Connect with us

පුවත්

ටෝකියෝ සිමෙන්ට් සමූහයේ සභාපති කබ්රාල් NSB සභාපති ධූරයට

Published

on

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නව සභාපතිවරයා ලෙස නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ආචාර්ය හර්ෂ කබ්රාල් පත්කර ඇත.

ආචාර්ය හර්ෂ කබ්රාල් මෙරට බුද්ධිමය දේපළ පනත, සමාගම් පනත, වාණිජ නීතිය, වාණිජ බේරුම්කරණය, ජාත්‍යන්තර වාණිජ නීතිය යන ක්ෂේත්‍ර‍යන්හි සිවිල් හා අපරාධ නීතිය සම්බන්ධයෙන් වසර 35 ක අත්දැකීම් බහුල ප්‍ර‍වීණයකි. ඔහු ජනාධිපති නීතිඥයකු ලෙස වසර 17 ක් කටයුතු කර ඇත.

ඔහු ඔස්ට්‍රේලියාවේ කැන්බරා සරසවියේ ආයතනික නීතිය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක් වන අතර, 2021 වර්ෂය තෙක් වර්ෂ 06 ක් ම පැරීසියේ බේරුම්කරණය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කර තිබේ.

එමෙන්ම, ඒකාබද්ධ ගැටුම් කළමනාකරණය පිළිබඳ සම්මේලනයේ නියෝජිත සාමාජිකයකු (FICM) මෙන්ම ජාත්‍යන්තර වාණිජ ගැටුම් පිළිබඳ විනිශ්චය සභාවේ නියෝජිත සාමාජිකයකු (ICDT) මෙන්ම එක්සත් රාජධානියේ හා අයර්ලන්තයේ වරලත් පාලන ආයතනයේ අධිසාමාජිකයකි.

මෙරට ආයෝජන මණ්ඩලයේ හිටපු සාමාජිකයකු වන ඔහු, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ අතර, වත්මන් බේරුම්කරණ පනත කෙටුම්පත් කිරීමෙහි නිරත වී ඇත. ඔහු නීති කොමිෂන් සභාවේද සාමාජිකයකි.

ආචාර්ය කබ්රාල් මෙරට විශාලතම සිමෙන්ති වෙළෙඳපොළ කොටසට හිමිකම් කියන ටෝකියෝ සිමෙන්ට් සමූහයේ සභාපති ධුරයද දරන්නේය.

ඔහු LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ හිටපු සභාපතිවරයාද වේ. මීට අමතරව සීමාසහිත LOLC රක්ෂණ සමාගම, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්, රිචඩ් පීරිස් යන සමාගම්වල ඔහු අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇත.

හැටන් නැෂනල් බැංකුවෙහි වැඩබලන සභාපති ලෙස කටයුතු කර ඇති ඔහු යූනියන් බැංකුවෙහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු‍ ලෙසද කටයතු කර තිබේ. ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවෙහි සාමාජිකත්වය දැරූ ඔහු ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා සාමාජිකයකි.

ඩිමෝ පීඑල්සී, හේලීස් පීඑල්සී, ඇලුමෙක්ස් පීඑල්සී, ටෝකියෝ සිමෙන්ට් (ලංකා) පීඑල්සී, සීමාසහිත ටෝකියෝ සුපර් සිමෙන්ට් ලංකා , සීමාසහිත ටෝකියෝ සිමෙන්ට් පවර් ලංකා, සීමාසහිත ටෝකියෝ ඊස්ටන් සිමෙන්ට් සමාගම, සී/ස ටෝකියෝ සුපර් ඇග්‍රිගේට්, සී/ස ටෝකියෝ සුපර් මික්ස්, Chevron Lubricants Lanka PLC,සී/ස සෙලින්කෝ ජීවිත රක්ෂණ සමාගම, CCC-ICLP International ADR Centre (Guarantee) Limited හා සී/ස ඩාලි ප්‍රොපර්ටි හෝල්ඩින්ස් යන ආයතනයන්හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස මේ වන විට කටයුතු කරන්නේය.

මෙරට සහ විදේශ විශ්වවිද්‍යාල කිහිපයක ජ්‍යෙෂ්ඨ බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන ඔහු “ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය” ඇතුළු කෘති කිහිපයක්ම පළ කර ඇත.

නව සභාපතිවරයා වැඩ භාර ගන්නා අවස්ථාවට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස් ඇතුළු නිලධාරීන් සහභාගි වූහ.

පුවත්

ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

Published

on

By

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා ඇතුළු සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (15) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, සිලෝන් නිව්ස් පේපර්ස් සමාගම විසින් ගොනු කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

අදාළ පෙත්සමෙන් දක්වා ඇත්තේ පෙත්සම්කාර සමාගම විසින් පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසී ලබා ගැනීම සඳහා වගඋත්තරකාර කේසර ලංකා පුද්ගලික සමාගම සමඟ ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බවත් පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරයකු වන හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසුව වගඋත්තරකාර කේසර ලංකා සමාගම අදාල ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට කටයුතු කළ බවත් පසුව මෙම වගඋත්තරකාර සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බවත් ය.

මෙම තත්වය හමුවේ පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින් ජනවාරි 21 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදී.

Continue Reading

පුවත්

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

Published

on

By

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා සඳහන් කළේ, පනතේ 41 හා 42 වගන්ති සංශෝධනය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ගේ නිරීක්ෂණ මේ වනවිට අමාත්‍යංශයට ලැබී ඇති බවය.

ඒ අනුව එම නිරීක්ෂණ ද ඇතුළත් කොට නීති කෙටුම්පත් සම්පාදක විසින් අවශ්‍ය සංශෝධන සිදු කර ඇති බව ඔහු ප්‍රකාශ කලේය.

ඒවා නිතීපතිවරයා වෙත යොමු කර ලැබෙන අනුමැතියෙන් අනතුරුව සංශෝධන කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

ඉන් පසු විහාර දේවාලගම් පනතට ගෙන එන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

විහාර දේවාලගම් පනතේ පවතින අඩු පාඩු නිවැරදි කරමින් වර්තමානයට ගැලපෙන ලෙස නීති සංශෝධනය මෙම සංශෝධන හරහා සිදු කෙරෙන බව අමාත්‍යංශය ප්‍රකාශ කලේය.

Continue Reading

පුවත්

එක් තීරයක්, එක් මාවතක් හදන්න ලංකාව කැපවෙනවා – ජනපති

Published

on

By

චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (15) පස්වරුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාව හමුවිය.

චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි.

අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සුහද කථාබහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.

මෙහිදී අදහස් දැක්වූ ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ වෙනුවෙන් ලක් රජය පෙනී සිටින බවයි.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා චීනය ලබා දුන් වටිනා සහයෝගයටද ඔහු කෘතඥතාව පළ කර සිටියේය.

කලාපීය සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමට එක් තීරයක් සහ මාවතක් (Belt and Road) ව්‍යාපෘතිය ගොඩනැගීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

ලංකාවේ ආයෝජනය කිරීමට තවදුරටත් චීන සමාගම් වෙත ලංකාව ආරාධනා කරන බව පැවසූ දිසානායක මහතා,  යටිතල පහසුකම්, බලශක්තිය, කෘෂිකර්මාන්තය, මූල්‍ය, දරිද්‍රතාවය අවම කිරීම, ඩිජිටල් පරිවර්තනය, සංචාරක, සමුද්‍රීය කටයුතු හා පිරිස් පුහුණුව වැනි ක්ෂේත්‍ර තුළ, චීනය හා සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්ත පළ කළේය.

චීන සමූහාණ්ඩුව දශක කීපයක් තිස්සේ ශ්‍රී ලංකාව සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාර්යයක් ඉටු කර ඇති බවත්, මෙම සංචාර අපගේ රටවල් සහ ජනතාවගේ අඅන්‍යෝන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් බහුපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජනපතිවරයා මෙහිදී පවසා ඇත.

තවද, ගෝලීය දකුණේ වැදගත් නායකයෙකු වන චීනය, ජාත්‍යන්තර කටයුතුවල දී සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත්, චීනය සමඟ විවිධ බහුපාර්ශ්වික අවස්ථාවලදී සම්බන්ධීකරණ හා අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කොට පොදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් දිසානායක මහතා වැඩිදුරටත් පවසා ඇත. 

මෙහිදී අදහස් දක්වමින් චීන ජනපති ෂී ජින්පිං මහතා පෙන්වා දී ඇත්තේ මීට 68 වසරකට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹුනු දින සිට දෙරටේ සබඳතා සැම විටම විධිමත් හා ස්ථාවර වර්ධනයක පවතින බවත්, මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සඳහා ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇති බවත්ය.

එසේම, චීනය සහ ශ්‍රී ලංකාව අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල උසස් තත්ත්වයෙන් ඒකාබද්ධව ගොඩනැගීම වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර එය දෙරටේ ජනතාවට ප්‍රායෝගිකව සුභ සෙත සලසා තිබෙන බව හෙතෙම කියා සිටියේය.

කලාපීය සාමය හා ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව පොදුවේ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් පසු දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද සිදු කෙරිණි.

(මූලාශ්‍රය : CCTV +)

සබැඳි  පුවත් :

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved