මත්පැන් සහ දුම්වැටි මිල වැඩිවීම දැවෙන ප්‍රශ්නයක් නොවන බවත් විශේෂයෙන්ම කාන්තාවන් ඊට කැමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කරයි.
යම් අයෙක් මත්පැන්, දුම්වැටි භාවිතයෙන් සොයන්නේ විනෝදයක් බව පැවසූ ඒ මහතා ඒ වෙනුවට ජනතාවට ජීවිතය විඳීම සඳහා වෙනත් වැඩපිළිවෙලක් ඉදිරියේදී ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන බවද පැවසීය.
මන්ත්‍රීවරයා මේ අදහස් පැවසුවේ ජනාධිපතිවරයා විසින් සුරාබදු වැඩිකිරීම හේතුවෙන් මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ (12) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“ඇදගෙන නෑවේ ඒගොල්ලො. ඒක රටේ ජනතාව දන්නවා. මඩ අවලාද ගහන්න අපි අවස්ථාව දීලා තියෙනවා, ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒක ඒගොල්ලොන්ගෙ වැඩේ. අපේ වැඩේ තමයි මේ රට හදන එක.
විවිධාකාරයෙන් කෙනෙක් සිගරට් එකක් බීලා විනෝද වෙනවා, තව කෙනෙක් අරක්කු ටිකක් බීලා විනෝද වෙනවා. එතකොට ඇත්තටම දැවෙන ප්‍රශ්නයක් නෙවෙයිනෙ අරක්කු මිල වැඩිවීම, සිගරට් මිල වැඩිවීම. ඇත්තටම කාන්තා පාර්ශ්වය ගත්තොත් එහෙම ඕකට වැඩියෙන්ම කැමතිවෙන පිරිස තමයි කාන්තා පාර්ශ්වය. අපි කොහොමත් ජීවිතය විඳින්න වැඩපිළිවෙලක් එක්ක තමයි ක්‍රියාවලියට අතගහලා තියෙන්නෙ”