Connect with us

පුවත්

ජාතික පුෂ්පය නිල් මානෙල්ද? මානෙල්ද?

Published

on

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා වූයේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්‌ ද යන මැයෙන් වසර ගණනාවක් තිස්සේ නොවිසඳුනු හා මත භේදයට තුඩු දී තිබු ගැටලුව පිළිබඳ දීර්ඝ ඉදිරිපත්කිරීමක් කරන ලදී.

මහාචාර්ය යකන්දාවල ඉදිරිපත් කළ පරිදි මෙරට ජාතික පුෂ්පය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1986 පෙබරවාරි 26 සිට ය. එනම් ජාතික පුෂ්පය නිල් මානෙල්  බවට නිල වශයෙන් කැබිනට්‌ පත්‍රිකාවක් මගින් ප්‍රකාශයට පත් කොට තිබේ. නමුත් එහි නිල් මානෙල් මල පිළිබිඹු කිරීමට භාවිත කොට ඇත්තේ දම් පැහැති මානෙල් මලක ඡායාරූපයක් වන අතර එය සැබෑ නිල් මානෙල් මල නොවන බව මහාචාර්යවරයා පැවසීය.

ඒ අනුව, 1986දී සිදුවූ මෙම වරද මහාචාර්යවරයා ඇතුළු පිරිස විසින් 2010 වසරේදී එවකට සිටි ජනාධිපතිවරයාට, පරිසර අමාත්‍යවරයාට, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට, හ‍ා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරියට දැනුම්දී තිබේ. ඒ අනුව 2015දී ජාතික පුෂ්පයේ නිවැරදි ඡායාරූපයක් ඇතුළත් කොට තිබේ. නමුත් 2015දී පරිසර අමාත්‍යාංශය විසින් නිවැරදි මලෙහි ඡායාරූපයක් ප්‍රකාශයට පත් කරන අතරම ලංකාවේ ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් මල ලෙසත් ඉංග්‍රීසි නාමය බ්ලූ වෝටර් ලිලී සහ දමිළ නාමය ලෙස නීලෝත්පලම් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහිදි පරිසර අමාත්‍යාංශය විසින් පෙන්වා දුන්නේ නිල් මානෙල් නාමය මානෙල් ලෙස වෙනස් වීමට හේතු වූයේ ඒ පිළිබඳ සිංහල භාෂා ප්‍රවීණයෙකු වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාගෙන් විමසීමේදී එතුමන් විසින් දක්වන ලද මතය බවයි. එහිදී එතුමාගේ මතය අනුව මානෙල් යන්නෙහි අර්ථය වන්නේ උතුම් වූ නිල් පුෂ්පය බැවින් ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් ලෙස යෙදීම සුදුසු බවට යෝජනාවී තිබේ.

මෙහිදි මහාචාර්ය යකන්දාවල මහතා අවධාරණය කරන ලද්දේ ගෝලීයව පිළිගත් ශාක වර්ගිකරණය පිළිබඳ සම්මතයන්ට අනුව, විද්‍යාත්මක නාමය වෙනස් කිරීමට යටත් විය හැකි නමුත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පොදු ජන වහරේ භාවිතා වූ පොදු නම් වෙනස් නොකළ යුතු බවයි.

මෙහිදි මහාචාර්ය දෙපළ දක්වා සිටියේ මානෙල් යනු පොදු නාමයක් වන අතර ශ්‍රි ලංකාව තුළ දම් මානෙල්, සුදු මානෙල්, නිල් මානෙල් ආදී මානෙල් වර්ග රාශියක් පවතින නිසා ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස නිවැරදී වියයුතු බවයි.

1986දී ජාතික පුෂ්පය තෝරා ගැනීමේ කමිටුව විසින් සලකා බලන ලද නිර්ණායක වන ස්වදේශිය වීම හා ආවේනික වීම, උපයෝගීතාවය, ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම, පෙනුම හා ව්‍යාප්තිය, මෙන්ම අතිරේක නිර්ණායක වන වර්නය හා ස්වරූපය, ප්‍රතිනිෂ්පාදනය, වෙනත් රටක ජාතික පුෂ්පයක් හෝ වෘක්ෂයක් නොවීම යන සියලු නිර්ණායකයන් සපුරා ඇත්තේ නිල් මානෙල් බවද මහාචාර්යවරයා පැවසීය.

