරකථනයෙන් කතා කර එම වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගියහොත් මට සහාය වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට පවා සිදුවෙන බැවින්, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව උන්වහන්සේ වෙත මා දන්වා සිටි බව.

• මම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ පිටපතක් කාදිනල්තුමාට ලබා දීම ප්‍රමාද කළ බවත්, ඉතිරි වෙළුම් එතුමාට ලබා නොදුන් බව.

• පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විවිධ කමිටු සහ කොමිෂන් සභා විසින් කරන ලද නිර්දේශ වලින් කිහිපයක් පමණක් තෝරා බේරා ක්‍රියාත්මක කිරීමට මා විසින් අමාත්‍යවරුන් හය දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත් කළ බව.

• පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ස්ථාන මාරු වීම් ලබා දී, එම විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා එක් උසස් සීඅයිඩී නිලධාරියෙකු සිරගත කිරීමට පවා මා කටයුතු කළ බව.

පළමු චෝදනාව සම්බන්ධයෙන් ගත් කල, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබුණු විගස මා කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කොට මට හිතවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදු වෙන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව පවසා සිටියේ නැති බව මම තරයේ ප්‍රකාශ කර සිටිමි.

මුස්ලිම් ප්‍රජාව මට ඡන්දය නොදුන් බවත්, ජනාධිපතිවරණයේ දී ඔවුන් මගේ අපේක්ෂකත්වයට සහාය නොදැක්වූ බවත්, කවුරුත් දන්නා කරුණකි. ඒ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයට තිබෙන සම්බන්ධයක් හේතුවෙන් තහනම් කළ යුතු වන මොනම සංවිධානයක් තුළවත් මට හිතවත් පුද්ගලයන් කිසිසේත්ම සිටිය නොහැකිය.

කාදිනල්තුමන්ගේ දෙවන චෝදනාව ගත් කල, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත භාර දෙන ලද්දේ 2021 පෙබරවාරි 1 වෙනිදාය. එය මා විසින් අධ්‍යනය කර, නීතිපතිවරයාට ද යොමු කර, 2021 පෙබරවාරි 23 වැනි දින එම වාර්තාව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලදී. 2021 මාර්තු 1 වෙනි දින වන විට එහි පිටපත් අතිපූජනීය මහානායක හිමිවරුන්ට, කාදිනල්තුමාට සහ කතෝලික රදගුරුතුමන්ලාට ලබා දීමට අපි කටයුතු කළෙමු. එම නිසා අදාළ වාර්තාව කාදිනල්තුමාට භාරදීමේ ප්‍රමාදයක් සිදු වූ බවට කරන චෝදනාව මම පිළිගන්නේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබීමෙන් පසු එම වාර්තාවේ සහ ඊට කලින් එළිදක්වන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වය අනුව ලැයිස්තුගත කිරීමටත්, එම කාර්යයන් අදාළ රජයේ දෙපාර්තමේන්තු හා ආයතන වෙත බෙදා දීමටත් සය පුද්ගල කැබිනට් අනුකමිටුවක් මම පත් කළෙමි. රාජ්‍ය පරිපාලන ක්‍රියා පටිපාටිවලට අනුව, කැබිනට් මණ්ඩලයේ එවැනි උපදෙස් නොමැතිව රජයේ දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකිය.

2019 නොවැම්බර් මාසයේ දී පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසම විසින් එවක සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ස්ථාන මාරුවක් ලබා දෙන ලදී. ඒ කාලයේ පැවතියේ පසුගිය රජය විසින් 19 වැනි සංශෝධනය යටතේ පත් කළ ජාතික පොලිස් කොමිසමය. ඊට සති කිහිපයකට පසු, මෙම පොලිස් නිලධාරියා මහාධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එවක සිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමග කළ දුරකථන සංවාද පිළිබඳ විමර්ශනයක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම කටයුතු කළේය. ඉන් මාස කිහිපයකට පසු, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහි අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කිරීම පිළිබඳව මතු වූ චෝදනාවක් ගැන විමර්ශනයක් හේතුවෙන් අධිකරණය විසින් එම නිලධාරියාව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. එම නිසා, පාස්කු ඉරිදා විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් දී, රිමාන්ඩ් භාරයට පවා පත් කළ බවට කාදිනල්තුමා මට එල්ල කළ චෝදනාව මම ප්‍රතික්ෂේප කරමි.

අදාළ සීඅයිඩී අධ්‍යක්ෂවරයා 2017 වසරේ එම ධුරයට පත් කර තිබුණු අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවත් මාස හතකට අධික කාලයක් ඔහු එම තනතුරේ දිගටම කටයුතු කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මාස කිහිපය තුල දී එම ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින්ම සිදු කරන ලද වව්නතිව් ඝාතන, මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළේ එම අධ්‍යක්ෂකවරයා යටතේ පැවති සීඅයිඩී යයි. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මීට වඩා විමසිලිමත් වූයේ නම් සහරාන් ඇතුළු පිරිස පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගෙන එම ප්‍රහාරය වැළැක්වීමට හැකිව තිබූ බව ජනාධිපති කොමිසම ද ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එම ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම අදාළ අධ්‍යක්ෂකවරයා යටතේ පැවති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අසමත් වීමකි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට මා අපොහොසත් වූ බව කාදිනල්තුමා ඉහත සඳහන් කතාවේ දී මට චෝදනා කර සිටියේ ය. කෙසේ වෙතත් අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදු කරන්නේ දේශපාලනඥයින් නොව පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එක්ව ක්‍රියා කිරීමෙනි. එම ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින අතර මාධ්‍යවලට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 93 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නීතිමය කටයුතු ආරම්භ වී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදු කරන ලද්දකි. එම බෝම්බ ප්‍රහාර සිදු කළ පුද්ගලයන් හා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබඳව එවක රජයේ ඉහළම විමර්ශන ඒකකය වූ සීඅයිඩීය 2019 පාස්කු ඉරිදාට පෙර මාස ගණනාවක් මුළුල්ලේ විමර්ශනය කරමින් සිටි නමුත් ප්‍රහාරයට පෙර අදාළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් විය. මෙකී පාර්ශ්වයන් දෙකේම වගකීම එක්කෝ නොසලකා හැරීමට නැතිනම් ඔවුන්ව ප්‍රකාශිතවම වගකීමෙන් නිදහස් කිරීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කරන අතරතුරම, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මට එරෙහිව නිරන්තරයෙන්ම චෝදනා එල්ල කරන ආකාරය මහජනතාව හොඳින් නිරීක්ෂණය කළ යුතුය.

ගෝඨාභය රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති

-උපුටා ගැනීම අවසන් –

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved