ලංකාවට එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස පසුගියදා පත් වූ මාර්ක්-ආන්ද්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා ඊයේ (24) පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර ලිපිය ප්‍රදානය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන හවුල්කාරිත්වය සම්බන්ධයෙන් එම මහතා සිය ප්‍රශංසාව පළ කර ඇති අතර, තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීම සඳහා මෙරට සිටින එක්සත් ජාතීන්ගේ සංවිධාන කණ්ඩායමේ කැපවීම ද යළිත් සහතික කළේය.
වත්මන් තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකේය ජනතාව මුහුණ දෙන පීඩනයන් හා අභියෝග තේරුම්ගත් මාර්ක්-ආන්ද්‍රේ මහතා, මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කර තිබේ. වඩාත් අවදානමට ලක්විය හැකි අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, තිරසාර ආර්ථික ප්‍රකෘතියක් සඳහා රජය සමඟ එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතීන් ගේ සංවිධානය කැපවී සිටින බවට ඔහු සහතික විය.
දේශගුණික වෙනස්වීම සම්බන්ධ න්‍යාය පත්‍රය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජාතික කැපවීම් මෙන්ම උතුරු – නැගෙනහිර පළාත් ඇතුළු ප්‍රජාවන්ගේ ජීවනෝපාය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වන සංහිඳියාව, මානව හිමිකම් සහ සංවර්ධන මුලපිරීම් ඉලක්ක කරගත් අඛණ්ඩ පියවරයන් පිළිබඳව මාර්ක්-අන්ද්‍රේ මහතා සහ ජනාධිපති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ණය ප්‍රතිකර්ම කටයුතු සාධාරණ ලෙස සිදුකිරීම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන් ලබාදෙන සහය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බවද පවසන ජනාධිපති මාධ්‍ය අංශය, ජනාධිපතිවරයා විසින් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ සැලසුම් මෙහිදී ඉදිරිපත් කළ බවද කියා සිටියි.