එහිදී, මහාචාර්ය දීප්ති යකන්දාවල සඳහන් කළේ මුද්දර කාර්යංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ සහිත මුද්දරයක් නිකුත් කර ඇති අතර එහි ඇත්තේ ද සැබෑ මල නොව වැරැදි මලක පිංතූරයක් බවයි. එමෙන්ම පෙළ පොත්වල ඇත්තේ ද වැරදි මලක රූපයක් බවත් පාසල්වල පමණක්‌ නොව ඇතැම් උසස්‌ අධ්‍යාපන ආයතනවල ද උගැන්වන්නේ  වැරැදි මලක රුව පෙන්වමින් බවත් ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම, පොත්පත්වල පමණක්‌ නොව ආගමික ස්‌ථාන අසල නිල් මානෙල් ලෙස නම් කොට අළෙවි කෙරෙන්නේ ද සැබෑ නිල් මානෙල් නො වන බව මේ පර්යේෂකයන් දෙපළ ගේ අදහසයි.

මෙහිදි අදහස් දැක්වූ සභාපතිවරයා අවධාරණය කළේ මේ පිළිබඳ සලකා බලා නිර්දේශ ලබා දීමට ගරු අග්‍රාමාත්‍යතුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවයි. උක්ත කරුණ පිළිබඳ කරුණු දැක්වූ මන්ත්‍රීවරයන් පෙන්වා දුන්නේ මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් හේතුවෙන් කඩිනමින් ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් ලබා ගන්නා ලෙසයි.

මීට අමතරව පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල කටයුතු පිළිබඳවද උපදේශක කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එහිදී, විවිධ ව්‍යාපෘති සඳහා පරිසර අමාත්‍යාංශයෙන් බලපත්‍ර ලබා ගැනීම පිළිබඳව මෙන්ම පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වල කාර්යාල නොමැති ප්‍රදේශවල අදාළ කාර්යාල ජංගම සේවාවන් ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

(අද)

පුවත්

අභියාචනාධිකරණ විනිසුරු පත්වීම් 02කට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Published

on

By

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ නිර්දේශ මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යොමු කරන ලද එම නාමයෝජනා සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන් අභියාචනාධිකරණයේ විනිසුරුවැන් ලෙස පත් කිරීම සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට සිදුකළ යෝජනාව ව්‍යවස්ථා සභාවේ දී සලකා බලා නොමැති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනක් තවමත් හිස්ව නොතිබීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් සිදුකර තිබූ නාම යෝජනාව ආණ්ඩු පාර්ශවය විසින් ඉල්ලා අස්කරගෙන ඇති බව සඳහන් වේ.

පසුගිය මාර්තු මස 11 වනදා ද අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් තිදෙනෙකු පත්වීම් ලැබීය.

(අද දෙරණ)

Continue Reading

පුවත්

ජර්මනියේ නිල සංචාරයෙන් පසුව ජනපති යළි දිවයිනට

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

මෙම නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier), ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul) සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) යන මහත්ම මහත්මීන් හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එහිදී  රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථික, ආයෝජන සහ වෘත්තීය පුහුණු ආදී ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සොයා බැලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මීට අමතරව, ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ හමුවකටද සහභාගී විය.

ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් එම සංගම් මුලස්ථානයේදී (DIHK) සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සංසදයට සහභාගී වූ ජනාධිපති අනුර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද සිදු කළේය.

ජනාධිපතිවරයා සිය නිල සංචාරය අතරතුර ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද කටයුතු කළේය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරටට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිසක්, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිබේ.

ඔවුන් මෙරටට පැමිණ තිබුණේ කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙනි.

සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම:ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති මෙම අවස්ථාවේ දී පැවැත්වෙන මෙම සමුළුවේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිත ය.

මෙම සංචාරයේ දී, ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳ ව  ශ්‍රී ලංකා බලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂිකාව අපේක්ෂා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved