Connect with us

පුවත්

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

Published

on

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (19) දින පාර්ලිමේන්තුවේදී සිය සහතිකය සටහන් කරන ලදී.

ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ හඳුනාගෙන ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයකට අදාළව විසඳුම් ලබා දීම සඳහාත්, දැනට නියාමනය නොවන ප්‍රවාහන ක්ෂේත්‍ර කිහිපයක් නියාමනය කිරීම සඳහාත් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන  කොමිෂන් සභා පනතේ විධිවිධාන කිහිපයක් වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කරමින් සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත 2025.05.08 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලදී. 

ඒ අනුව 2025.06.05 දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සමත්විය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කල ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා, මෙම පනත සංශෝධනයට පෙර ජාතික ගමනාගමන කොමිසමට නියාමනය කිරීමට හැකිවුයේ අන්තර් පළාත් අතර සිදුකෙරෙන පෞද්ගලික බස්රථ ධාවනය පමණක් බව පැවසුවේය.

පාසල් වෑන් රථ, කාර්යාල වෑන් රථ, ත්‍රීරෝද රථ සහ භාණ්ඩ ප්‍රවාහන ආයතන හා මාධ්‍යන් ඇතුළු අනෙකුත් වාහන ද ජාතික ගමනාගමන කොමිසමට නියාමනය කිරීමට හැකියාව ලැබෙන අයුරින් හා ඒ සඳහා අවශ්‍ය නව ආයතන ස්ථාපිත කිරීමට අවසර ලැබෙන පරිදි මෙම පනත සංශෝධනය වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දිගු දුර ගමන් බස් රථ භාවිතා කරනු ලබන අවන්හල් නියාමනය කිරීමටත්, බස් රථ වල ප්‍රමිතිය නියාමනය කිරීමටත්, මාර්ග බලපත්‍ර සහිත බස් රථයක් අලෙවි කිරීමේදී එය මිලදී ගන්න පුද්ගලයාට එහි අයිතිය ලබාගැනීම සඳහා පැවති නීතිමය බාධාවත් සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.

පුවත්

ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්න අදත් සාකච්ඡාවක්

Published

on

By

ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (18) දිනයේ දී ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ශ්‍රී ලංකාවේ නියෝජිතයන් එක්වන සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.

දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ අදාළ රාජ්‍ය නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලොව පුරා රටවලින් එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා විශ්වීය තීරු බද්දක් පැනවීමට තීරණය කළේ පසුගිය අප්‍රේල් මස 03 වනදාය. එහිදී අවම ප්‍රතිශතය 10%ක් වූ අතර එය ඇතැම් රටවලට ඉතා ඉහළ අගයක් ප්‍රකාශයට පත්කර තිබුණි. 

ශ්‍රී ලංකාවට එහිදී පනවනු ලැබූවේ 44 %ක තීරු බද්දකි. 

මෙම නව බදු ප්‍රතිපත්තියට ලොව පුරා රටවලින් දැඩි විරෝධයක් එල්ල වූ අතර චීනය ප්‍රකාශ කළේ මෙම බද්ද ඉවත් නොකළහොත් ඊට දැඩි ප්‍රති පියවර ගන්නා බවයි. 

එක්සත්ව ඊට ප්‍රතිවිරෝධය දක්වන බව යුරෝපා සංගමය ද ප්‍රකාශ කර තිබුණි. 

එවන් පසුබිමක ශ්‍රී ලංකා රජය ඇමෙරිකා වෙළඳ නියෝජිතායතනය සමඟ වහාම සාකච්ඡා ආරම්භ කරමින් මේ සඳහා සංශෝධන එකඟතාවන්ට පැමිණීමට පියවර ගනු ලැබීය. ඒ පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි බලාපොරොත්තු සහගතව සිටි අතර ඒ අනුව පසුගිය 12 වැනි දා ඇමෙරිකාව ශ්‍රී ලංකාව වෙනුවෙන් 30% දක්වා අඩු කරමින් නව තීරුබදු යෝජනාවක් ලිඛිතව දැනුම් දෙන ලදී. එම 30% ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනය සමඟ අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමට ඉන් අනතුරුව තීරණය කරනු ලැබීය. 

ඒ අනුව අද දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හා අදාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ නිළධාරීන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.“

Continue Reading

පුවත්

දෙහිවල වෙඩිතැබීමක්

Published

on

By

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ්

Published

on

By

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා තවදුරටත් අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved