Connect with us

පුවත්

ජපන් –  ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල 70 වැනි සංවත්සරය සැමරේ

Published

on

ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කළ උත්සවයක් පසුගිය 16දා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට යෙදුණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සවයට කථානායක – මහින්ද යාපා අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය – ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය – රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.    

උත්සව සභාව අමතමින් කතා කළ තානාපති මිසුකොෂි මහතා, දෙරට අතර සිදුකරන ලද ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය තුළ සිදුකර ඇති ජපන් ආයෝජන, ශ්‍රී ලංකාව තුළ ජපන් භාෂා අධ්‍යාපනයේ මෑත කාලීන ප්‍රගතිය සහ ජපාන අධිරාජ්‍යයා හා විදේශ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලාංකිකයින් වෙත පිරිනමා ඇති ගෞරව සම්මාන ආදිය පිළිබඳව සිහිපත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා, පසුගිය ජූලි මාසයේදී පවත්වන ලද ‘තනබතා’ උත්සවය, සැප්තැම්බර් සම පැවැත්වූ මිත්‍රත්ව පාගමන හා සැන් ෆ්‍රැන්සිස්කෝ සාම ගිවිසුම් සැමරුම සහ දෙසැම්බර් මස පැවති ‘බොන් ඔදොරි’ උත්සවය, වැනි ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව ශක්තිමත් කළ අවස්ථාවන් පිළිබඳව මතකාවර්ජනයක යෙදුණු අතර, 70 වැනි සංවත්සර සැමරුම සාර්ථක කරගැනීමට දායකත්වය ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා නිල පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ ජාතික තරුණ සේවා සභාව ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජපානය හා සම්බන්ධිත සමාගම්, සංවිධාන සහ ආයත ඇතුළු සියළුදෙනා වෙත සිය කෘතඥතාවය පළ කර සිටියේය.    

ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු මිත්‍රත්වයේ සහ බැඳීමේ මෙම සන්ධිස්ථානයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා ශ්‍රී ලංකාව කෙරෙහි ජපන් රජය විසින් දක්වා ඇති දායකත්වය, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය තුළ සිදුකර ඇති ජපන් ආයෝජන, රාජ්‍ය නිළධාරි මට්ටමින්, අධ්‍යාපන, විද්‍යා තාක්ෂණ, පර්යේෂණ සහයෝගීතා, ආරක්ෂක, සංස්කෘතික සහ ආගමික යනාදී අංශ ඔස්සේ දෙරට අතර ඇති සහයෝගීතාවය පිළිබඳව සිහිපත් කළේය.

මෙම සුවිශේෂී අවස්ථාවේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 70 වෙනි සංවත්සරය සනිටුහන් කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කරන ලදී.

මෙම සමරු මුද්දරය හා මුල්දින කවරය නිර්මාණය පිණිස යොදාගත් සිතුවම් ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වනු ලැබූ තරගයකින් තෝරාගනු ලැබූ අතර, හසිනි දිනේෂිකා මෙනවිය සහ රශ්මි දෙව්මිණි මෙනවිය විසින් ඒවා නිර්මාණය කර ඇත.                

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ පළමු රැස්වීම් දිනය ලෙස අද (20) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද පෙ.ව 9.30 – පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්

පෙ.ව. 11.00 -11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා නිෂ්පාදන බදු (විශේෂ විධිධාන) පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය.

ප.ව 5.00 සිට ප.ව 5.30 කාලය විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට නියමිතය.

Continue Reading

පුවත්

අපරාධකරුවන් මර්දනයට STF කණ්ඩායම් 15ක්

Published

on

By

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සඳහා පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායම් 15ක් යොදවා තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම කණ්ඩායම් විසින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 18ක් පිළිබඳ විමර්ශනය කරන බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉන් සිදුවීම් 31ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලිවල මෙහෙයවීමෙන් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

බීමතින්  පාසැල් දරුවන් ප්‍රවාහනය කරමින් සිටි රියැදුරෙක් අත්අඩංගුවට

Published

on

By

බීමතින් සිසුසැරිය බස් රථයක් ධාවනය කරමින් සිටි බස්රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) දහවල් කාලයේ දී කටුපොත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් කටුපොත නගරයේ සිසුසැරිය බස්රථයක් පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී අදාළ රියදුරා බීමතින් සිටින බවට අනාවරණය වී ඇති අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 52ක් වූ රදලියගොඩ, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ බස් රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී බස්රථය තුළ පාසල් ළමුන් 16 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇත.

අදාළ බස් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු අද (20) නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට හා රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරන්තරයෙන් මෙහෙයුම් සිදුකරමින් සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved