Connect with us

පුවත්

ජාතික පර්යේෂණ පිළිබඳ පාර්ශ්වකරුවන් දැනුවත් කෙරේ

Published

on

ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබු ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ තෙදින වැඩසටහන ඊයේ (03) අරලියගහ මන්දිරයේදී සාර්ථකව අවසන් විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රි, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහමඩ් නවවි සහ ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර යන මහත්වරු මෙම තෙදින වැඩසටහනට ආරාධිතයෝ ලෙස සහභාගි වූහ.

විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.ඩබ්.ඒ. රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මැදිහත් වීම යටතේ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ මෙහෙය වීමෙන් මෙම ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා දෙස් විදෙස් විද්වතුන් රැසකගේ සම්පත්දායකත්වය ලැබී ඇත.

මෙම වැඩසටහනේදී විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් ජාතික පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව සහභාගීවූවන් දැනුවත් කරන ලදී.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය අනුව යමින්, දැනුම පදනම් කර ගත් සමෘද්ධිමත් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව මෙහෙය වීමට අවශ්‍ය ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේදී, ඒ සඳහා පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය ලබා ගැනීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ.

ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී, ජාතික අවශ්‍යතා සමඟ සමපාත වීම සහතික කිරීම වෙනුවෙන් පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙහිදී සිදු කෙරිණි. ඒ අනුව එම ක්ෂේත්‍රයට අදාළ වත්මන් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය මධ්‍යගත යාන්ත්‍රණය සකස් කිරීම සඳහා අනාගතවාදී ප්‍රතිපත්තියක් සැකසීම මෙයින් අපේක්ෂා කෙරේ.

මෙහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා, පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වයක් සහ වටිනාකමක් ලබා දෙන මනා දැක්මක් සහිත නායකත්වයක් වර්තමානයේ පවතින බව පෙන්වා දුන්නේය. ආර්ථික ප්‍රගතිය, සමාජ යහපැවැත්ම සහ පාරිසරික තිරසරභාවය මෙම ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ ප්‍රධාන පරමාර්ථ බව සඳහන් කළ ඒ මහතා, එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධනය යොදා ගන්නා ප්‍රමාණය 60%ක් පමණක් බවත්, ඉතා ඉහළ බුද්ධි මට්ටමකින් යුතු ජනතාවක් මෙරට සිටින බැවින් ඔවුන්ගේ ශක්‍යතාවලින් නිසි ප්‍රයෝජන ගැනීමට මෙම ප්‍රතිත්තිමය එළැඹුම ඉතා වැදගත් වන බව වැඩිදුරටත් පැවසීය

ලෝකයේ සංවර්ධිත රටවල් පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 3% – 5% අතර ප්‍රමාණයක් වෙන් කරන අතර, ශ්‍රී ලංකාව වැනි රටවල් මෙම ක්ෂේත්‍රය සඳහා මෙතෙක් වෙන් කර ඇත්තේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත්, වත්මන් රජය යටතේ එම තත්ත්වය වෙනස් වීම සතුටට කරුණක් බවත් පැවසූ උඩුගමසූරිය මහතා පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීම නවෝත්පාදන ක්ෂේත්‍රයේ උන්නතියට මෙන්ම ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.ඩබ්.ඒ. රොහාන් ප්‍රනාන්දු  මහතා වැඩසටහනෙහි ආරම්භක දේශනය සිදු කරමින් සඳහන් කළේ, පර්යේෂණ සඳහා නෛතික රාමුවක් මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ආචාරධාර්මික රාමුවක් මෙම ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත මගින් යෝජනා කෙරෙන බවයි. මෙමගින් ඉන්දියාව, චීනය, මැලේසියාව සහ කොරියාව ආදී රටවල්වල පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍ර හා සමානව ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අපේක්ෂිත බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, මෙරට තුළ පර්යේෂණයට සහ නවෝත්පාදනයට හිතකර පරිසරයක් ඇති කිරීම, පර්යේෂකයන් සහ  නවෝත්පාදකයින් දිරිගැන්වීම, ජාතික සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගනිමින්, ඒ වෙත යොමු වූ නව නිපැයුම් හා පර්යේෂණ සඳහා පුළුල් වේදිකාවක් සැකසීම, එම පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණවත් මූල්‍යමය ප්‍රතිපාදන වෙන් කිරීම, නිසි ලෙස වාණිජකරණයට ලක් කිරීම ආදී අරමුණු 10ක් මුල් කර ගනිමින් මෙම ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර තිබේ.

සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම, සඵලදායී පාලනය, විශ්වාසනීයත්වය සහ පාරදෘශ්‍යභාවය තහවුරු කිරීම, විවිධත්වය පිළිගැනීම සහ අන්තර්කරණය ආදී මූලධර්ම 07කින් යුතුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර මෙම ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආදී කරුණුද අවධානයට ගෙන තිබීම විශේෂත්වයකි. රජය, පෞද්ගලික අංශය, සාමාන්‍ය ජනතාව, ජාත්‍යන්තර කොටස්කරුවන් යන අංශ හතරෙහි ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එසේම,  කෘෂිකර්මය හා ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය, විද්‍යා සහ අධ්‍යාපන, තාක්ෂණ අංශ, ස්වභාවික සම්පත්, ආර්ථික සහ ජාතික ආරක්ෂාව, කලාව සහ මානව සංවර්ධනය ආදී ප්‍රධාන තේමා 07ක් ඔස්සේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය වර්ගීකරණයට  ලක් කර ඇත.

වැඩසටහනේ සමාප්ති දේශනය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහමඩ් නවවි මහතා විසින් සිදු කරන ලද අතර, මෙම වැඩසටහන තනිව නොව කණ්ඩායමක් ලෙස සාමුහිකව, සහයෝගීතාවෙන් ක්‍රියාවට නැංවිය යුත්තක් බවත්, ඒ සඳහා සියලු පාර්ශ්වයන්ට ආරාධනා කරන බවත් පැවසීය.

තෙදිනෙහිම පස්වරු 2.00 සිට 4.00 දක්වා පැවති දැනුවත් කිරීමේ සැසිය අවසානයේ පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා  ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබූ අතර, මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුළු විද්වත් මණ්ඩලය විසින්  ඒ සඳහා පිළිතුරු හා පැහැදිළි කිරීම් සපයන ලදී.

මෙම තෙදින වැඩසටහන තුළ අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු, පීඨාධිපතිවරු, අංශ ප්‍රධානීනු ඇතුළු විද්වත්හු, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතන නියෝජිතයෝ, ස්වාධීන පර්යේෂකයෝ ආදී වශයෙන් 650කට අධික පිරිසක් එක්ව සිටියහ.

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved