Connect with us

පුවත්

ජාතික ජන බලවේගයේ අවුරුදු සුබ පැතුම් පණිවිඩය

Published

on

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, උතුර දකුණ බටහිර නැගෙනහිර සියලු ජාතිකත්වයන්ට අයත් ජනතාව, භේද දුරලමින් ජනතාවාදී පාලනයක අවශ්‍යතාව සමග පෙළගැසෙමින් සිටින්නේ එම සුභ නැකත එළඹෙන තුරු බවත් රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් වනු ඇතැයි සුභාශිංසන ගෙන එන බවයි.

අනුර දිසානායක මහතා ගේ සුබ පැතුම පහතින් දක්වා ඇත.

නව ජාතික පුනරුදයක් සඳහා වන ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් කරගනිමු!

ශ්‍රී ලාංකේය සිංහල සහ දෙමළ ජනතාව විසින් නව අවුරුදු උදාව නිමිති කර ගනිමින් උත්සවාකාරයෙන් සමරනු ලබන මහා සංස්කෘතික උළෙල මෙවර අප්‍රේල් 13 දිනට යෙදී තිබේ. සාම්ප්‍රදායික විශ්වාසය අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක්‍රයක් සම්පූර්ණ කිරීම අනුව එළඹෙන අලුත් අවුරුදු උදාව සැමරීමට එක්වන සිංහල දෙමළ ජනතාවට අපි සුභාශිංසන එක්කරනු කැමැත්තෙමු.

අලුත් අවුරුදු උත්සවය නිවසේ ඇති ද්‍රව්‍යවල සිට ජන ජීවිතයට සම්බන්ධ සියලු අංගයන්හි අලුත් වීමක් හෝ අලුත් කර ගැනීමක් සමග බැඳී තිබෙනවා පමණක් නොව එය පෙරළා ජන ජීවිතයට සාධනීය ලෙස බලපාන සමාජ සංසිද්ධියක්ද වේ. කලක් පවත්වාගෙන පැමිණි අනවශ්‍ය දෑ ඉවත් කර ගේදොර මෙන්ම ජීවිතයද නැවුම් බවකින් පුරවා ගැනීමට එය ඉඩකඩ නිර්මාණය කරයි. එම නැවුම් බවට මෙතෙක් තමන් ආ ගමන දෙස අලුතින් සිතා බැලීමට කරනු ලබන පෙළඹවීමද ඇතුළත්ය.

පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාවගෙන් බොහෝ පිරිසකට නව අවුරුද්ද තම අපේක්ෂාව අනුව උත්සවාකාරයෙන් සැමරීම පිළිබඳව සිතීම පවා වේදනාකාරී අත්දැකීමක් විය හැකිය. එසේ වී ඇත්තේ චක්‍රයක් සම්පූර්ණ කරමින් අලුත් අවුරුද්ද උදා වූ නමුදු, පැවති හා පවතින පාලනයන් විසින් වසර 76ක් පුරා ලාංකේය සමාජය ජනතා අපේක්ෂා සුන් කරන එකම දුෂ්ට චක්‍රයක ගමන් කරවීම හේතුවෙනි. ලැබෙන පළමු මොහොතේම පවත්නා දුෂ්ට හා දූෂිත සමාජ ආර්ථික දේශපාලන චක්‍රයෙන් ඉවත් වී බංකොලොත් වී ඇති රට ඉන් ගොඩගන්නා වූ සහ දියුණු හා සාධාරණ සමාජයක් වෙත ඔසවා තබන්නා වූ ජනතාවාදී පාලනයක් තෝරා ගැනීමට එළඹි අලුත් අවුරුද්ද විසින් ඉඩහසර විවර කර ඇත. අලුත් අවුරුද්දේ ඇති කර ගන්නා වූ ප්‍රාර්ථනා සැබැවින්ම ඉටු වනු ඇත්තේ එවැනි තත්වයක් තුළ පමණි.

උතුර දකුණ බටහිර නැගෙනහිර සියලු ජාතිකත්වයන්ට අයත් ජනතාව, භේද දුරලමින් ජනතාවාදී පාලනයක අවශ්‍යතාව සමග පෙළගැසෙමින් සිටින්නේ එම සුභ නැකත එළඹෙන තුරුය. රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් වනු ඇතැයි අපි සුභාශිංසනය කරමු.

පුවත්

බොරු මැණික් විකිණීමට ගිය 6ක්  අත්අඩංගුවට

Published

on

By

නිධානයකින් ලබාගත් ලද බවට පවසමින් ව්‍යාජ මැණික්ගල් පෙන්වා මුදල් වංචා කිරීමට තැත්කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (25) දහවල් කාලයේදී කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත කටුගස්තොට නගරයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 හා 51 අතර වයස්වල පසුවන හෙයියන්තුඩුව, ගාල්ල, හිනිදුම සහ ඇතුල්කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය හබරකඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි.

මෙම සැකකරුවන් ව්‍යාජ මැණික්ගල් තැරැවුකරුවන් මාර්ගයෙන් ගැණුම්කරුවෙකු සම්බන්ධකර විකිණීම සඳහා ගාල්ල, නෙළුව ප්‍රදේශයේ සිට කටුගස්තොට ප්‍රදේශයට පැමිණ ඇත.

තරැවුකරුවන් විසින් මෙම මැණික්ගල් ව්‍යාජ මැණික්ගල් බවට අනාවරණය කරගෙන ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය දැනුම්වත් කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් හා සැකකාරිය ඊයේ (25) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

Published

on

By

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (26) පෙ.ව 10.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (27) පෙ.ව 10.30 තෙක් වලංගුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු මැද, දකුණු, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Continue Reading

පුවත්

“ලංකාවේ ලොකුම සන්ධානය අපි හදනවා”

Published

on

By

ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකාවේ ලොකුම හා ශක්තිමත්ම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගනිමින් ආරම්භ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ ගණනාවක් දැනටමත් තම සන්ධානයට සහයෝගය පළ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරන්නේය.

එමෙන්ම විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් අම්බලන්තොට රැලියට ජුනි 8 වැනිදා සහභාගී වීමට නියමිතව ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved